මහජන සෞඛ්‍ය අර්බුදයකදී මාධ්‍යයේ කාර්යභාරය

  • ‘කොවිඩ්-19’ පිළිබඳ දුස් තොරතුරු මහජන සෞඛ්‍යයට තර්ජනයක් වෙන්නේ කොහොමද ? 
  • ‘කොවිඩ්-19’ වසංගතය ලොව පුරා ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ ප්‍රධාන පෙළේ පුවත්පත් ඇතුළු මාධ්‍ය ආයතන තුළින් සහ සමාජ මාධ්‍ය තුළින්, වසංගතය සම්බන්ධයෙන් විවිධ වාර්තා, සොයාගැනීම්, අදහස්, මත යනාදිය පළ විය. 

    ‘කොවිඩ්-19’ වයිරසය, වසංගත තත්ත්වයක් බවට පත්වීමෙන් අනතුරු එසේ පළ වන අදහස් ක්‍රමයෙන් වැඩි විය. ‘කොවිඩ්-19’ වයිරසය සම්බන්ධයෙන් විශේෂඥ මත ද ඒ සමඟ පළ විය. වෛද්‍ය සහ සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස්, ඔවුන් දරන මත යනාදිය ද සමාජ මාධ්‍ය තුළත් ප්‍රධාන මාධ්‍ය තුළත් පළ විය. 

    මෙම වයිරස වසංගත තත්ත්වයත් සමඟ සෞඛ්‍ය ජනමාධ්‍යවේදයේ යම් පිබිදීමක් ද දක්නට ලැබිණි. වයිරස සහ මහජන සෞඛ්‍ය විශේෂඥයන් සහ විද්‍යාඥයන් ඇතුළු සෞඛ්‍ය සහ වෛද්‍ය විශේෂඥයෝ වයිරසය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ට්විටර් සහ ෆේස්බුක් ඔස්සේ සිය පර්යේෂණ, අධ්‍යයන මෙන්ම ඔවුන්ගේ අදහස් ද ප්‍රසිද්ධියේ පළ කළේ ය. 

    සෞඛ්‍ය විශේෂඥයන් පළ කරන අදහස් බොහෝ අවස්ථාවලදී වැරැදි ලෙස උපුටා දක්වන හෝ වැරැදි ලෙස අර්ථකථනය කරන අයුරු අපට දකින්නට ලැබිණි. 

    එමෙන්ම සෞඛ්‍ය/වෛද්‍ය විශේෂඥයන් පළ කරන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය, සිය දේශපාලන න්‍යාය පත්‍ර, අභිලාෂ හෝ එවැනි වුවමනා එපාකම්වලට භාවිත කරන අයුරුත්, ඇතැම් විට සෞඛ්‍ය/වෛද්‍ය විශේෂඥයන් පළ කරන අදහස් විකෘති කරන අයුරුත් අපට දක්නට ලැබිණි. 

    ඒ හා සමාන සිදුවීම් දෙකක් අපට ආසන්නතම කාලයේ දී දක්නට ලැබිණි. 

    ‘කොවිඩ්-19’ වයිරසය සම්බන්ධයෙන් පර්යේෂණ කරන මෙරට ප්‍රධාන පෙළේ විද්‍යාඥවරියක වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රතිශක්ති විද්‍යා සහ අණුක වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සති දෙකක කාලයක් තුළ අවස්ථා දෙකක දී වැරැදි ලෙස උපුටා දක්වමින් මාධ්‍ය මඟින් මහජනතාව නොමඟ යවා තිබිණි. 

    මුලින්ම මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය බහ්රේනයේ කළ අධ්‍යයනයක් උපුටා දක්වමින් පළ කළ ට්විටර් පණිවුඩ මාලාව වැරැදි ලෙස අර්ථකථනය කර තිබිණි. ඇය එම ට්විටර් පණිවුඩය නිකුත් කර තිබුණේ අගෝස්තු මස 26 වැනිදා ය. 

    එදිනත්, ඊට පසු දිනත් මෙන්ම එතැන පටන් දින ගණනාවක් යන තෙක් ඇයගේ ට්විටර් පණිවුඩය වැරැදි ලෙස උපුටා ගැනීම් සහ වැරැදි ලෙස අර්ථකථනය කිරීම් දක්නට ලැබිණි. 

    මෙතැනින්,      මෙතැනින්,   

    ඊට දින කිහිපයකට පසු පැවැති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ද මහාචාර්යවරිය වැරැදි ලෙස උපුටා දැක්වී ය. 

    මෙතැනින්, 

    ශ්‍රී පුවත් නමැති YouTube නාලිකාවක් ද මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය වැරැදියට උපුටා දක්වා තිබිණි. 

    මෙතැනින්, 

    මහාචාර්යවරිය බහ්රේනය කළ අධ්‍යයනය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩය යොමු කළේ අගොස්තු මස 26 වැනිදා උදෑසන 7.03ට ය. ඇය පළ කළ ට්විටර් පණිවුඩය වැරැදි ලෙස උපුටා ගැනීම හේතුවෙන් ඇය එදිනම පස්වරු 2.51ට ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි. 

    මුල් ට්විටර් පණිවුඩය මෙතැනින්, 

    තමන් වැරැදියට උපුටා දක්වා ඇති බව සඳහන් මහාචාර්යවරිය නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩය, මෙතැනින් 

    අප මේ සම්බන්ධයෙන් අපි මහාචාර්යවරියගෙන් ද විමසීමක් කරන ලදි. ඇය පළ කළ අදහස පහළින් දැක්වේ. 

