එක්ස්-ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සමුද්‍රීය පරිසරයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් විද්‍යාඥයන්ගේ මතය කුමක්ද?

එක්ස්-ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සමුද්‍රීය පරිසරයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් විද්‍යාඥයන්ගේ මතය කුමක්ද?

එම්.වී. එක්ස්-ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සම්බන්ධයෙන් සහ විශේෂයෙන්ම එයින් සමුද්‍රීය පරිසරයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ පාර්ශව විවිධ අදහස් පළ කර තිබිණි. 

පරිසර හානිය සම්බන්ධයෙන් විවිධ විශේෂඥයෙන් එකිනෙකට වෙනස් අදහස් පළ කර තිබූ අතර ඒවා සමාජ මාධ්‍ය විශේෂයෙන්ම ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා සංසරණය වී තිබිණි. 

අපි මේ සම්බන්ධයෙන් විශේෂඥ අදහස් විමසා බැලුවෙමු. 

මේ සම්බන්ධයෙන් මුලින්ම අදහස් දැක්වූයේ පාරිසරික නීතිඥ සහ ක්‍රියාකාරිකයකු වන ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා ය. 

“බැලූ බැල්මට හානියක් සිදුව ඇති බව පෙනෙනවා. බැලූ බැල්මට පේන හානිවලින් ඔය ජලයට එකතුවෙලා ගසාගෙන ආපු ප්ලාස්ටික් කැබලි, දැවිච්චි ද්‍රව්‍ය වැනි බොහෝ දේවලින් අපට කියන්න පුළුවන් හානියක් වෙලා කියලා. මේ ආගන්තුක ද්‍රව්‍ය මොනවා මුහුදට එකතු වුණත්, එයින් යම් කිසි හානියක් තිබෙනවා. ඊළඟට මේ නැවේ තිබුණා බහාලුම් 81ක්, රසායනික ද්‍රව්‍ය 42ක්. මේ රසායනික ද්‍රව්‍යවලට අමතරව නැවේ තෙල් ඉතුරුවෙලා තිබුණා නම් එයින් ද අනතුරුදායක තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. මේ තෙල්වලින් කොච්චර ප්‍රමාණයක් දැවුණ ද ? කොච්චර ප්‍රමාණයක් මුහුදට එකතු වුණාද කියලා අපට කියන්න බැහැ. දැවිච්ච දේවල්වලිනුත් අර්ධ දහනය වෙලා තවත් මොනාහරි හැදිලා තියෙන්න පුළුවන්. මේ ද්‍රව්‍ය එකට එකක්, එකට එකක් එකතු වෙලා මිශ්‍ර වෙලා තවත් දේවල් හැදිලා තියෙනවද ? අපිට මේවා ගැන කියන්න බැහැ. නමුත් මොනවාමහරි ආගන්තුක දෙයක් මේ පරිසරය තුළ දී හානිකර ද්‍රව්‍යයක් මිසක් යහපත් ද්‍රව්‍යයක් විදියට ක්‍රියා කරන්නේ නෑ කියන දේ අපට කියන්න පුළුවන්. 

මැරිච්ච සතුන්ගෙන් අපට රටාවක් පෙනෙනවා. රටාව ප්‍රධාන වශයෙන් නැව අනතුරට පත්වූ ප්‍රදේශයේ සිට ටික ටික ඈතට විහිදෙන බව අපට පෙනෙන්නට තිබෙනවා. සතුන් මැරෙන ප්‍රදේශය ද ඈතට පැමිණෙමින් තිබෙනවා. මේ සතුන්ගෙ මරණ, කාලයට සාපේක්ෂව මරණ අනුපාතය වැඩිවීමක් අපට පෙනෙන්නට තිබෙනවා. සාමාන්‍යයෙන් කාලයට සාපේක්ෂව මරණ අනුපාතය අඩු වෙනවා කියන්නේ එකවර විෂ ද්‍රව්‍යයක් ශරීරගත වීම නිසා හෝ ආඝ්‍රාණය කිරීම නිසා හෝ මැරෙන එක.

එහෙත් අපට නිධන්ගත ක්‍රියාවලියක් දක්නට තියෙනවා. ඇතැම් විට මේ ද්‍රව්‍යවල බලපෑමක් වෙන්න පුළුවන්. කාලයත් සමඟ මරණ ගණනේ වැඩිවීමක් තිබෙනවා. ඉකුත් ඉරිදාට වඩා මේ ඉරිදා වාර්තා වී ඇති මරණ ගණන වැඩි වී තිබෙනවා. සතියෙන් සතිය බැලුවාමත් අපට ලොකු වෙනසක් පෙනෙන්න තියෙනවා. 

