තරුණියන් දේශපාලනයට යොමු විය යුත්තේ ඇයි?
කාන්තාව හා දේශපාලනය යනු ලෝකය පුරා බොහෝ රටවල සමාජ සන්දර්භවල විවිධ මතිමතාන්තර දරන, සහ ආන්දෝලනාත්මක කතාබහට ලක් වන මාතෘකාවකි. ශ්‍රී ලංකාවේ තත්ත්වයද වැඩි වෙනසක් නොවේ. එහෙත් ශ්‍රී ලංකාව තුළ වඩාත් විශේෂයෙන්ම කතාබහට ලක් විය යුතු මාතෘකාවක් ලෙස මෙය හඳුනාගත හැක. ආසියාවේ අනෙකුත් රටවල් හා සසඳන කල කාන්තාවන් දේශපාලනයේ නියැලීම අනෙක් රටවලට සාපේක්ෂව ඉතා පහළ ප්‍රතිශතයක් පෙන්නුම් කරයි. 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.3% වන විට ඉන්දියාවේ එය 12.6% ක්ද, නේපාලයේ එය 32.7%ක්ද මියන්මාරයේ එය 11.32% ක්ද විය. ශ්‍රී ලංකාවේ ජනගහනය අතින්ද කාන්තා ජනගහනය පුරුෂ ජනගහනය සාපේක්ෂව වැඩි අගයක් ගන්නා අතර එය 52% කි. එලෙසම ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන්ගෙන් 56% ක් කාන්තාවන් ය. අන්තර් පාර්ලිමේන්තු සංගමයට අනුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රකින රටවල් 190කින් ශ්‍රී ලංකාව සිටින්නේ 176 වන ස්ථානයේය. කෙසේ නමුත් 2018 වර්ෂයේදී, 2016 අංක 01 දරන පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතින් ප්‍රථම වරට ලබා දුන් 25% කෝටා ක්‍රමය දේශපාලනයේ නියැලෙන ස්ත්‍රීන් ලැබූ විශාල ජයග්‍රහණයකි. එහෙත්කාන්තා නියෝජනය වැඩි කිරීමෙන්ම පමණක් කාන්තාවන් දේශපාලනයේ වෙනදාට වැඩියෙන් නියැලේ යැයි සිහින මැවීම ප්‍රතිඵල රහිතය. ශ්‍රී ලංකාව තුළ විවිධ අරමුණු සඳහා වූ ප්‍රබල ස්ත්‍රී ව්‍යාපාර තිබුණද, ප්‍රබල ස්ත්‍රී දේශපාලන ව්‍යාපාර දකින්නට නැත. ලොව පළමු අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අප සතු වීමේ ආඩම්බරය අපට තවදුරටත් පැවතියත්, ඉතිහාසයේ සිට වර්තමානය තෙක් බිහි වී සිටින බහුතරක් ප්‍රධාන ස්ත්‍රී දේශපාලඥයන් බිහි වී සිටින්නේ තම පවුලේ පුරුෂයන් දේශපාලනය හා සම්බන්ධ වීමේ වරප්‍රසාදය සමඟයි.

කෙසේ නමුත් ඍජු දේශපාලනයේ නොවුණද, ශ්‍රී ලංකාවේ කාන්තාවෝ, ක්ෂුද්‍ර මූල්‍ය ණයවලින් පීඩා විඳින සමස්ත කාන්තාවන් වෙනුවෙන් විශාල අරගලයක මේ වන විටත් නියැලී සිටිති. Medialk.com වෙබ් අඩවිය උපුටා දක්වන සංඛ්‍යාලේඛන අනුව, ලංකාව පුරා විසි අට ලක්ෂ අනු දාහක් (28,90,000) එනම් ලක්ෂ 29 කට ආසන්න පිරිසක් ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයේ හිර වී සිටිති. මෙයින් වැඩිම ප්‍රමාණයක් කාන්තාවන් වන අතර අද වන විට ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීමට එරෙහි ව්‍යාපාරය මෙහෙයවන්නේද කාන්තාවන්ය.
උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ මවුවරු, වැන්දඹු කාන්තාවෝ හා ඔවුන්ගේ දරුවෝ අදටත් තමන්ට ඉටු නොවූ යුක්තිය වෙනුවෙන් මහමඟ සටන් කරති. මෙවන් අවස්ථා කාන්තාවක් වක්‍රාකාරයෙන් දේශපාලන ක්‍රියාදාමයට සම්බන්ධ වන අවස්ථා ලෙස සැලකිය හැකිය. මෙලෙස කාන්තා හඬ දේශපාලන ව්‍යාපාරවල මූලිකත්වය ගන්නේ නම්, ඔවුන්ට එම හැකියාවන්ද පවතින්නේ නම් තවදුරටත් ප්‍රධාන දේශපාලන ප්‍රවාහය තුළ කාන්තා දේශපාලනයේ පසුගාමීත්වයක් ඇත්තේ මන්දැයි ගැටළු සහගතය.