    “මම අද උදේ පළ කරපු ට්විටර් පණිවුඩය සම්පූර්ණයෙන්ම වැරැදියට අර්ථකථනය කරලා. මෙය බහ්රේන්වල කළ අධ්‍යයනයක්/පර්යේෂණයක් බව මම මුලින්ම කියන්න අවශ්‍ය යි. කොහොමහරි ගොඩක් අය මෙය තේරුම් අරගෙන තියෙන්නේ ශ්‍රී ලංකාවේ කරපු අධ්‍යයනයක් විදියට. 

    මම අනෙක් අධ්‍යයන/පර්යේෂණ ට්විට් කරනවා. ගොඩක් ට්විට්ස් අධ්‍යන/පර්යේෂණ පිළිබඳව යි. කොහොම නමුත් සංඛ්‍යාදත්ත, සහ එන්නත් සම්බන්ධයෙන් දුර්වල අවබෝධයක් තිබෙන අයෙක් මා වැරැදියට උපුටා දක්වලා. 

    මම ට්විට් කරන්නේ අනෙක් විද්‍යාඥයන් සමඟ අදහස් බෙදාහදා ගන්න කතාබහ කරන්න. විශේෂයෙන්ම මම ට්විටර්වල ෆලොව් (follow) කරන අනෙක් විද්‍යාඥයන්ගේ. මම ඔවුන්ගේ මතවලට ගෞරව කරනවා. 

    ඇතැම් ඒවා, බොහෝවිට මගේ ගොඩක් ට්විට් ඔවුන් වෙනුවෙන්. කොහොමනමුත් මේ ගැන අවබෝධයක් නොමැති කෙනෙක් සිනෝෆාම් එන්නත ඵලදායී නැහැ කියා මා වැරැදියට උපුටා දක්වලා. මා කියපු දේ වැරැදියට අර්ථකථනය කරලා. මිනිස්සු මේ දේවල් තේරුම් ගන්නේ නැතිනම්, කියන දේ අවබෝධ කරගන්න බැරි නම්, ඒ ගැන නිගමනවලට නෑවිත් ඉන්න අවශ්‍ය යි.” 

    මේ සම්බන්ධයෙන් “The Island” පුවත්පත වාර්තා කර තිබූ පුවතක්, මෙතැනින් 

    Neelika says her tweet has been misconstrued to run down Sinopharm vaccine

    ඊට සති දෙකකට නොඅඩු කාලයක් තුළ නැවත වරක් මහාචාර්යවරිය වැරැදි ලෙස උපුටා දක්වා තිබිණි. 

    ‘ගේට්වේ පාසලේ’ Gateway College වැඩසටහනකට එක්ව ඇය කළ දේශනයකින් එක් වාක්‍යයක් එලෙස වැරැදි ලෙස උපුටා ගෙන තිබූ අතර එය ට වැරැදි අර්ථකථනයක් ලබා දී තිබිණි.  

    එම වැඩසටහන පැවැතියේ සැප්තැම්බර් 3 වැනිදා ය. 

    ‘ගේට්වේ පාසලේ’ ෆේස්බුක් පිටුවේ ඒ සම්බන්ධයෙන් පළ කර තිබූ තවත් Posts දෙකක්, මෙතැනින් සහ මෙතැනින්

    ශ්‍රී ලංකාවේ ‘කොවිඩ්-19’ තත්ත්වය සහ පාසල් පද්ධතියට ඉන් ඇති බලපෑම “The COVID situation in Sri Lanka and the impact on Schooling – Professor Neelika Malawige” යන මාතෘකාව යටතේ ඇය එහිදි අදහස් දක්වා තිබිණි. 

    මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය වැඩසටහන සහ ඇයගේ සම්පූර්ණ කතාව, මෙතැනින්

    ප්‍රධාන ධාරාවේ මාධ්‍යය මෙන්ම සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි රැසක් ඇය වැරැදි ලෙස උපුටා දක්වමින් මෙම පුවත වාර්තා කර තිබිණි. 

    මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සිය දේශනයේදී ‘පාසල් විවෘත කරන්නැයි’ පැවසූ බව පවසමින් අදාළ මාධ්‍ය වාර්තා පළ කර තිබිණි. 

    එසේ පළ වූ ඒවායේ ස්ක්‍රීන්ෂොට්ස් (Screenshots) පහත දැක්වේ. 



    මේ අන්දමින් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ ප්‍රකාශය වැරැදි ලෙස උපුටා දක්වා තිබුණු අතර ඇතැම් අවස්ථාවලදී වැරැදි ලෙස අර්ථකථනය කර තිබිණි. 

    මෙලෙස තමන් දිගින් දිගටම වැරැදි ලෙස උපුටා දැක්වීමත් තමන් පළ කළ අදහස් වැරැදි ලෙස අර්ථකථනය කිරීමත් නිසා මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මේ සම්බන්ධයෙන් ෆේස්බුක් (Facebook) ඔස්සේ සටහනක් දමමින් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් තමන් වැරැදි ලෙස අර්ථදැක්වීම හෝ උපුටා දැක්වීම නොකළ යුතු යැයි අවධාරණය කළේ ය. 

    මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය තබා තිබූ ෆේස්බුක් සටහන (Facebook Post) මෙතැනින්

    මේ සම්බන්ධයෙන් පළ වී තිබූ මාධ්‍ය වාර්තා,

    මෙතැනින්, ‘‘පාසල් විවෘත කළ යුතු යැයි මා යෝජනා කළේ නෑ‘‘

    මෙතැනින්, Prof. Malavige says media misquoting her, posting lies

    මෙම සිදුවීම හේතුවෙන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන් සමාව ඉල්ලා තිබිණි. 

    ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය 

    මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ ෆේස්බුක් සටහනට (Facebook Post) අනුව ඉකුත් සති අටක කාලයේ දී ඇය ව සම්බන්ධ කරගෙන ඇත්තේ සන්ඩේ ටයිම්ස් පුවත්පත පමණි. ඊට අමතරව සෑම රූපවාහිනි නාලිකාව ම විකාශය වූ ‘හුස්ම’ වැඩසටහනට ඇය සම්බන්ධ වී ඇත. 