ඉදිරි සතිවලදී මරණ අනුපාතය අඩු වේවිද ? වැඩි වේවිද ? අපට මුකුත් කියන්න බැහැ. නමුත් මෙතැනදි අපි කිසි දෙයක් බැහැර කරන්න හොඳ නැහැ. කවුරුහරි කෙනෙක් එක පාරටම කිසිම අනතුරක් නැහැ කියනවා නම් ඒක විද්‍යාත්මක නැහැ. විද්‍යාවේදී අපට කියන දේ අනුව නිගමනයක් දෙන්න පුළුවන් සාක්ෂි මාලාවක් එකතු කිරීමෙන් පසුවයි. හැබැයි සාක්ෂි එනකොට අසම්පූර්ණ සාක්ෂිවලින් අපට ප්‍රවණතාවක් කියන්න පුළුවන්. ලංකාවේ තිබෙන ලොකුම දුර්වලතාව තමයි මේ ප්‍රවණතා ගැන සැලකිලිමත් නොවීම. රටාව පිළිබඳ සැලකිලිමත්වෙලා කටයුතු නොකරන එක. ඒ වගේම මේ වගේ වෙලාවල්වලදී පූර්ව ආරක්ෂාකාරී මූලධර්මය භාවිත කරන්නැයි කියනවා. එහිදි නොදන්නා දෙයක් හානිදායක යැයි අපට කියන්න පුළුවන්. ඒ නිසා නොදන්නා දෙයින් ආරක්ෂා වීම සඳහා අපට පියවර ගන්න පුළුවන්. 

මේ දවස්වල මුඛ ආවරණ පලඳින්න, අත් සෝදන්න කියන දේ පූර්ව ආරක්ෂාකාරී මූලධර්මයට අයත් දේවල්. අතේ විෂබීජ ගෑවෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපි යන තැන වයිරසය තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. වයිරසය තියෙනවා කියලා ආරක්ෂා වීමයි, වයිරසය නෑ කියලා ඒකට පාත්‍රවීමයි කියන වෙනස තමයි මෙම මූලධර්මයේ හරය. 

මේ නැව සම්බන්ධයෙන් අපි දකින්න වුවමනා අවශ්‍ය ප්‍රවේශයත් එයයි. නැවේ රසායනික ද්‍රව්‍ය තිබුණා නම් ඒවා මුහුදට ගියාද නැද්ද කියන එක ගැන කල්පිත මවන එක නෙමෙයි අප කළ යුත්තේ. රසායනික ද්‍රව්‍ය තිබුණා, ඒවා මුහුදට ගියා එයින් සිදුවිය හැකි හානිය මොකක්ද කියන දේ තමයි අපි බලන්න අවශ්‍ය වෙන්නේ. 

දෙවැනි ප්‍රධාන කරුණ තමයි, විය හැකි නරකම තත්ත්වය සලකා බලා ඊට සූදානම් වීම. නරකම තත්ත්වයට මුහුණ දීමට පෙර සූදානම් වීම හැකි ඉක්මනින් හදාගැනීම. එතකොට නරකම තත්ත්වයට මෙහා තියෙන ඕනෑම දෙයකට මුහුණ දීමේ හැකියාව අපට ලැබෙනවා. 

මේ දෙක තමයි මගේ ප්‍රධාන නිරීක්ෂණය. පළමුවැන්න පූර්ව ආරක්ෂාකාරී මූලධර්මය අනුගමනය කිරීම. දෙවැන්න විය හැකි නරකම තත්ත්වය සලකා බලා ඊට පෙර හැකි ඉක්මනින් පුර සූදානම් වීම. 

එහෙම නැතුව තව සාක්ෂි එන තෙක් සිටිය යුතුයි කියන දේ හෝ ඔය කියන තරම් හානියක් නෑ කියන එක නෙමෙයි අප කළ යුත්තේ. සියලුම සාක්ෂි එනතෙක් සිටිය යුතුයි කියන දේ විද්‍යාත්මකව පිළිගන්න බැහැ. ඒ වගේම ප්‍රතිපත්තිමය වශයෙන් සහ නෛතික වශයෙන් පිළිගන්න බැහැ. 

