“කාන්තාවක් විකිණීමට තිබේ”: වෙළද දැන්වීම් හා මාධ්‍ය තුළ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ඒකාකෘති

“කාන්තාවක් විකිණීමට තිබේ”: වෙළද දැන්වීම් හා මාධ්‍ය තුළ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ඒකාකෘති

ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය ඒකාකෘතී (gender stereotypes) යනු, කාන්තාවන් හා පුරුෂයන්, ඔවුනගේ ස්ත්‍රී-පුරුෂභාවය හේතු කොට ගෙන හැසිරිය යුතු යැ’යි, අප ජීවත් වන සමාජය විසින් ගොඩ නඟා ගත් හා බහුතරය විසින් අනුගමනය කරන සම්මුතීන් ය. මේවායේ ගුණ-අගුණ හෝ අර්ථාන්විත බව බොහෝ විට සොයා නොබැලෙනමුත් කාලානුරූපී ව හා සංස්කෘතික පසුබිම අනුව වෙනස් වෙමින් සමාජයත් සමඟ ම මේවා එක පරම්පාරවකින් තවත් පරම්පරාවකට ගලා යයි. 

බැලූ බැල්මට ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය ඒකාකෘතීන්, එසේත් නැතහොත් ස්ත්‍රී-පුරුෂභාවය පිළිබඳ වූ සමාජ සම්මතයන් විධිමත් සමාජයක සුමට පැවැත්ම සඳහා බෙදා-හදා ගෙන ක්‍රියාත්මක වන්නා වූ කාර්‍යයන් සේ ඇතැමෙකුට පෙනෙනු ඇත. එම නිසා එකී සම්මුතීන්ගේ අගතිගාමී තත්ත්ව සමාජයට නොවැටහෙනු ඇත. ගැටලුව පවතින්නේ කාන්තාවන් හා පුරුෂයින් කාර්‍යයන් බෙදා ගෙන ක්‍රියාත්මක කිරීම නොව එම කාර්‍යයන්  බෙදී යාම තුළ පවතින විෂමතා තුළ ය. 

මේ ඒකාකෘතී ක්ෂූක්ෂම ව විමසා බලන්නෙකුට පෙනී යන එක් කාරණයක් නම්, එම ඒකාකෘති බොහෝමයක්  ගෘහාශ්‍රිත කටයුතුවල වැඩි බරක් කාන්තාවන් මත පැටවෙන ඒවා හා එමඟින් සමාජීය වශයෙන් පීඩාවක් ඇති කරන කර්තව්‍යයන් වන බව යි.

මෙකී ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය ඒකාකෘතීන්ගේ ප්‍රවර්ධනය කෙරෙහි ප්‍රධාන ධාරාවේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මෙන් ම වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රය ද ඍජු ව බලපායි. ඒ අනුව මාධ්‍ය තුළ විකාශනය වන ප්‍රවෘත්ති, වැඩසටහන්, ටෙලිනාට්‍ය මෙන් ම ඒවා සඳහා අනුග්‍රාහකත්වය දක්වන වෙළඳ දැන්වීම් ද, ඍණාත්මක සමාජ සම්මුතීන් නැවත නැවතත් ඉස්මතු කරවයි. පහත දැක්වෙන්නේ එවන් ක්ෂේත්‍ර කිහිපයක් සඳහා උදාහරණ වේ.