    අනෙක් සෑම අවස්ථාවකදීම මාධ්‍ය ඇය උපුටා දක්වමින් ප්‍රවෘත්ති වාර්තා කර ඇත්තේ ඇය දේශනයකදී/වෙබිනර් වැඩසටහනකදී පළ කළ අදහස් හෝ වන අතර ඇතැම් ඒවා ඔවුන් ගේ හිතළු බව ද මහාචාර්යවරිය චෝදනා කර ඇත. 

    මේ සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 14 වැනි අඟහරුවාදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදහස් පළ කළේ ය. 

    මෙතැනින්, 54:08 මිනිත්තුවේ සිට. 

    සෞඛ්‍ය විශේෂඥයන් වැරැදි ලෙස උපුටා දැක්වීමෙන්, නැතිනම් ඔවුන් කළ ප්‍රකාශයක් වැරැදි ලෙස අර්ථකථනය කිරීමෙන් එහෙමත් නැතිනම් ඔවුන් කළ ප්‍රකාශයකින් එක් කොටසක් උපුටා දැක්වීමෙන් වැරැදි තොරතුරු සමාජ ගත වීමේ දැඩි අවදානමක් තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධනය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවැසීය. 

    විශේෂයෙන්ම වසංගතයක් පවතින සමයක එසේ වැරැදි තොරතුරු සමාජ ගත වීමෙන් මහජනතාව තුළ සෞඛ්‍ය තොරතුරු සම්බන්ධයෙන් ඇති විශ්වාසය පළුදු වන බව ද ඔහු කීවේය. 

    සෞඛ්‍ය ප්‍රවර්ධනය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා එහිදි මෙසේ ද කීය. 

    “විශේෂයෙන්ම වසංගතයක් පවතින සමයක දී සෞඛ්‍ය විශේෂඥයන් වැරැදි උපුටා දැක්වීමෙන් හෝ ඔවුන් කරන ප්‍රකාශ වැරැදි ලෙස අර්ථකථනය කිරීමෙන් ඍණාත්මක බලපෑම් දෙකක් සිද්ධ වෙනවා. 

    වැරැදි ලෙස උපුටා දැක්වීමෙන්, වැරැදි ලෙස අර්ථ කථනය කිරීමෙන් මිනිස්සුන්ගේ හැසිරීම්වලට බලපෑම් එල්ල වෙනවා. මොකද මිනිස්සු විශ්වාස කරන්නේ මුලින්ම අහන දේ. මිනිස්සුන්ට මුලින්ම වැරැදි පණිවුඩයක් දුන්නොත් එයින් බරපතළ හානියක් සිද්ධ වෙනවා. ඒක තමයි පළමුවැන්න. 

    මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ මුලින්ම අහන දේ විශ්වාස කරන්න. ඇතැම් විට දෙවැනියට අහන දේ නිවැරැදි හා සත්‍ය වුවත්, මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ ඒක මුලින්ම අහපු දේ එක්ක සන්සන්දනය කරන්න. ඒක මනුෂ්‍ය ස්වභාවය. දෙවැනියට අහන නිවැරැදි හා සත්‍ය වුවත් එය ඔප්පු කිරීම ඇතැම් අවස්ථාවලදී හරිම අමාරු කාර්යයක්. ඉතිං මිනිස්සු මුලින්ම අහන දේ නිවැරැදි නැති වුණත්, කිසිම තේරුමක් නැති වුණත්, මිනිස්සු ඒක විශ්වාස කරනවා. 

    ඒක සමාන්‍ය ස්වභාවයක්. වැරැදි දෙයක් සමාජ ගත වුණොත් එය නිවැරැදි කිරීමේ වගකීමක් තිබෙනවා. ඒක දුෂ්කර කටයුත්තක්. වැරැදි නම් හෝ නිවැරැදි නම් හෝ වැරැදි හෝ නිවැරැදි බව තහවුරු කර පෙන්වන්න අවශ්‍ය යි. අධිකරණය වුණත් කියන්නේ එය යි. 

    අනෙක් අතට මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ ලේසි පහසු දේ පිළිගන්න/කරන්න. පහසු දේ විශ්වාස කරනවාත් වැඩි යි. අමාරු/දුෂ්කර දේවල් සත්‍ය වුණත් පිළිගන්න විශ්වාස කරන්න සූදානම් නැහැ. 

    දෙවැනි ඍණාත්මක කරුණ නම් මිනිස්සු අතර සෞඛ්‍ය තොරතුරු ගැන තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. එය ඉතා බරපතළ තත්ත්වයක්. මිනිස්සුන්ට සැරෙන් සැරේට විවිධ තොරතුරු ලබාදුන්නා ම මහජනතාව අතර තිබෙන විශ්වාසය බිඳ වැටෙනවා. සන්නිවේදනයේදීත්, විශේෂයෙන්ම සෞඛ්‍ය සන්නිවේදනයේදී වගේම මහජනතාවට තොරතුරු දැනුම් දීමේදීත් අපට ලබාදෙන උපදෙස්වලත් තියෙන ප්‍රධාන කරුණක් තමයි, එකම පණිවුඩය, නිරන්තරයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ ලබාදෙන්න කියන දේ. 