නෛතික අතින් ලංකාවේ නීතිය හැදිලා තියෙන්නේ පූර්ව ආරක්ෂක මූලධර්මයත් සමඟ. නීතියේ කල්පිතය තමයි විය හැකි නරකම තත්ත්වයට මුහුණ දීමට සූදානම් වීම.

එතකොට ඊට මෙහේ ඕනෑම දෙයක් අපට සාර්ථකව මැඩ පවත්වන්න පුළුවන්.‍ අපි කළ යුත්තේ වුවත් ඊට විලෝමය ප්‍රවේශයක් සමාජ ගත කරමින් කටයුතු කරන ආකාරයක් තමයි අපට පෙනෙන්නට තිබෙන්නේ.” 

සාගර විශ්ව විශ්වවිද්‍යාලයේ, ජලජීවී වගා හා මුහුදු ආහාර තාක්ෂණ අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය ලංකා වික්‍රමසිංහ මහත්මිය මේ සම්බන්ධයෙන් පළ කළ අදහස්, 

“අපි පිළිතුරු දිය යුත්තේ විද්‍යාඥයන් විදියට. අපද්‍රව්‍ය විදියට ගත්තොත් අපි නයිට්‍රික් අම්ලය, ප්ලාස්ටික් කැබලි ගැන කතා කරනවා.  තෙල් සම්බන්ධයෙන් කතා කරනවා. 

අපි යම්කිසි තීන්දුවක් දෙන්නේ පර්යේෂණ කරලා. තවම මේ සම්බන්ධයෙන් පර්යේෂණ කෙරෙනවා. ඒ නිසා ස්ථීර අදහසක් කියන්න බැහැ. 

මාළු ආහාරයට ගත යුතු ද නැද්ද කියන අපට තවම නිශ්චිතව කියන්න බැහැ. එය විද්‍යාත්මක ප්‍රකාශයක්. 

එහෙම වුණත් මේ විදියට ප්ලාස්ටික් හෝ තෙල් පරිසරයට එකතු වුණාම කුඩා මත්ස්‍යන් ඊට ගොදුරු වෙනවා. මසුන් වුවමනාවෙන් හෝ නොවුවමනාවෙන් ආහාරයට ගන්නවා. 

මේ වගේ ප්ලාස්ටික් කැබැලි තිබ්බාම, මේ කුඩා ද්‍රව්‍ය ආහාර කියලා හිතලා මත්ස්‍යයන් ඒවා ආහාරයට ගන්නවා. 

ආහාර දාම ඔස්සේ මේවා ඉහළ පෝෂණ මට්ටම්වලට යන්න පුළුවන්. එහෙම ගිහින් මිනිස්සුන්ගේ ආහාරවලට එකතු වෙන්න පුළුවන්. එහෙම බැලුවාම අපට අවදානමක් තිබෙනවා. 

කොහොමනමුත් අපි පර්යේෂණවල අවසන් නිගමන හා ප්‍රතිඵල ලබාගන්න අවශ්‍ය යි. 

පොදුවේ බැලුවාම පරිසරයට යම් කිසි අපද්‍රව්‍යයක් එකතු වුණාම ඒවා ආහාර දාමවලට එකතු වෙන්න පුළුවන්. එය මෙම ස්ථානයටත් පොදුයි. මෙතැනටත් එය සාධාරණයි. 

දීර්ඝකාලීනව මෙමඟින් පරිසර හානියක් තියෙනවද කියන දේ කියන්නත් පර්යේෂණ කරන්න අවශ්‍යයි. 

මුහුද කියන්නෙත් හොඳ ස්වාරක්ෂක ද්‍රාවණයක්. මුහුදට යම්කිසි දෙයක් ලැබුණාම මුහුදේ තිබෙන ස්වාරක්ෂක ගුණය නිසා යථා තත්ත්වයට පත්වෙන්න පුළුවන්. 

මුහුදේ ඇති වන ස්වභාවික තත්ත්ව නිසා විස එකතු වුණා නම් ඒවා පැතිරීමට ලක්වෙලා අවදානම අඩු වෙන්නත් පුළුවන්. 

යම් කිසි අවදානම් සහත ද්‍රව්‍යයක් එකතැනක රැඳී තැබීමෙන් අපට අවදානමක් වෙන්න පුළුවන්. ඒ වගේම කාලයක් සමඟ විස සහිත ද්‍රව්‍ය පැතිර ගොස් අවදානම් අඩු වෙන්න පුළුවන්. 