ප්‍රවෘත්ති

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය තුළ ප්‍රචාරය හා පළ කරන ඇතැම් පුවත් තුළ “විපතට පත් පිරිස අතර කාන්තාවක් ද වෙයි”, “කාන්තාවන් දෙදෙනෙක්‍ ඇතුළු පිරිසක්” වැනි යෙදුම් සුලභ ව දක්නට ලැබේ. ‘Ethics Eye’ ෆේස්බුක් පිටුව තුළ පළ වූ පහත ප්‍රවෘත්ති සාරංශ ද මීට නිදසුන් ය. කාන්තාවන් පමණක් විශේෂී කොට ඉස්මතු කිරීම හරහා එක් අතකට ඔවුන් කෙරෙහි අනවශ්‍ය අවධානයක් යොමු වනවා පමණක් නොව, ව්‍යසන හෝ අනතුරක දී ඔවුන් වඩාත් අසරණ ලෙස ද නිරූපණය වේ. මෙයට අමතරව රථ වාහන පැදවීම, මත්පැන් හෝ දුම්පානය වැනි ක්‍රියා  පිළිබඳ විස්තර කෙරෙන අවස්ථාවල දී, මෙසේ කාන්තාවන් හුවා දැක්වීම තුළින් එවන් ක්‍රියා පුරුෂයින්ට පොදු කාන්තාවන් තුළින් දක්නට නොලැබෙන ඒවා බව ද සමාජයට ඒත්තු ගන්වමින් ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය ඒකාකෘතියක් ප්‍රවර්ධනය කරයි. 

වෙළඳ දැන්වීම්

ඕනෑ ම පාරිභෝගික භාණ්ඩයකට තරගකාරී වෙළඳපොළ තුළ තම අලෙවිය ඉහළ නංවා ගැනීම සඳහා මහජනතාවට වෙළඳ දැන්වීම් ඔස්සේ ළඟාවීමට සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස, ඒ වෙනුවෙන් අවශ්‍ය සේවා සපයන වෙන ම ක්ෂේත්‍රයක් බිහි වී ඇත. එනම් වාණිජ දැන්වීම්කරණ ක්ෂේත්‍රය යි. විශේෂයෙන් ම රූපමය මාධ්‍ය තුළ කැපී පෙනෙන ශ්‍රව්‍ය-දෘශ්‍ය ටෙලි අවකාශයක් ලබා ගන්නා මේ දැන්වීම්, ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය ඒකාකෘතිවලට අනුබල දෙන්නේ බොහෝවිට ඒ හා ඈඳුණු පාරිභෝගික භාණ්ඩය හෝ සේවාව අනුව ය. උදාහරණයක් ලෙස තේ කොළ, කිරිපිටි, සබන්, රෙදි සෝදන කුඩු, ලුණු, පොල් කිරි, පොල් තෙල් වැනි ආහාර පිසීම සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය දැන්වීම් සඳහා නිරූපණ ශිල්පිනියන් ද, විදුලි බුබුළු, වාහන, ගොඩනැගිලි අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ වැනි දෑ සඳහා නිරූපන ශිල්පීන් ද උපයෝගී කර ගනු ලැබේ.

ඉහත ඡායාරූපවලින් දිස්වන අයුරින් මෙවැනි බොහෝ භාණ්ඩ අළෙවි කිරීමේ දී ඒවා මිළ දී ගැනීමෙන් “කාන්තා ඔබගේ දියුණු පහසු කරවන” බව ද, ඒවා “නුවණැති කතුන්ගේ තේරීම” වන අතර, එකී භාණ්ඩ පිළිබඳව “අම්මා තරම් ම විශ්වාසය” ඇති බව වැනි යෙදුම් වෙළඳ පාඨ ලෙස යොදා ගැනීම ද දක්නට ලැබේ. මේ ඔස්සේ, ආහාර පිසීම, නිවෙස් පිරිසිදු කිරීම, ඇඳුම් සේදීම වැනි මනුෂ්‍ය පැවැත්මට අවශ්‍ය ප්‍රාථමික අවශ්‍යතා ඉටු කරදීම කාන්තාවගේ වගකීමක් බව ද, ඒ වෙනුවෙන් පුරුෂයන් වෙහෙස නොවිය යුතු බව ද ඒත්තු ගැන් වේ. මෙවන් දැන්වීම් සඳහා පැහැපත් රුවින් යුතු “සුදු” යැයි ලාංකේය සමාජයේ පිළිගැනෙන නිළියන් හෝ නිරූපණ ශිල්පිනීන් යොදා ගැනීම ඔස්සේ භාණ්ඩ ප්‍රවර්ධනය කිරීමට අමතර ව එයට අදාළ නොවන අනවශ්‍ය වෛෂයීකරණයක් (objectification) ද එක් වේ. මෙවන් උපක්‍රම ඔස්සේ විකිණිමට ලක් වන්නේ වෙළඳ භාණ්ඩය ද, කාන්තාව ද යන්න තීරණය කිරීම මේ ලිපිය කියවන ඔබට භාර කරමි.