    මෙය හොඳින් කරන්න අපි විඩියෝ හෝ සජීවී වැඩසටහන්වලට සම්බන්ධ වෙනවා. ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වෙනවා. එහෙම කළත් ඇතැම් අවස්ථාවලදී මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන්ට අවශ්‍ය හෝ ඔවුන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන කොටසක් විතරයි. මේක බොහෝ වෙලා‌වට සම්පූර්ණ අදහස් පළ කිරීමකින් කොටසක් විතරයි. ඇතැම් විට එය අදාළ සම්පූර්ණ විස්තරය ගැන වෙනස්ම අදහස් දෙන්න පුළුවන්. නැතිනම් අපි අර කියනවා වගේ ‘අවුට් ඔෆ් කන්ටෙක්ස්ට්’ (Out of context).

    ඒ වැඩෙන් වෙන්නේ සමාජයට වැරැදි තොරතුරු යන එක. ඒක කරන්න නරකයි. එය නොකළ යුතුම දෙයක්. එයින් මහජනතාව සෞඛ්‍ය තොරතුරු මත විශ්වාසය බරපතළ විදියට කඩ කරනවා. විශේෂයෙන්ම මේ වගේ වසංගතයක් තියෙන වෙලාවක මුළු රටටම ලෝකයටම බලපා තිබෙන වෙලාවක එවැන්නකින් සිදුවන විශාල යි. එමඟින් මිනිස්සු හැසිරීමට විශාල වශයෙන් වගේම ඍණාත්මක බලපෑම් එල්ල වෙනවා”.

    ‘කොවිඩ්-19’ සම්බන්ධයෙන් විශේෂඥ අදහස් දැක්වීම් සහ විශේෂඥ මත, මාධ්‍ය විසින් වැරැදි ලෙස අර්ථ නිරූපණය කිරීම හෝ ඒවා විකෘති කිරීම මඟින් ජීවිත අනතුරට ලක් වීම හෝ අකල් මරණ සිදු විය හැකි යැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන මහතා පැවැසීය. 

    ඔහු පළ කළ සම්පූර්ණ අදහස පහතින් දැක්වේ. 

    “මාධ්‍ය විසින් විශේෂඥයකු වැරැදියට උපුටා දැක්වීම කිසිසේත්ම මාධ්‍ය වෘත්තීයභාවය නොවෙයි.ඒ වගේම වත්මන් වසංගතය වගේ තත්ත්වයකදී ඉතාම වගකීම් විරහිත ක්‍රියාවක්. ‘කොවිඩ්-19’ වයිරසය සම්බන්ධයෙන් තිබෙන විද්‍යාත්මක දැනුම 2020 වසරේ සිට වැඩි දියුණු වෙමින් තිබෙනවා. ප්‍රතිපත්ති ප්‍රතිචාර දැක්වීම් සහ පෞද්ගලික චර්යා වෙනස් කර ගත යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ ලබා දෙන්නේත් වෛද්‍ය හා ජෛව විද්‍යා පර්යේෂකයෝ. ‘කොවිඩ්-19’ සම්බන්ධයෙන් විශේෂඥ අදහස් දැක්වීම් සහ විශේෂඥ මත, මාධ්‍ය විසින් වැරැදි ලෙස අර්ථ නිරූපණය කිරීම හෝ ඒවා විකෘති කිරීම මඟින් ජීවිත අනතුරට ලක් වීම හෝ අකල් මරණ සිදු විය හැකියි. එපමණක් නොව ජීවනෝපායවලට හානි සිදුවෙනවා. මහජන/රාජ්‍ය මුදල් නාස්ති වෙනවා. ඒ වගේම වසංගතය මර්දනය කිරීමටත්, මැඩ පැවැත්වීමටත් රට ගන්නා උත්සහායන් අඩපණ කරනවා.” 

    ශ්‍රී ලංකාවේ මාධ්‍ය හෝ මාධ්‍යවේදීන් මෙලෙස හැසිරෙන්නේ ඇයි ? නාලක ගුණවර්ධන මහතා පළ කළ ට්විටර් පණිවුඩය, මෙතැනින් 

    “භාවප්‍රකෝපකාරී වාර්තාකරණය , බරපතළ සමාජ ප්‍රශ්න මතු පිටින් පමණක් වාර්තා කිරීම, තහවුරු කර නොමැති තොරතුරු වාර්තා කිරීම සහ දරුණු ලෙස පක්ෂපාතී වීම ශ්‍රී ලංකාවේ වෘත්තීය නොවන මාධ්‍යකරණයේ රෝග ලක්ෂණ ලෙස පෙන්වා දෙන්න පුළුවන්. බොහෝ මාධ්‍යවලට සෑම සමාජ ප්‍රශ්නයක්ම අවර ගණයේ ප්‍රමෝදයක්/ප්‍රීතියක් බවට පත්වෙලා. එයින් සිදු වන සමාජ හානිය ගැන කිසිදු තැකීමක් නැහැ.

    මෙයට හේතු ගණනාවක් තිබෙනවා. මාධ්‍ය ජ්‍යෙෂ්ඨයන් වෘත්තීය භාවය ගැන නොතැකීම, හිමිකරුවන්ගේ උදාසීනත්වය මෙන්ම මාධ්‍යවේදීන්ට ලැබෙන ඉතා අඩු වැටුප් සහ පහසුකම් ආදිය නිසා අවම මට්ටමේ මාධ්‍යකරණයක් දිගටම සිදු වනවා.

    ඒ වගේම ඇතැම් ජනමාධ්‍යවේදීන්ට විද්‍යාත්මක පද/හැඳින්වීම්  සහ සංකල්ප තේරුම් ගන්න අපහසුතා හෝ දුෂ්කරතා තිබෙනවා. ඒ වගේම ඇතැම් අයට ගෝලීය විද්‍යාත්මක භාෂාව වන ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීමේ දුෂ්කරතා තිබෙනවා.

    ප්‍රායෝගික දුෂ්කරතා මොනවා වුණත් ස්ථාපිත මාධ්‍ය ආයතන මේ ආකාරයේ ව්‍යාජ සහ හානිකර/හානිදායක වාර්තාකරණය දිගටම කරගෙන යාම ගැන කිසිදු නිදහසට කරුණක් පිළි ගන්නට බැහැ.”

    වයිරසවේදය, සෞඛ්‍ය හෝ මොනයම් හෝ විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් විශේෂඥයකු පළ කරන අදහස් ප්‍රවෘත්තියක් සඳහා සම්පිණ්ඩනය කිරීමට නම් විෂය දැනුම ඇති ‍‍සහ පුහුණුව ඇති මාධ්‍යවේදීන් ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ සිටිය යුතු යැයි ඉන්ටර්නැෂනල් මීඩියා සපෝර්ට් හි (International Media Support) කලාපීය උපදේශක (ආසියානු) ආචාර්ය රංග කලන්සූරිය මහතා පැවැසීය. 

    මෙහිදි දැනුම, විශේෂයෙන්ම විෂය දැනුම සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් තිබෙන බව ද හෙතෙම සඳහන් කළේ ය. 

    ඔහු පළ කළ සම්පූර්ණ අදහස පහතින් දැක්වේ. 

    “විශේෂඥයෙක් පැය භාගයක් විනාඩි හතළික් කරන දේශනයක්,  විශේෂයෙන්ම වයිරසවේදය වගේ සංකීර්ණ දෙයක් සම්බන්ධයෙන් විශේෂඥයකු මිනිත්තු 30ක් 40ක් කරන දේශනයක් ප්‍රවෘත්ති විකාශයකට සම්පිණ්ඩනය කරන එක ඉතා බරපතළ කාරණයක්. ඊට හේතුව පැය භාගයක විනාඩි 45ක දේශනයක විශාල කරුණු සංඛ්‍යාවක් අඩංගු යි. ඒ වගේම ඒ කරුණුයි ඉතාම සංකීර්ණ යි. එවැනි දේශනාවල තාක්ෂණික කරුණු රැසක් අඩංගු යි. එතකොට ඒ වගේ දේශනයක් විනාඩි දෙක තුනක ප්‍රවෘත්තියකට, එහෙම නැතිනම් පුවත්පතක වෙබ් අඩවියක ඡේද හතරක පහක කතාවකට සම්පිණ්ඩය කරනවා කියන්නේ අතිශය අභියෝගාත්මක ප්‍රශ්නයක් මාධ්‍යවේදීන්ට. ඒ වගේ සම්පිණ්ඩයක් කරන්න වර්තමාන  මාධ්‍යවේදීන්ට පුහුණුවක් තියෙනවා කියා මා හිතන්නේ නැහැ. ඒක එක කාරණයක්. දෙවැන්න ඔවුන්ගේ ප්‍රවෘත්තිවල තියෙන මතවාදය. එහිදී එක්කෝ අයිතිකරුවාගේ දේශපාලන මති මතාන්තර එක්ක ගෑවීගෙන යනවා. එහෙම නැතිනම් රටේ තිබෙන ජනප්‍රිය මතවාදයත් එක්ක මුසු කරගන්න උත්සාහ කරනවා. අපි ඒක දැකලා තියෙනවා. 

    තමන්ව වැරැදි ලෙස අර්ථකථනය/ උපුටා දක්වූවා කියන චෝදනාව නීලිකා මලවිගේ මහාචාර්යතුමිය චෝදනා කරන්නේ මේ සන්දර්භය ඇතුලෙයි.

    මෙවැයින් ගැලවෙන්න නම්, සංකීර්ණ විෂය කරුණු තිබෙන දිගු දේශනාවක් විනාඩි දෙක තුනක ප්‍රවෘත්තියක් ලෙස ගන්නකොට එක වචනයක් එහා මෙහා වීමෙන් වැරැදි ලෙස අර්ථකථනය කිරීම හෝ වැරැදි ලෙස උපුටා දැක්වීම වෙන්න පුළුවන්. ඒක සමස්ත සමාජයටම බලපාන්නත් පුළුවන්. මොකද අපි දෙන්න හදන්නෙ සූක්ෂම සම්පිණ්ඩයක්. විනාඩි 45ක දේශනයක් විනාඩි තුනකින් කියන්න උත්සාහ කරනවා. නීලිකා මලවිගේ මහත්මියටවත් ඇය කියපු කරුණු ටික විනාඩි තුනකට සම්පිණ්ඩය කරන්න අපහසුවෙන්න පුලුවන්. ඒත් වෛද්‍ය විද්‍යාව ගැන, වයිරසවේදය ගැන හෝ සෞඛ්‍යය ගැන අවබෝධයක් නැති අපි මෙය විනාඩි තුනකට සම්පිණ්ඩය කරන්න උත්සාහ කරනවා. එතකොට ඔයවගේ අඩුපාඩු ඇතිවීම ස්වභාවිකයි. ඒ වගේම වුවමනාවක් ඇතිව හෝ වුවමනාවක් නැතිව උනත් ඒ වගේ අඩුපාඩු වෙන්න පුළුවන්. 

    ඕකට තියෙන එකම විසඳුම තමයි විෂය දන්න මාධ්‍යවේදීන්ට පුහුණුවක් නොදී ඔය වැඩේට අත ගහන්න නොදී ඉන්න එක. ඉස්සර ප්‍රවෘත්ති කාමරවල, බී.බී.සී. වගේ ලොකු ආයතනවල ඉන්නවා වයිරසවේදය, විද්‍යා කටයුතු ගැන විශේෂඥ මාධ්‍යවේදීන්. ඔවුන්ට ඕක කරන්න පුළුවන්. නමුත්  සමහර වෙලාවට අපේ නිවුස් රූම්වල වෙන්නේ ෆුට්බෝල් ආවරණය කරන, ක්‍රීඩා ආවරණය, ක්‍රීඩා අංශය ආවරණය කරන මාධ්‍යවේදීන් පවා යවනවා වයිරසවේදය ගැන, කොරෝනා මාධ්‍ය සාකච්ඡා ගැන වාර්තා කරන්න. ඒ නිසා විෂය දැනුම පිළිබඳ ප්‍රශ්නයකුත් මෙතැන තියෙනවා.” 

    මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතන විෂය විශේෂඥයන් වැරැදි ලෙස අර්ථකථනය කිරීම හෝ වැරැදි ලෙස උපුටා දැක්වීම තුළින් වෘත්තීයභාවය සහ ජනමාධ්‍ය ආචාරධර්ම පිළිබඳ ගැටලුවක් පැන නගින බව ඔස්ට්‍රේලියාවේ සෙන්ට්‍රල් ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ, අධ්‍යාපන සහ කලා අධ්‍යයන අංශයේ (SCHOOL OF EDUCATION AND THE ARTS) පර්යේෂක ආමන්ත පෙරේරා මහතා පැවැසීය. 

    මාධ්‍යවේදීන් දිගින් දිගටම මේ ආකාරයෙන් කටයුතු කරන්නේ එහි ඇත්තේ මහජන සේවා ජනමාධ්‍යකරණයක් නොව දේශපාලන න්‍යාය පත්‍ර හෝ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් හෝ ක්‍රියාත්මක වීමක් යැයි ද හෙතෙම කීය. 

    ඔහු පළ කළ සම්පූර්ණ අදහස පහතින් දැක්වේ. 

    “වැරැදි ලෙස අර්ථකථනය කිරීම හෝ වැරැදි ලෙස උපුටා දැක්වීමටත් වඩා තිබෙන්නේ වෘත්තීයභාවය පිළිබඳ ප්‍රශ්නයක්. ජනමාධ්‍ය ආචාරධර්ම පිළිබඳ ගැටලුවක්. යම් විශේෂඥයකු වැරැදි ලෙස උපුටා දක්වනවා නම් යම් විශේෂඥයකු පළ කළ අදහසක් වැරැදි ලෙස අර්ථකථනය කළා නම්, බොහෝ විට එතෙන තිබෙන්නේ දේශපාලන න්‍යයා පත්‍රයක් ක්‍රියාත්මක වීමක් හෝ ව්‍යාපාරික වුවමනාවක් වෙන්න පුළුවන්. 

    අප ප්‍රවෘත්ති පළ කරන්නේ ඇයි ? අපි ජනතාවට දැනුම් දෙන්නේ මොනවාද ? ඒවාට ලැබෙන සමාජ අර්ථකථන මොනවාද ? ජනතාවට දැනුම් දෙන්නේ මොනවාද සහ එයින් ජනතාවට, සමාජයට හෝ ප්‍රජාවට ඇති වටිනාකම කුමක් ද සහ ඔවුන්ට එය කොතරම් වටිනාවද කියන ? මෙය තමයි ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ප්‍රශ්නය විය යුත්තේ. එය නොකර ප්‍රවෘත්ති වාර්තා කරනවා නම් එතැනි තිබෙන්නේ දේශපාලනයක් හෝ ව්‍යාපාරික වුවමනාවක් විය හැකි යි. 

    සනාථ නොකරන ලද හෝ තහවුරු කරන්නේ නැති ප්‍රවෘත්ති වාර්තාකරණයේ තවත් පැතිකඩක් තමයි, යමක් විකිණීමට උත්සාහ කිරීම. නැතිනම් අපි කියනවා පී.ආර්. කියලා. ප්‍රවෘත්තියක් විකුණන් උත්සාහ කිරීම තුළ යමකුගේ ප්‍රතිරූපය නැංවීම හෝ බිඳ දැමීම තිබෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව තුළ මෙය බෙහෙවින් දකින්න පුළුවන්. මාධ්‍යවේදීන් මේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරනවා නම් එතැන තිබෙන්නේ මාධ්‍යකරණයක් නෙමෙයි. 

    ඒ නිසා විශේෂඥ අදහස් හෝ වෙනත් අදහසක්, පුද්ගලයකු වැරැදි ලෙස අර්ථකථනය කරනවා නම්, වැරැදි ලෙස උපුටා දක්වනවා නම් එය නිවැරැදි කළ යුත්තේ ද මාධ්‍ය ක්ෂේත්‍රය යි. 

    ඒ සඳහා මහජන සේවා ජනමාධ්‍යකරණයක් අවශ්‍ය යි. ශ්‍රී ලංකාව තුළ එය තිබෙනවාද කියන ගැටලුව තිබෙනවා. නිදහසින් පසු ගෙවී ගිය කාලයේදී මහජනතාවට සේවය කරන ජනමාධ්‍යකරණයක් ශ්‍රී ලංකාවේ තිබුණේ නැහැ. අද වෙද්දි මේ තත්ත්වය නරකම අතට හැරිලා. ශ්‍රී ලංකාවේ මේ කියන මාධ්‍යකරණය එනම් මහජන සේවා මාධ්‍යකරණය නොමැති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි වෘත්තීයක් ලෙස දියුණු නොවීම, වෘත්තියක් නොමැති වීම. ඒ නිසා මේ අඩුපාඩුව ඉක්මනින් විසඳා ගත යුතු යි. 

    වෘත්තීය ජනමාධ්‍ය ක්ෂේත්‍රයක් නිර්මාණය කරන්න නම්, ජනමාධ්‍යවේදීන් වෘත්තීයභාවය ආරක්ෂා කළ යුතු යි. මාධ්‍යවේදීන් වෘත්තීයභාවයෙන් කටයුතු කළ යුතු යි. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා ජනමාධ්‍යවේදීන් වෘත්තීයභාවයෙන් කටයුතු කරනවාද කියන එක. 