මුහුදේ එකම තැන තිබෙන ශාකවලට ඒ අවස්ථාවේදීම වෙන්න පුළුවන් හානිය වැඩියි. කොරල් ඇල්ගිවලට ආසන්නතම බලපෑම වැඩියි. 

යම්කිසි දෙයක් මුහුදට එකතු වෙලා ඒ ස්ථානයේ තිබෙන කොරල්වලට හානි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අම්ලවලින්. ආසන්නතම පරිසර පද්ධතියට වෙන්න පුළුවන් හානිය වැඩියි. 

විද්‍යාඥයන් විදියට අපට තවම නිශ්චිත අදහසක් කියන්න බැහැ. එය කියන්න වෙන්නේ පර්යේෂණවලින් පසුවයි.

එහෙම නමුත් සිද්ධාන්ත වශයෙන් ගත්තාම යම් විස සහිත දෙයක් පරිසරයට එකතු වුණාම පරිසර පද්ධතියට, සත්තුන්ට වගේම මිනිස්සුන්ට බලපෑම් එල්ල කරන පුළුවන්.”

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දකුණු වනජීවී කලාපයේ සහකාර අධ්‍යක්ෂ චන්න සුරවීර මහතා මේ සම්බන්ධයෙන් පළ කළ අදහස්. 

“අපට එක තැනක සිද්ධියක් විතරක් බලලා ලොකු පරිසර හානියක් නැහැ කියන්න බැහැ. අපට දැන් තමයි සාක්ෂි ලැබෙමින් පවතින්නේ. සත්තු මැරිලා ගොඩබිමට එන්නේ දැන්. ඒ එන සත්තු, මේ මැරුණු සත්තු පරීක්ෂා කරලා බැලුවාම අපට තේරෙනවා යම් කිසි සිදුවීමක ප්‍රතිඵලයක් තිබෙන බව. 

පිච්චුණු සත්තු තිබ්බා. අපට වෙනදා මැරුණු සත්තු හම්බවෙලා තියෙනවා. හැබැයි අපට දැන් හම්බවෙන මැරුණු සත්තු වෙනස්. දැන් හම්බ වෙන සත්තු මැරිලා තියෙන විදිය වෙනස්. අපට හරියටම කියන්න බැහැ නැව හින්දද නැද්ද කියලා. එහෙම වුණත් වෙනදා මැරිලා හම්බවෙන සත්තු සහ මේ සත්තු අතරේ වෙනසක් අපට දකින්න තිබෙනවා. 

අපි පසුගියදා මැරුණු ඩොල්ෆින් සත්තු වගයක් හොයාගත්තා. සමහරක් සත්තු පිච්චුණු ස්වභාවයක් තිබුණා. එක ඩොල්ෆින් සතෙක් හිටියා. ඒ සතාගේ ඇඟේ මැස්සෝ වහලා හිටියා. අපි ඒ සතා උඩවලට ඇත් අතුරු සෙවණට ගෙනාවා. ඒ ගේද්දි ඒ සතාගේ ඇගේ ‍‍‍හිටපු මැස්සෝ ටිකා මැරිලා ඉන්නවා අපට දකින්න පුළුවන් වුණා. මේකේ මොකක් අසාමාන්‍ය තත්ත්වයක් තියෙනවා. 

ඒ නිසා මේ ගැන කරුණු හොඳට විමසලා තමයි අපට කියන්න වෙන්නේ. ඒක නිසා ලොකු හානියක් තියෙනවා කියලා කාටවත් කියන්න බැහැ. ඒ වගේම ලොකු හානියක් නැහැ කියලා කාටවත් කියන්නත් බැහැ. 

එහෙම වුණත් අපට ලැබෙන තොරතුරු අනුව යම් කිසි වෙනසක් පේනවා. ඒ වෙනස මොකක්ද කියලා විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. 

ඒකට දැනට තියෙන තොරතුරු සියල්ල එකතු කරගෙන විද්‍යාත්මක ප්‍රකාශයක් කරන එක තමයි නිවැරැදිම දේ.”

ලෝ ප්‍රකට සාගර ජෛව විද්‍යාඥවරියක වන ආචාර්ය ආශා ඩී. වෝස් මහත්මියගෙන් අපි මේ සම්බන්ධයෙන් විමසීමක් කළෙමු. 

මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන් වනතෙක් තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ඇය එම අවස්ථාවේදී සඳහන් කළාය. 

තමන් මේ දක්වා කාලයේ ප්‍රකාශයේ පළ කළ සියලු අදහස් සිය ෆේස්බුක් හා ට්විටර් ගිණුම්වලින් ලබාගත හැකි බව ද ඇය සඳහන් කළාය. 

ඕෂන්ස්වෙල් සංවිධානයේ වෙබ් අඩවියෙන් සහ එහි සමාජ මාධ්‍ය ජාල ගිණුම්වලින් ද තොරතුරු ලබාගත හැකි බව ඇය සඳහන් කළාය. 

වෙබ් අඩවියට මෙතැනින්, https://oceanswell.org/ 

එම වෙබ් අඩවියේ එම්.වී. එක්ස්-ප්‍රස් පර්ල් නෞකාවෙන් නිකුත් වූ ප්ලාස්ටික් වෙරළට එකතු වීම සම්බන්ධයෙන් පවත්වාගෙන යන විස්තර,

මෙතැනින්, https://storymaps.arcgis.com/stories/054f6746857242128298d53d220d76f0 

කෙටි සබැඳිය, https://tinyurl.com/9v9dj88z 

ආචාර්ය ආශා ඩී. වෝස් මහත්මිය ඕෂන්ස්වෙල් සංවිධානයේ නිර්මාතෘ වන අතර වර්තමානයේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ (NARA) පාලක මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස ද කටයුතු කරයි. 

මෙතැනින්, http://www.nara.ac.lk/?page_id=39 

ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනය ධීවර අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනයකි. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්ය එස්.ඩී.එම්. චින්තක මහතා එක්ස්-ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබේ ද ? ඔව් 

එක්ස්-ප්‍රස් පර්ල් ගින්න ගැන මවන්නේ හුඹස් බියක් යන සිරස්තලය යටතේ පසුගිය දිනවල ෆේස්බුක් සටහන් කිහිපයක් පළ වී තිබිණි. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්ය එස්.ඩී.එම් චින්තක මහතා උපුටා දක්වමින් එම සටහන් පළ වී තිබිණි. 

එම සටහන (Post) වට්ස්ඇප් පණිවුඩ හුවමාරු ජාලය ඔස්සේ ද සංසරණය වී තිබිණි. 

මෙහි සත්‍ය අසත්‍යතාව විමසීම සඳහා සොයාබැලීමක් කරන ලද අතර මේ සම්බන්ධයෙන් මුලින්ම ශ්‍රී ජයවර්ධනපුර වවිශ්වවිද්‍යාලයේ වෙබ් අඩවිය පරීක්ෂා කරන ලදි. 

ඒ අනුව එස්.ඩී.එම්.චින්තක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු බව තහවුරු කරගැනීමට හැකියාව ලැබිණි. 

මහාචාර්ය එස්.ඩී.එම්. චින්තක මහතා පිළිබඳ විස්තර මෙතැනින්, http://archive.today/IwqTe 

ඊට අමතරව ඔහු සම්බන්ධ කරගැනීමට හැකියාව ලැබුණු අතර මෙහි සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමක් කරන ලදි.

එක්ස්-ප්‍රස් පර්ල් ගින්න සම්බන්ධයෙන් තමන් ෆේස්බුක් සටහනක් තැබූ බවත් එය සිය ෆේස්බුක් ගිණුමේ තිබෙන බවත් ඔහු තහවුරු කරන ලදි. 

මහාචාර්ය එස්.ඩී.එම්. චින්තක මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන, මෙතැනින්  https://tinyurl.com/t53u37b4 

කෙසේ නමුත් ෆේස්බුක් සහ වට්ස්ඇප් තුළ මෙම පණිවුඩය සංසරණය වී තිබුණේ සිරස්තලයක් ද සමඟ ය. 

“එක්ස්-ප්‍රස් පර්ල් ගින්න මවන්නේ හුඹස් බියක් – එමඟින් දැවැන්ත පරිසර විනාශයක් නෑ” යන සිරස්තලය යටතේ ඒවා පළ වී තිබිණි 

එම ෆේස්බුක් සටහන් (Facebook Posts)වල ස්ක්‍රීන්ෂොට්ස්. 