මෙයට සමගාමීව රිය පැදවීම, රැකියා කිරීම, ඉදිකිරීම් කටයුතු කිරීම වැනි බොහෝ විට වැටුප් ලබන හෝ තාක්ෂණය උපයෝගී වන ක්‍රියාවලට අදාළ දැන්වීම් තුළින් ඒවා “පිරිමි වැඩ” ලෙස නිර්වචනය කිරීමට උත්සුක වේ. මේ දෙයාකාරයෙන් ම අනිසි ලෙස ප්‍රවර්ධනය වන්නේ අප විසින් මුළිනුපුටා දැමිය යුතු ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය ඒකාකෘතීන් ය. මෙසේ ජනගත වන බොහෝ භාණ්ඩ භාවිත කිරීමට ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය වෙනස්කම් බලපාන්නේ නැතුවා පමණක් නොව, ඒවා ගැහැනු පිරිමි දෙපාර්ශවය ම පොදුවේ සහයෝගයෙන් සිදු කළ යුතු කාර්‍යයන් සඳහා අවශ්‍ය වන ඒවා ය. එසේ නොමැති නම්, ගැහැනුන් විසින් සිදු කළ යුතු යැයි සම්මත බොහෝ ක්‍රියා ‘වැටුප් නොලබන සුරැකුම් සේවා ගණයට’ (unpaid care work) වැටෙන අතර පිරිමින්ට ඒවා අකැප යැ’යි, යමෙකුට සිතිය හැකි ය. කුඩා ගැහැනු දරුවෙකුට ‘සෙල්ලම් බත් උයන්නට cookery set එකක්’ හා පිරිමි දරුවෙකුට ‘truck එකක්’ තෑගි ලෙස ලබා දෙන ලාංකේය සමාජය තුළින් සංකේතවත් වන්නේ පසුකාලීන ව වැඩිහිටි සමාජය තුළ දක්නට ලැබෙන මේ බෙදීම නොවේ ද?

ටෙලිනාට්‍ය හා වැඩසටහන්

මෙරට තුළ නූතනයේ දක්නට ලැබෙන බොහෝ ටෙලිනාට්‍ය සාහිත්‍යමය රසයෙන් අඩු, නමුත් එදිනෙදා ජීවිතයේ සිදුවීම් අළලා නිර්මාණව වූ ඒවා යි. ඒ අනුව ඒවා බොහෝමයක් ළමා විය, පාසල් විය, යොවුන් ප්‍රේමය, විවාහය වැනි ජීවන සන්ධිස්ථාන ගොඩනැගීම හා බිඳවැටීම පාදක කොට ගෙන තිබීම පොදුවේ දක්නට ලැබෙන ලක්ෂණයකි. මෙවන් ටෙලිනාට්‍ය පෙරකී ලෙසින් සාමාන්‍ය ජීවිතය වටා ගෙතුණු කතාන්දර වීම හේතුවෙන් ම ඒවායින් ඉස්මතු කරන නාට්‍යෝචිත සිද්ධි-අවස්ථා, නරඹන්නන්ගේ, වෙසසින් ම කුඩා දරුවන්ගේ සිත් තුළට කා වදී. එනිසා ම ඒවා තුළින් ජනගත වන ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය ඒකාකෘතීන් වක්‍රාකාර ව සමාජීය ක්‍රියාකාරකම්වල ස්වභාවය නිර්ණය කරනු ලබයි.