    ශ්‍රී ලංකාවේ අනෙක් සෑම ක්ෂේත්‍රයක් වගේම මාධ්‍ය ක්ෂේත්‍රය ද දේශපාලනීකරණය වෙලා. මාධ්‍ය ආයතන දේශපාලනීයකරණය වෙලා. මේ නිසා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය වගේම මාධ්‍යවේදීන් ද ආචාරධාර්මික ද වෘත්තීයභාවයෙන් කටයුතු කරනවා ද කියන ගැටලුව තියෙනවා. 

    මම කියන දෙයින් වුණත් උපුටා ගන්නේ කොටසක්. වාර්තා කරන්නේ කොටසක්. ඒ නිසා එය හරයාත්මක ලෙස භාවිත කිරීම සහ උපුටා ගැනීම මාධ්‍යවේදියාගේ කාර්යභාවරයක්. සමාජයට අර්ථවත් ලෙස, උපුටා ගැනීම සහ වාර්තා කිරීම මාධ්‍යවේදියාගේ කාර්යභාරයක්. එලෙස කිරීම ආචාරධාර්මික සහ වෘත්තීයභාවය පිළිබඳ කාරණයක්.” 

    මුද්‍රිත මාධ්‍යයක අප ඉහතින් පළ කළ ආකාරයේ ප්‍රවෘත්තියක් පළ වුවහොත් ඊට පුවත්පත් මණ්ඩල පනත හෝ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණි කොමිසම අදාළ බලතල ප්‍රකාරව ක්‍රියාමාර්ග ගත හැකි බවත් ගුවන් විදුලියක හෝ රූපවාහිනියක පළ වුවහොත් සිවිල් නඩුවක් පැවැරිය හැකි බවත් නීතිඥ ජගත් ලියනාරච්චි මහතා පැවැසීය. 

    තවදුරටත් මෙහි නීතිමය පසුබිම පළ කළ නීතිඥ ජගත් ලියනාරච්චි මහතා මෙසේ ද කීය. 

    “මෙවැනි ප්‍රවෘත්තියක් පුවත්පතක, එහෙමත් නැතිනම් මුද්‍රිත මාධ්‍ය්‍යක පළ වුවහොත් වැරැදි ප්‍රවෘත්ති වාර්තා කිරීම හෝ ප්‍රවෘත්තිය විකෘති කිරීමට අදාළව පුවත්පත් මණ්ඩල නීතිය යටතේ නඩු පැවැරිය හැකි යි. 

    ඒ වගේම ඊට අදාළ නීතිවලට අනුව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නිවැරැදි කිරීමක්, කනගාටුව පළ කිරීමක් පළ කළ හැකි යි. 

    ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ ආචාරධර්ම කඩකිරීමක් සිදුව තිබෙන්නේ ඊට අනුව ක්‍රියාමාර්ග හැකියාව තිබෙනවා. ඒ සඳහා පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතු ව තිබෙනවා. 

    මේ දෙකම මුද්‍රිත මාධ්‍යයක පුවත්පතක පළ වුවහොත් පමණයි. 

    ගුවන් විදුලි හෝ රූපවාහිනි නාලිකා සම්බන්ධයෙන් හෝ එහි අන්තර්ගතය සම්බන්ධයෙන් නීතිමය පියවර හෝ ඊට අදාළ හෝ පියවර ගන්න නිශ්චිත අධිකාරියක් නැහැ. ඒ නිසා අගතියට පත් පාර්ශවයට සිවිල් නඩුවක් පවරන්න පුළුවන්. 

    ඒ වගේම අපි ඉන්නේ වසංගත සමයක. ඒ නිසා මේ ව්‍යසන අවස්ථාවේදී නිසි බලධරයා ට මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මෙවැනි වැරැදි අර්ථකථනයක් හෝ වැරැදි උපුටා ගැනීමක් නිසා වසංගතයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගවලට අහිතකර බලපෑම් එල්ල වුණා යන කරුණ යටතේ නීතිමය පියවර ගන්න පුළුවන්. ඊට අදාළව නිරෝධායන ආඥා පනත භාවිත කරන්න පුළුවන්. මේ අවස්ථාවේ නිසි බලධරයා වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ය.”

    මෙලෙස සෞඛ්‍ය/වෛද්‍ය විශේෂඥයන් වැරැදි ලෙස උපුටා දක්වමින් හෝ වැරැදි ලෙස අර්ථකථනය කරමින් කර ඇති ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී එක් පොදු ලක්ෂණයක් නිරීක්ෂණය කළ හැකි ය. 

    එනම් මෙලෙස සෞඛ්‍ය/වෛද්‍ය විශේෂඥයකු වැරැදි ලෙස උපුටා දක්වමින් හෝ වැරැදි ලෙස අර්ථකථනය කර පළ කරන ප්‍රවෘත්තියක් අනෙක් ප්‍රවෘත්ති සියල්ලටම හේතු වන බව ය. 

    ඉහත සිදුවීම් දෙකේ දී ද එකම ප්‍රවෘත්තිය සංස්කරණය වෙමින් විවිධ වෙබ් අඩවිවල, ප්‍රවෘත්ති පත්‍රවල, YouTube නාලිකාවල, රූපවාහිනි හෝ ගුවන් විදුලි නාලිකාවල හෝ සමාජ්‍ය මාධ්‍යයේ පළවන බව දැකිය හැකි ය. ඇතැම් ඒවා Copy+Paste යනුවෙන් ද පෙන්වාදිය හැකිය. 

    මේ නිසා විශේෂයෙන්ම මේ වසංගතයේ දී සෞඛ්‍ය විශේෂඥයන් උපුටා දක්වමින් වාර්තා කරන ප්‍රවෘත්ති නිරවද්‍යභාවය තහවුරු කිරීම ඉතා වැදගත් ය. ඊට ක්‍රම කිහිපයක් ඇත. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනයක් එවැනි ප්‍රවෘත්තියක් පළ කර ඇතිනම් තවත් මාධ්‍ය ආයතන කිහිපයකින් එය තහවුරු කළ ගත හැකි ය. එසේ වෙනත් මාධ්‍ය ආයතනවලින් තහවුරු කරගැනීමට නොහැකි වන අවස්ථා ද ඇත. ඒ සම්බන්ධයෙන් ද අවබෝධයෙන් සිටිය යුතු ය. 

    යම් විශේෂඥයකු උපුටා දක්වා ඇති නම් මේ සම්බන්ධයෙන් ඔවුන් අදහස් පළ කර ඇත්දැයි ඔවුන්ගේ සමාජ මාධ්‍ය ඔස්සේ බලාගත හැකි ය. 

    එමෙන්ම අදාළ ප්‍රවෘත්තියේ ඇති කරුණු, අධ්‍යයනයක් නම් එය පවත්වන ලද රට, එම අධ්‍යයනයට කොතරම් පිරිසක් සම්බන්ධ වී ඇති ද, එම අධ්‍යයනයේ සිදු කරන ලද කාලය, හෝ ඒ ප්‍රකාශයට පත් කළ දිනය යනාදි විස්තර මඟින් ද අදාළ ප්‍රවෘත්තිය තහවුරු කළ හැකි ය. ඒ සඳහා Google Search Engine ගූගල් සෙවුම් යන්ත්‍රය, හෝ වෙනත් සෙවුම් යන්ත්‍රයක් භාවිත කළ හැකි ය. 

    මේ නිසා විශේෂඥ අදහස් බව කියමින් ඔබට ලැබෙන/පැමිණෙන පණිවුඩ එක් වරක්, දෙවරක් නොව කිහිපවරක්ම තහවුරු කරගැනීම ඉතා වැදගත් ය. විශේෂයෙන්ම, විශේෂඥයන් ඍජුව අදහස් නොදක්වන අවස්ථාවල ඒවා තහවුරු කරගැනීම ඉතා වැදගත් වේ. 

    එමෙන්ම මාධ්‍යයේ වගවීම තහවුරු කිරීමේ අයිතියක් මාධ්‍යයට මෙන්ම මහජනතාව ද සතු ය. 

    Share this post

    Share on facebook
    Share on twitter
    Share on linkedin

    Related Projects

    Fact Check

    FACT CHECK : ஊடகங்கள் வாயிலாக திரிபுபடுத்தப்பட்ட பேராசிரியர் நீலிகா மலவிகேவின் கருத்துக்களும் அவற்றின் உண்மையும்

    கொவிட் வைரஸ் தொற்றானது கண்டுபிடிக்கப்பட்ட ஆரம்ப நாட்களில் ஊடகங்களிலே, குறிப்பாக சமூக ஊடகங்கள் வாயிலாக இது பற்றிய பல்வேறு தகவல்கள் கண்டுபிடிப்புகள் மற்றும் தேர்ச்சி பெற்றவர்களின் கருத்துக்கள் …

    Towards A Feminist Future

    பொதுப் போக்குவரத்தில் பெண்களுக்கெதிராக கட்டவிழ்த்து விடப்படும் துன்புறுத்தல்கள்!

    பண்பாடு என்றால் என்னவென்று சிலர் கேள்வி எழுப்புகின்றனர், சிலர் பண்பாட்டை சமூக எழுச்சியின் தூண் என கூறுகின்றனர்.ஒவ்வொருவரும் வெவ்வேறு விதத்தில் விளக்க முற்படும் போது அதனை சீர்குலைக்க …

    Towards A Feminist Future

    ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සමාන හා වඩා හොඳ ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම උදෙසා පුළුල් ළමා රැකවරණ විකල්ප වැඩි දියුණු කිරීම

    ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳව පවතින විවිධ ගැටලුකාරී තත්ත්ව පිළිබඳ සලකා බැලීමේ දී කාන්තාවන්ගේ රැකියා නියුක්තිය හා ඔවුන්ට රැකියාවක නියැලීම සඳහා …

    Fact Check

    FACT CHECK : මහජන බැංකුවේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනමන බව පවසමින් හුවමාරු වන පණිවුඩය ව්‍යාජයි.

    මහජන බැංකුවේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනමන බව කියමින් වට්ස්ඇප් (Whatsapp) ඔස්සේ හුවමාරු වන ආකාරය පසුගිය දින කිහිපයේ …

    Fact Check

    Fact Check : மக்கள் வங்கியின் 60வது ஆண்டு நிறைவை முன்னிட்டு பணப் பரிசு வழங்குவதாக கூறி WhatsApp இல் இணைப்பொன்று(Link) கடந்த சில நாட்களாக பகிரப்பட்ட தகவல் போலியானது.

    மக்கள் வங்கியின் 60வது ஆண்டு நிறைவை முன்னிட்டு பணப் பரிசு வழங்குவதாக கூறி WhatsApp இல் இணைப்பொன்று(Link) கடந்த சில நாட்களாக பகிரப்பட்டதை அவதானித்தோம். அதிலே கீழே …

    Fact Check

    Fact Check : “වසරක් පාසා එන්නත ගහන්න වෙනවා” යන සිරස්තලය මහජන ජනතාව නොමඟ යවයි

    ‘කොවිඩි-19’ වසංගතය ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ සෞඛ්‍ය සහ වෛද්‍ය විශේෂඥයෝ නිරන්තරයෙන් ප්‍රසිද්ධියේ අදහස් දැක්වූහ.   ලොවපුරා සිටින සෞඛ්‍ය සහ වෛද්‍ය …