නෛතික වශයෙන් ගත් කල, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ශ්‍රී ලංකාව විසින් පිළිගෙන ඇති ජාත්‍යන්තර නීතිවලට අනුව කාන්තාවට දේශපාලන කරළියේ සම භූමිකාවක නියෝජනය ලබාදීමට ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව බැඳී සිටී. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කාන්තාවකට හා පුරුෂයෙකුට ලැබිය යුතු සම අයිතිය පිළිගෙන තහවුරු කර තිබෙන අතර, නීතිය ඉදිරියේදී එක හා සමානව පිදුම් ලැබීමට හා ස්ත්‍රීපුරුෂභාවය මත ඇති විය හැකි වෙනස් ලෙස සැලකීම් වැළැක්වීමද ප්‍රත්‍යක්ෂ කොට තිබේ. ශ්‍රී ලංකාව ගිවිස ගෙන ඇති CEDAW ගිවිසුමට අනුව අනුව කාන්තාවන්ට සිදුවන සියලුම ආකාරයේ වෙනස් ලෙස සැලකීම් ඉවත් කිරීම වැනි ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව ද මෙම සමානාත්මතාව ශ්‍රී ලංකාව විසින් තහවුරු කර ඇත. නෛතිකමය අංශයෙන් ඇති බාධක එලෙස ඉවත් වී ඇති නමුත්, පුරුෂ මූලික සමාජයෙන් එල්ල වන සමාජභාවීය බාධක, සමාජය තුළ කාන්තාවන්ට ඇති ඒකාකෘති, සමාජය දේශපාලනයේ නියුතු කාන්තාව දෙස බලන කෝණය, මැතිවරණ ව්‍යාපාර වලට යන වියදම් කාන්තාවට දැරීමට අපහසු වීම සහ ආගමික මතවාද නිසා කාන්තාවන් දේශපාලනය තුළට පිවිසීමත්, දේශපාලනය තුළ සිටිනා කාන්තාවන් අධෛර්‍යමත් වීමත් සිදු වේ. එහෙත් මේ සියලු බාධක කාන්තාවන්ට බලපාන්නේ ශ්‍රී ලාංකික කාන්තාවන් අධ්‍යාපන මට්ටම, සාක්ෂරතා අනුපාතය, විශ්වවිද්‍යාල ප්‍රවේශ වීමේ ප්‍රතිශතය, රාජ්‍ය සේවය වැනි සංවර්ධන නිර්ණායකවලින් පුරුෂයින්ට වඩා ඉහළ මට්ටම සිටින විටදීය. තවද බහුතරය සිංහල කතා කරන දේශපාලන පක්ෂවලට සාපේක්ෂව දමිළ භාෂාව කතා කරන පක්ෂවල කාන්තාන්ගේ නියෝජනය අවම අගයක් ගනී. මෙලෙසින් සක්‍රීය දේශපාලනයට කාන්තාවන්ට යොමු වීමට ඇති එකම බාධකය නම්, “ඔබ කාන්තාවක්, ඔබ මෙසේ විය යුතුය” ලෙස ඔවුන්ව ආන්තීකරණයකට ලක් කර ඇති අදිසි තේඩාව කාන්තාවන්ට හෝ සමාජයට නොපෙනීමයි.

ඉහත බාධකවල ප්‍රතිඵල හමුවේ, වැටුප් විෂමතා, ගෘහස්ථ හිංසනය, සෞඛ්‍ය, ගබ්සාව, විවාහය, පවුලේ ආර්ථිකයේ බර පවත්වා ගෙන යාම ආදී එකී නොකී ප්‍රශ්නවලින් කාන්තාවෝ දිනපතා පීඩනයට ලක් වෙති. මෙම ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට නම් ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රවාහය තුළට ස්ත්‍රීවාදී දැක්මක් අවශ්‍යමය. මෙම ස්ත්‍රීවාදී දැක්මකින් කටයුතු කිරීම යනු කාන්තාවන්ගේ ප්‍රශ්න දෙසම බැලීම නොවේ. ඒ තුළ පුරුෂයන් මුහුණ දෙන ගැටලු, දරුවන් මුහුණ දෙන ගැටලුත් අඩංගුය. හැරත් පුරුෂාධිපත්‍ය නිසා පීඩා විඳින්නේ කාන්තාවන් පමණක් නොවේ. එතුළ පුරුෂයාද යම් පීඩනයකට ලක් වේ. මෙම ස්ත්‍රීවාදී දැක්මක් දේශපාලන ව්‍යාපාරවලට අවශ්‍ය වන්නේ ඉහත ආකාරයෙන් පීඩාවට පත් වී සිටින කාන්තාවන්ට මෙන්ම පුරුෂයන්ටද සාධරණත්වයක් ඉටු කිරීමටය. සහ මෙම දේශපාලනයට ස්ත්‍රීවාදී දැක්ම යනු කාන්තාවන්ට තිබෙන සුවිශේෂ ප්‍රශ්න ගැන පමණක්ම කතා කිරීම හෝ කාන්තාවන් උදෙසා වෙනම වේදිකාවක් සැකසීම නොවේ. පවතින පොදු දේශපාලන වේදිකාව තුළ කාන්තාවගේ දායකත්වය එහි අඩංගු කිරීමයි. නිදසුන් වශයෙන් 2018 ලැබුණු 25% කෝටා ක්‍රමය දේශපාලනයේ නියුතු කාන්තාවන්ට විශාල ජයග්‍රහණයක් වූවත්, වර්තමානය වන විට පෙනෙන්නට තිබෙන ගැටලුව නම්, මෙම කෝටා ක්‍රමයෙන් ඉදිරියට ගෙන එන කාන්තාවන්ගේ කාර්‍ය භාරය කුමක්ද යන්නයි. බොහෝ පක්ෂවලට ඔවුන් නාමමාත්‍රික නියෝජිතවරියන් පමණකි. තීරණ ගැනීම, තීරණ ක්‍රියාත්කම කිරීම තුළ එම කාන්තාවන්ගේ දායකත්වය ඉතා අල්පය. සැබවින්ම කාන්තාවන් දේශපාලනයට යොමු වීමට නෛතිකමය වශයෙන් කෙරෙනා සංශෝධන ප්‍රමාණවත් නැත. සමාජය තුළින් හෝ දේශපාලන පක්ෂ තුළින් ඇයව බලගැන්වීම සිදු කළ යුතුය. අවාසනාවකට ශ්‍රී ඒවායේ කාන්තාවන් දේශපාලනයට බල ගැන්වීම කෙසේ වෙතත් ඇය අධෛර්‍යට පත් කිරීම සිදු වේ. අනෙක් අතට බොහෝ ස්ත්‍රී දේශපාලඥන්ගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වල තිබෙන බොහෝ ප්‍රතිචාර ද එතරම් සුබදායී ඒවා නොවේ. එම කාන්තාවන්ගේ පෞද්ගලික ප්‍රශ්න, දේශපාලනමය ගැටලු ආදී බොහෝ දේවල් සම්බන්ධ කර අපහාසාත්මක ප්‍රතිචාර දැක්වීම අද වන විට සුලබ දෙයකි. ඒවායින් සිදුවන්නේ ඔවුන්ට ගොඩනගා ඇති ප්‍රතිරූපය තව දුරටත් බිඳ වැටීමත්, මේවා නිසා ඇතිවන සමාජ මත නිසා තව දුරටත් ඔවුන්ගේ දේශපාලන ගමන කෙටි වීමත් ය.

කාන්තාවන් තව දුරටත් දේශපාලනය තුළට ඈඳා ගැනීමට නම් ඔවුන්ට ඇති සියලු බධක අභිභවා ඔවුන්ගේ ගමන යාමට අවශ්‍ය ශක්තිය සමාජයෙන් ලැබිය යුතුය. ඒ සඳහා කාන්තාවන් දේශපාලනයට යොමු විය යුත්තේ ඇයි යන්න පිලිබඳ සමාජයට අවබෝධයක් තිබිය යුතු සේම, මිනිසුන්ගේ ආකල්ප ද වෙනස් විය යුතුමය. දැනට දේශපාලනයේ නියුතු ප්‍රභල ස්ත්‍රී දේශපාලඥයන්ගේ මෙන්ම පුරුෂ දේශපාලඥයන්ගේ මැදිහත් වීමට එයට වඩාත් බලපෑම් එල්ල කල හැකි දෙයක් සේම, දේශපාලන පක්ෂ තුළිනුත් කාන්තාව දේශපාලනයේ බලගැන්වීම ඔවුන්ගේ දැක්ම තුළත් අඩංගු කිරීම මේ ගමන සඳහා වඩාත් පහසුවක් වනු ඇත. කෙසේ නමුත් වඩාත්ම වැදගත් දෙය නම්, කාන්තාවන් නොභියව, ස්ත්‍රී පුරුෂ සමාජ භාවී බාධක නොසලකා තමාට හැකි පමණින් ක්‍රියාකාරී දේශපාලනයට යොමු වීමයි.
සටහන – නයනතාරා ජයතිලක
References:
- කාන්තාව , සමාජය හා දේශපාලනය: https://fb.watch/66RuSfvYnU/
- කාන්තා දේශපාලන සහභාගීත්ව ප්‍රවර්ධනය අත් පොත : යුද්ධයෙන් විපතට පත් කාන්තාවන්ගේ සංගමය
- https://www.japantimes.co.jp/news/2021/02/01/asia-pacific/politics-diplomacy-asia-pacific/myanmar-military-explainer/
- ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය : https://medialk.com/archives/4352
The views expressed on this blog post are those of the author and do not reflect the official position of Hashtag Generation | මෙම බ්ලොග් පෝස්ටුවේ සඳහන් අදහස් මෙහි කර්තෘගේ අභිමතය අනුව සැකසී ඇති අතර එයින් Hashtag Generation හි අභිමත හා අදහස් නියෝජනය නොවේ.