මෙකී ටෙලිනාට්‍ය තුළ ජීවත්වන බොහෝමයක් කාන්තා චරිත නිවසේ සියලු කටයුතු තනි ව සිදු කරන, දරුවන්ගේ හා සැමියාගේ ඕනෑ-එපාකම් ඉටු කරමින් නිවස තුළ ම දවස ගෙවන්නියන් ය; පිරිමි චරිත රැකියාවට ගොස් නිවසට පැමිණි විට පත්තරය හෝ රූපවාහිනිය නරඹින් බිරිඳ විසින් බෙදා දුන් බත් පත අනුභව කරන්නෝ ය. නිවසේ වැඩ සම ව බෙදා ගෙන සිදු කිරීම හෝ ගැහැනුන් ද රැකියාවන්වල නිරත වන චරිත මේවා තුළ දක්නට ලැබෙන්නේ ඉතා අඩු වශයෙනි. එවැනි කාන්තා චරිත තිබුණ ද, ඒවා ඇතැම් විට යොදා ගැනෙන්නේ ප්‍රධාන පිරිමි චරිත සමඟ රැකියා ස්ථානයේ දී, අනියම් සම්බන්ධතාවයක් පවත්වන, ඔවුනට පහළ තනතුරු දරන අය ලෙස ය. රංගන කුසලතා අභිබවා බාහිර රූප ස්වභාවය මුල් තැන දී, තෝරා ගත් බොහෝ නළුනිළියන්ගෙන් පිරි මෙකී ටෙලිනාට්‍ය සිහින් සිරුරු, පැහැපත් රුවැති ගැහැනුන්ගෙන් හා වාහන හිමි, තමා පෙම් කරන තරුණිය දිනාගැනීමට සටන් කිරීමට වුව ද හැකි සිරුරු හිමි පිරිමින්ගෙන් අනූන වන්නේ බොහෝ අයහපත් ඒකාකෘතී සමාජගත කරවමිනි.

රූපවාහිනී මාධ්‍ය තුළ උදෑසන කාලයේ විකාශනය වන බොහෝ වැඩසටහන් එක්කෝ රූපලාවන්‍ය පිළිබඳ ව ය; නැතහොත් ඉවුම් පිහුම් ගැන ය; එසේත් නැත්නම් අත්කම් නිර්මාණ හෝ දරුවන් රැකබලා ගැනීම පිළිබඳ ව ය. එම නාලිකා තුළ ම රාත්‍රී කාලයේ දී ක්‍රීඩා තරඟ, දේශපලනික කතිකාවත් ආදිය විකාශනය වේ. සාමාන්‍ය ජීවිතයට වැදගත් වන මෙවන් වැඩසටහන් රූපවාහිනිය තුළ ප්‍රචාරයවීමේ කිසිඳු ගැටලුවක් නැත. නමුදු, උදෑසන නිවෙස් තුළ වැඩි වශයෙන් කාලය ගත කරන කාන්තාවන් ඉලක්ක කරගෙන තම රූපය, නිවස, මුළුතැන්ගෙය හා දරුවන් පිළිබඳ වැඩසහන් විකාශන කිරීම හරහා එවා පවත්වා ගෙන යාමේ වගකීමෙන් පිරිමියා නිදහස් වනවා සේ ම, රාත්‍රී කාලයේ දී එසේ නිවසේ වැඩවල කාන්තාවන් නිරත වන අතරවාරයේ පිරිමින් ඉලක්ක කරගත් වැඩසටහන් විකාශනය වීම තුළින් කාන්තාවන් තුළ පවතින ක්‍රීඩා, ආර්ථික හා දේශපාලනික දැනුම අඩුවීමට  ද එය බලපෑමක් එල්ල කරයි.