එම ෆේස්බුක් සටහනකට ඔස්ට්‍රේලියාවේ ජීවත් වන සාගර විද්‍යාඥයකු යැයි බව කියමින් ප්‍රතිචාර දක්වා තිබිණි. 

එහි ස්ක්‍රීන්ෂොට්ස් ද එම ප්‍රතිචාරයේ (comment) විය. 

එය පහතින් දැක්වේ. 

මෙම ස්ක්‍රීන්ෂොට් (Screenshot) හි ප්‍රකාශය වැරැදි යැයි මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා සඳහන් කරන ලදි. 

මහාචාර්ය චරිත පට්ටිආරච්චි යනුවෙන් එහි දැක්විණි. 

ඔහු උපුටා දක්වමින් ග්‍රවුන්ඩ්වීව්ස් (GroundViews) සහ ලංකා නිව්ස් වෙබ් (LNW) යන වෙබ් අඩවිය ද ප්‍රවෘත්ති පළ කර තිබිණි. 

ඒවායේ ස්ක්‍රීන්ෂොට්ස් පහතින් දැක්වේ. 

මේ සම්බන්ධයෙන් ගූගල් (Google) සෙවුම් යන්ත්‍රය භාවිතයෙන් සොයා බැලීමක් කරන ලදි. 

එහිදි මහාචාර්ය චරිත ‌පට්ටිආරච්චි මහතාගේ විස්තර (Profile) සොයාගැනීමට හැකියාව ලැබිණි. 

මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතාගේ විස්තරය මෙතැනින්,  http://archive.today/Rs9Lw 

සහ http://archive.today/KKdmh 

ඒ අනුව මහාචාර්යවරයාට විද්‍යුත් ලිපියක් (E-mail) යවමින් මෙම කරුණු සම්බන්ධයෙන් විමසීමක් කරන ලදි.

ඉහත සඳහන් ප්‍රකාශ තමන් කරන ලද ඒවා යැයි මහාචාර්යවරයා තහවුරු කිරීමක් කළ අතර තවත් නිවැරැදි කිරීම් දෙකක් ද කරන ලදි. 

ඉහත ප්‍රතිචාරයේ (comment) සහ ලංකා නිව්ස් වෙබ් අඩවියේ පළ වී ඇත්තේ මහාචාර්යවරයා සාගර විද්‍යාඥයකු බවත් ඔහු සවුත් ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ (South Australia University) බවත් ය. 

මේ සම්බන්ධයෙන් මහාචාර්යවරයා නිවැරැදි කිරීමක් කරන ලදි. 

තමන් Marine Scientist නොවන බවත් තමන් Oceanographer බවත් සඳහන් කරන ලදි.

සිංහල බසින් සාගර විද්‍යාඥ යන අරුත් දුන්න ද මෙය විෂය සහ වෘත්තීන් දෙකකි. 

එමෙන්ම තමන් සේවය කරනන්නේ වෙස්ටර්න් ඔස්ට්‍රේලියා වීශ්ව විද්‍යාලයේ(University of Western Australia) බවට ද ඔහු නිවැරැදි කිරීමක් කරන ලදි. 

එක්ස්-ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සහ එයින් සිදුවිය හැකි/සිදු වූ පරිසර හානිය සම්බන්ධයෙන් මහාචාර්ය මහාචාර්ය එස්.ඩී.එම්. චින්තක මහතා සහ මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා දක්වන්නේ එකිනෙකට වෙනස් අදහස් දෙකකි. 

මෙම සිදුවීමෙන් පවසන තරම් හානිය සිදු වී නැතැයි/සිදුවනු නැතැයි මහාචාර්ය එස්.ඩී.එම්. චින්තක මහතා සඳහන් කරයි. 

මෙමඟින් පරම්පරා ගණනාවකට බලපාන ආකාරයේ හානියක් සිදුවනු ඇතැයි මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා කියයි. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් විවිධ විශේෂඥ අදහස් පළ වී තිබේ. 

එම නිසා අප මේ සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මියගෙන් විමසීමක් කරන ලදි. 

ඒ අනුව පරිසර හානිය සම්බන්බන්ධයෙන් තවමත් නිශ්චිත යමක් කිව නොහැකි බවත් ඊට අදාළ ක්‍රියාවලිය තවමත් සිදුවෙමින් තිබෙන බවත් ඇය ඉකුත් දා (ජූනි 15) සඳහන් කළාය. 

“මීට අදාළ ක්‍රියාවලිය සිදුවෙමින් තිබෙනවා. පරිසර හානිය සම්බන්ධයෙන් අපට තවමත් නිශ්චිත යමක් කියන්න බැහැ. ඒ සඳහා විශේෂඥ කමිටුවක් තිබෙනවා. ධීවර, සමුද්‍රීය පරිසර, පරිසර ආර්ථික, යනාදී අංශ ගණනාවක් ආවරණය වන විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා. අපට දැනට නිශ්චිත යමක් කියන්න බැහැ” ඇය සඳහන් කළාය. 

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ සම්බන්ධයෙන් ඉකුත් දා නිවේදනයක් සහ විඩියෝ පටයක් ද නිකුත් කරන ලදි. 

මාධ්‍ය නිවේදනය, මෙතැනින් https://tinyurl.com/acvd5u87 

මෙම මාධ්‍ය නිවේදනය දෙමළ සහ ඉංග්‍රීස භාෂාවලින් ද පළ කර තිබේ. 

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර මේ සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය, මෙතැනින්, https://tinyurl.com/srs9fjzk 

මෙහි ඉංග්‍රීසි භාෂාවෙන් කරන ලද ප්‍රකාශයක් ද වේ. 

මේ අනුව, එම්.වී. එක්ස්-ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවීමෙන් සිදුව ඇති පරිසර හානිය/පරිසර හානියේ ප්‍රමාණය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත ප්‍රකාශයක් කළ නොහැකි බව මෙමඟින් තහවුරු වේ. (ජූනි 15 වනවිට) 

මේ සියලු කරුණු සලකා බැලීමේදී බැලූ බැල්මට පරිසර හානියක් සිදු ව ඇති බව විශේෂඥයන්ගේ අදහසයි. 

කෙසේ නමුත් පරිසර හානිය කොතරම් ද ඒ සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් කළ හැක්කේ විද්‍යාත්මක පර්යේෂණවලින් පසුව බව ද ඔවුහු අවධාරණය කරති. 

Share this post

Share on facebook
Share on twitter
Share on linkedin

Related Projects

Towards A Feminist Future

How can we use the school education system to implant feminist values in kids?

How can we use the school education system to implant feminist values in kids? Recently, I facilitated an online workshop …

Towards A Feminist Future

තරුණියන් දේශපාලනයට යොමු විය යුත්තේ ඇයි?

තරුණියන් දේශපාලනයට යොමු විය යුත්තේ ඇයි? කාන්තාව හා දේශපාලනය යනු ලෝකය පුරා බොහෝ රටවල සමාජ සන්දර්භවල විවිධ මතිමතාන්තර දරන, සහ …

Fact Check

அமெரிக்க பல்வகைத்தன்மை குடியேற்ற விசா லொத்தர் சீட்டு பற்றிய செய்தி பொய்யானது.

அமெரிக்க பல்வகைத்தன்மை குடியேற்ற விசா லொத்தர்  சீட்டு பற்றிய செய்தி பொய்யானது. ஐக்கிய அமெரிக்க குடியரசின் பல்வகைமை குடியேற்ற வீசாக்களை பெற்றுக்கொள்ளுதல் பற்றி அன்மையில் Facebook, WhatsApp …

Towards A Feminist Future

Humans with a “PRICE TAG”

Humans with a “PRICE TAG” (This article is based on a true story but names have been changed to protect …

Towards A Feminist Future

“කාන්තාවක් විකිණීමට තිබේ”: වෙළද දැන්වීම් හා මාධ්‍ය තුළ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ඒකාකෘති

“කාන්තාවක් විකිණීමට තිබේ”: වෙළද දැන්වීම් හා මාධ්‍ය තුළ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ඒකාකෘති ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය ඒකාකෘතී (gender stereotypes) යනු, …

Fact Check

“சந்தேக நபர்களின் பெயர்ப்பட்டியல்கள் எதுவும் பகிரங்கப்படுத்தப்படவில்லை”

கடந்த ஒரு சில நாட்களுக்கு முன் 15 வயது சிறுமியொருவரை பாலியல் பலாத்காரம் செய்த சம்பவம் நாடு முழுவதும் பெரும் பரபரப்பை ஏற்படுத்தியது. அதனிடையே குறித்த சம்பவத்துடன் …