මාධ්‍ය ක්ෂේත්‍රයේ සමාජීය වගකීම හා වගවීම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නොවෙන තරම් ය. එවන් වගකීම් සහගත මාධ්‍යකරණයක් උදෙසා ජාතික මට්ටමේ හඬ නැඟීමක් පෙන්නට ද නැත. එහෙයින් අප සමාජයක් ලෙස හුරු වී ඇත්තේ “පෙන්වන දෙයක් බලා සිටීමට” හා “තිබෙන දෙයක් කියවීමට” ය. අනිසි ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය ඒකාකෘතී ප්‍රවර්ධනය කිරීම මාධ්‍ය හා වෙළඳ දැන්වීම් කලාව තුළ පවතින ගැටලු බොහෝමයකින් එකක් පමණි. එනමුදු එයින් වන බලපෑම කියවා අවසන පැත්තකින් තබන පත්තරයෙන් ද, බලා අවසන නිවා දමන රූපාවාහිනී යන්ත්‍රයෙන් ද, ඔබ්බට ගොස් මානව අයිතිවාසිකම් හා පුද්ගල නිදහස උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක පුරුෂ මූලික යාන්ත්‍රණ (patriarchal structures) තවතවත් රැකගැනීමට මාධ්‍ය අවියක් වී හමාර ය.

මාධ්‍යය හා වෙළඳ දැන්වීම් ක්ෂ්‍රේත්‍රය ස්ත්‍රීවාදයේ මූලිකාංග හා බැඳි ව වගකීම් සහගත ව ක්‍රියාත්මක වීම ස්ත්‍රීපුරුෂ සමාජභාවීය  විෂමතා අවම සමාජයක් ඇති කරගැනීමට මෙන් ම සුරැකුම් සේවා සම සේ බෙදාහදාගනිමින් නිවස තුළ සමඟිය ඇති කරගැනීමට ද, සමාජීය යහපැවැත්ම හා සාමය ඇති කරවීමට ද රුකුලක් වනු ඇත.

සටහන – නඳුනි මධුමාලි

The views expressed on this blog post are those of the author and do not reflect the official position of Hashtag Generation | මෙම බ්ලොග් පෝස්ටුවේ සඳහන් අදහස් මෙහි කර්තෘගේ අභිමතය අනුව සැකසී ඇති අතර එයින් Hashtag Generation හි අභිමත හා අදහස් නියෝජනය නොවේ.

Share this post

Share on facebook
Share on twitter
Share on linkedin

Related Projects

Fact Check

FACT CHECK : රුපියල ශක්තිමත් වුණේ උච්චමනෙයි විකුණපු නිසා ද? රනිල් අගමැති වුණු නිසා ද?

ශ්‍රී ලංකා රුපියල 2015 වසරේ සිට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති ආකාරය පිළිබදව හෑෂ්ටැග් පරපුර මීට පෙරදී ද කරුණු …

#Generation Explanations

Explanation of Emergency Regulations

Emergency (Miscellaneous Provisions and Powers) Regulations, No. 1 of 2022 were made by President Gotabhaya Rajapaksa and issued under Gazette …

Uncategorized

FACT CHECK : Can there be a salary cut for public servants who participated in the Hartal Campaign?

A message was observed circulating on social media including on Facebook and WhatsApp stating that the salaries for the month …

Fact Check

Fact Check : රාජ්‍ය සේවකයෙක් හර්තාලයට සහයෝගය දැක්වූවොත් මැයි මාසේ වැටුප කපාවිද?

“හර්තාල ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප් කපා හැරේ” යන සිරස්තලය යටතේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ බවට …

Fact Check

FACT CHECK : “රථ වාහන නලා නාද කිරීම” සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කළා ද ?

රථ වාහන නලා නාද කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ බව …

Fact Check

FACT CHECK : ජනාධිපතිවරයාට ඉල්ලා අස්විය හැකි ද ?

ජනාධිපතිවරයාට ඉල්ලා අස්විය හැකි ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දිනවල සමාජය තුළ විශාල කතාබහක් ඇති වී තිබේ.  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ …