රැඩිකල් ස්ත්‍රීවාදීන්ට පුරුෂයා නතිං ද?..

 රැඩිකල් ස්ත්‍රීවාදීන්ට පුරුෂයා නතිං ද?..

යම් අනිවාර්ය අවස්ථාවක අපි හැමෝටම ජීවිතය නතිං වෙන අවස්ථාවක් එනවා. විශේෂයෙන්ම කාන්තාවක් ඒ වගේ අවස්ථාවකට එළඹුණාම ඇය හැසිරෙන ආකාර දෙකක් තිබෙනවා. ඇය වටා කේන්ද්‍රීය ව පවතින සියල්ල ඉතාමත් රැඩිකල් විදියට එක්කො ප්‍රතික්ෂේප කරනවා එහෙම නැත්නම් පවතින සියල්ල එසේම පවතිද්දී ඇය අතිශය නිද්‍රාශීලි වනවා. මේ ක්‍රම දෙකම ඉතාමත් රැඩිකල් කියලා මන් විශ්වාස කරනවා.  ජීවත්වීම පිළිබද  අපේක්ෂා සහගත පුද්ගලයන්ට බාධක යනු සාර්ථකත්වයට පාර කපන්නක්’ කියලා සාර්ථකත්වය ගැන දේශන තියන අය නිතර කියන කතාවක්.  කුමන ජීවන අරගලයක නිරත වුවද යම් අවස්ථාවක අප හිස්ටරික විය හැකියි. වඩාත් අපේක්ෂා සහගත තත්වයක් අවසානය දී පවා සියල්ල ප්‍රතික්ෂේප කරන හෝ සියල්ල එසේ පවතිද්දී නිද්‍රශීලි වන තත්ත්වයට; අප පත්විය හැක. වඩාත් කාමභෝගී ජීවිතයට හුරු වුවන් ඉතාමත් රැඩිකල් විදියට මහණ දම් පුරන්නට ගිය අවස්ථාවක් සිද්ධාර්ථ’ චරිතයෙන් උගත හැක. එසේම එහි ප්‍රතිලෝමය වර්තමානයේ කොතෙකුත් ඇත. සරල අර්ථයෙන් කටුක මහණ දම් පිරූ ඇත්තන් එයින් මිදී සුඛෝපභෝගී ජීවිත ගෙවන තත්ත්ව ඇත. එකී විදීමෙහි ප්‍රතිඵලය විසින් යම් අවස්ථාවක එයට ප්‍රතිපක්ෂ ආකල්ප හට ගනී. එනම් යම් මොහොතක දී කේන්ද්‍රීයව (පවතින තත්ත්වය තුළ පිළිගෙන ඇති අර්ථයෙන්) පවතින දේ එතරම් සැලකිල්ලට නොගැනීමත් විය හැකිය. එනම් (ඒ වෙනුවට) පරමාදර්ශය කරගත් එයට ප්‍රතිපක්ෂ වෙනත් දෙයක් තිබිය හැක. එය එම තත්ත්වය තුළ එකී පුද්ගලයා හා කේන්ද්‍රීයව පවතින සියල්ල පිරි අවකාශයයි.   

ඉතා මෑතක දී Talk Show එකක  දිනූ පෙරේරා නම් ආත්මාරක්ෂක සටන් කලාකාරිණියක් ඇය කියනවා ”පිරිමි නතිං කියන තැන මම ඉන්නවා” කියලා. ඒ සදහා  ඇයට සාධාරණ හේතූන් තිබිය හැකිය. එහෙත් මේ සදහා සමාජ මාධ්‍ය තුළ උණුසුම් කතා ඇතිවිය. ස්ත්‍රීවාදය විසින් මෙවැනි තත්ත්වයට පත්වන බව ඇතැමෙකු තර්ක කළේය. තවකකු ඇසුවේ කෝ මේ ඊනියා ස්ත්‍රීවාදීන්ගේ විවරණ පරක්කුයි කියාය. එහෙත් මෙකී කතාවේ ඇය ‘පුරුෂයා’ ප්‍රතික්ෂේප කරන තත්ත්ව හමුනොවෙතත් අතරින් පතර වූ වචනයන් අහුලා මඩගැසීම් සිදුවිය. ඇය විසින් එම අවස්ථාවේදී කරන ලද ප්‍රකාශ යටත්විජීත සංස්කෘතික උරුමයත්, ආසියානු සංස්කෘතික ඇගයුම් සහිත සමාජයක පවතින කේන්ද්‍රීය පිළිගැනීමට ප්‍රතිපක්ෂ දෙයක්, කේන්ද්‍රය දෙදුරුම් කෑමට නියමිත අයුරින් පුපුරවා හැරීම ඉතාමත් රැඩිකල් ලෙස හැදිනගත හැකිය. එයින් ඊනියා සුචරිතවාදී පිරිමි චිත්ත සන්තාතගත ස්වාභාවික බල මූලයන් එළියට පැන්නීමට තරම් බලවත්ය. හරියට රැඩිකල් ස්ත්‍රීවාදීන් කියන බලයට ඇති තරගය, එකිනෙකා අභිබවා යාමට ඇති කැමැත්ත වැනි ස්වාභාවික පුරුෂමූලික (ස්ත්‍රිය අප්‍රදාන කරන)තත්ත්ව දිනූ පෙරේරාට එරෙහි සමාජ මාධ්‍ය ප්‍රචාරණ යුක්ති යුක්ත කරන බවයි.

ඕනෑම ව්‍යාපාරක පවතින ආන්තික කොටස් උපුටමින් කේන්ද්‍රීය සමස්තයට පහර දෙන ඊනීයා රැල්ලට අනුගාමීව  ”ස්ත්‍රීවාදය” යන සමස්තයටම රැඩිකල් ස්ත්‍රීවාදී ආන්තික කොටස් උපුටමින් පහරදීම නොකළ යුතුය. එය ස්ත්‍රීවාදය යන සමස්තය පටු කිරීමකි. ගෝලීය ස්ත්‍රීවාදි ව්‍යාපාරය තුළ රැඩිකල් ස්ත්‍රීවාදී ව්‍යාපාරය පැන නැගීම, එහි ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ කේන්ද්‍රීයත්වයට කළ බලපෑමත් සුළුපටු නොවේ. රැඩිකල් ස්ත්‍රීවාදී ප්‍රවාහය විසින් ස්ත්‍රී-පුරුෂ සමාජභාවය ගැන ඉතාම තියුණු විවේචනයක් ගෙන එනු ලබයි. එනම් පුරුෂාධිපත්‍ය විසින් ඉතාමත් තීව්‍ර ලෙස, ජීව විද්‍යාත්මකව ස්ත්‍රී-පුරුෂ ජීවීන් අතර බෙදීමට වඩා පුළුල් බෙදීමක් සමාජය තුළ ”පීතෘමුලිකත්වය” විසින් පතුරුවා හැර ඇති බව රැඩිකල් ස්ත්‍රීවාදී ප්‍රවාහය කියයි. එනයින් සමාජීය සමස්ත සබඳතා තීරණය කරන බව රැඩිකල් ස්ත්‍රීවාදීහු පෙන්වා දෙති. එය ස්ත්‍රියට සමාජයේ හිමි අප්‍රධානත්වය හා පීඩන⁣යෙහි මුලාරම්භය බව ඔවුන්ගේ මතයයි. 

සැබැවින්ම ස්ත්‍රියට එරෙහි පීඩනයේ අවකාශය පුරුෂාධිපත්‍ය සමාජය මිස සිවිල්, දේශපාලන, ආර්ථික අයිතීන් පිළිබඳ අසමානතාවය නොවේ. පුරුෂ මූලික සමාජයේ පුරුෂාධිපත්‍ය පුපුරුවා හැර එවැනිම ස්ත්‍රී-අධිකාරියක් ස්ත්‍රීවාදීන් යෝජනා නොකරන අතර පුරුෂාධිපත්‍ය තීරණාත්මක ලෙස ප්‍රශ්න කිරීමක් මෙහි සිදු වේ. ඇයට ඇගේ අනාගත පැවැත්මෙහි ස්වභාවය පැහැදිලි විය යුතුය. පුරුෂයා විදින ඒ නිදහස ඇය ද අත්දැකිය යුතුය. ඇයට ද ජීවන ගමනේ ⁣දී තීරණාත්මක ලෙස හැරවුම් ලක්ෂ්‍ය සලකුණු  කර ගැනීමේ හැකියාව තිබිය යුතුය. ඒ සඳහා ඇය සවිබල ගැන්වීමක් විය යුතුයි. ඇගේ පැවැත්මට අදාළ කොන්දේසි තීරණය කිරීමේ න්‍යෂ්ටිය ඇය සතු විය යුතුය.

මනමේ නාට්‍ය දී හරියට මනමේ කුමාරයා එක්ක ජීවන ගමන ආරම්භ කරන මනමේ කුමාරිය තම පැවැත්මේ අභියෝගයට තීරණාත්මක ලෙස විවර වූ අවස්ථාව වැනි අවස්ථාවක ඇයට ”ඇය” වීමට අවකාශයක්, ඇගේම වූ අවශෝෂිත බලයක් පැවතිය යුතුය. මොහොතක දී වැදි රජා තෝරා ගැනීම යනු ඇය එම අවස්ථාවේ  ගත් නිවැරදිම නොවන තීරණය විය හැක. එහෙත්මග ගෙවා ඉදිරියට යාමට ඇති වනය තුළ ඇගේ පැවැත්මට එරෙහි ව පවතින කොන්දේසි හැසිරවීමේ බලය ඇගෙන් ගිලිහී ඇත. ඇය කුමාරයාට කඩුව නොදෙන්නේත් සහ අභය දීමට කීමත් පවතින කේන්ද්‍රීය පිළිගැනීමට (සම්මතයට) එරෙහිව යාමකි. මෙය ඉතාමත් රැඩිකල් තීරණයකි.  ඇය පැවැත්මෙහි අර්බූදයක ගැලී සිටි. නිශ්චිත මොහොත තුළ ගත යුතුම තීරණය වන්නේ තවත් මෙවැනි ඇන⁣කොටා ගැනීම්වලින් යුක්තව ඉදිරියට යනවාද නැතහොත් මේ වනය තුළ පැවැත්ම තහවුරු කර ගැනීමේ පෙනෙන (visible condition) කොන්දේසියට යටත් වනවාද යන්නයි.  ඇය තීරණාත්මක ලෙස (ඒ මොහොතේ) වැදි රජු තෝරා ගනු ලබයි. ඒ ඇය ඇගේ පැවැත්ම හැසිරවීමේ බලය ඈ සතු කර ගැනීම සඳහා ගන්නා ලද ක්ෂුද්‍ර තලයේ හැසිරීමයි. රැඩිකල් ස්ත්‍රීවාදීහු  ‘ස්ත්‍රීයට එරෙහි සමාජය වඩාත් විෂම කිරීමේ පුරුෂාධිපත්‍ය ආකල්පය’ තුළින් ස්ත්‍රීය වඩාත් රැඩිකල් කිරීමේ විභවතා පෙන්නුම් කරන බව පෙන්වා දේ. එනම් වනයක් මැදින් රූමත් කතක් සමග ගමන් යාම අනතුරුදායක බව පෙනෙන්ට තිබෙන ⁣දෙයකි. එහෙත් ඒ පුරුෂාධිපත්‍යහි ඇති තරගය, බලපෑම් කිරීම, අරගල කිරීම, ආධිපත්‍ය වැනි තත්ත්ව මගින් අනාගත “පැවැත්ම අර්බූදයට” ලක් කරන කොන්දේසි නොපෙනි යයි. එයට මැදිවන කාන්තාවක පැවැත්මේ අර්බුදය තුළ ඇය ගන්නා තිරණය කේන්ද්‍රීය පිළිගැනීම තිරණාත්මක ලෙස අභියෝග කරයි. යුග ජීවන ගමනක් ආරම්භ කරන පුද්ගලයා සමග කුමණ කටුකත්වයක් විදීම මිස මගින් හැරී වෙනතක යාමේ අයිතිය ඇය සතු නොවිය. සති පූජාව හෝ සදාකල් වැන්දඹුවක ව සිටිය යුතුය. මේ පුරුෂමුලික සිතීම් ය. තීරණාත්මක ලෙස රැඩිකල් ස්ත්‍රීවාදින් පහර දෙන්නේ මෙයටයි. එනම් ඇගේ පැවැත්මෙහි කොන්දේසීන් ඇගෙන් විතැන්කොට එකී ”තිරකයා” වන ඇගෙන් ව්‍යුක්තව පවතින්නෙක් වීමට රැඩිකල් ලෙස එරෙහි වීමයි.  

ආසියානු ඇගයුම් සහිත සමාජයක දී වඩාත් වැදගත් වන්නේ පවුල කෙරෙහි දක්වන ළැදියාව කොතෙකුත් පිඩන හමුවේ පවා අහෝසි නොවිය යුතු දෙයක් ලෙසය. එකී සංස්කෘතික උරුමයේ පියා යටතේ, පියා මිය ගියේ නම් වැඩිමහල් සහෝදරයන් යටතේ, සැමියා යටතේත් අවසන දරුවන් යටතේ කාන්තා පැවැත්ම තහවුරු කරගත යුතුය. එයට එරෙහිව හෝ උත්සහවන්තව  ජීවිතයේ පැවත්ම තහවුරු කරන ලද ස්ත්‍රීය පවා වචනයෙන් පවා දූෂණය කිරීමේ සම්භාව්‍ය අයිතියක් (බලයක්) ආසියානු පුරුෂයාට සංස්කෘතිය විසින් උරුම කර දී ඇත.   ඉතාමත් වෙහෙස මහන්සියෙන් තම අරමුණ කරා යන ස්ත්‍රීයක් ඉතාම තීරණාත්මක අවස්ථාවල දී මනමේ කුමාරියක් වෙයි. එහෙම නැතිනම් ජුලියට් කෙනෙක් වෙයි. මනමේ කුමාරයා සමග පැවැත්මේ කොන්දේසි අහෝසි කරගන්න නැතට යනවාද, නැතිනම් ජුලියට් නමින්, ආදරේ නාමයෙන් තම පරම්පරික උරුමය වූ පාරම්පරික නාමය අත්හරිනවාද යන්නයි.  ඒ ගැන මහේෂ් හපුගොඩ මහතා තැබූ සටහනක මෙසේ දක්වයි. 

”ස්ත්‍රියක් හැටියට වඩාත් ම රැඩිකල් ප්‍රකාශය කරන්නේ ශේක්ෂ්පියර්ගේ රෝමියෝ සහ ජුලියට් නාට්‍යයේ ජුලියට් කියල ලකාන් එක තැනක කියනවා. ඒ ‘නම’ කියන එකට සාපේක්ෂව. ආදරයේ ප්‍රමෝදය සොයමින් මෙලන්කොලිකව ඉහත මාලයේ ඉන්න ජුලියට් මෙහෙම දෙයක් කියනවා. ‘නමක් කියන්නේ මොකක්ද? රෝමියෝ, ඔයාගේ ඇස් වලට, මුහුණට, අත පය වලට නමක් කියල කියන්න බැහැ. මගේ පියා මට දුන්න නම මේක නම්, අපිට ආදරෙන් එකතු වෙන්න තියන එකම බාධාව ඒ නම නම්, මම කිසි දෙගිඩියාවක් නැතුව ඒ නම අත හරින්නම්. රෝමියෝ ඔයා ඔයාගේ නම අත් හරින්න. මම මගේ නම අත් හරින්නම්. මම ආදරය කියන නම ගන්නම්. ඔයත් ආදරය කියන අලුත් නම ගන්න. ආදරය කියන අලුත් නමින් ආයෙත් අපි භෞතිස්ම ලබමු’ ,කියල. මේක ස්ත්‍රියක් කරන වඩාත්ම හිස්ටරික ප්‍රකාශයක්. ඇයට ඕනි පවතින සංකේතීය සියල්ල විනාශ වෙනවා දකින්න. ඒ ආදරය වෙනුවෙන්. ඒ සංකේතනය ඇතුළේ ‘නම’ (name) කියන එක පට්ට කේන්ද්‍රීය යමක් කියල ජූලියට් ට තේරෙනවා. ඇයට ඕනි හරියටම ඒ මාරක තැනට කෙළබෑවිලා යන්න ඇටෑක් එකක් දෙන්න. ඒක විප්ලවීයයි සහ වඩාත් රැඩිකල්”. 

ජුලියට් ආදරේ නාමයෙන් අතහරින්නේ තමාගේ පාරම්පරික උරුමයයි. ඒ ආදරේ නාමයෙන් ඇයට ඇය වීමට අවශ්‍ය නිසාත්, මනමේ කුමාරිය වැදිරජු තෝරා ගෙන වනය මැද පැවැත්ම තහවුරු කර ගැනීමේ ‘පෙනෙන කොන්දේසිය’ ස්පර්ශ කරන්නෙත් පැවැත්මේ කොන්දේසි හැසිරවීමේ සංයුක්ත අයිතිය ඇය සතු කර ගැනීමටයි. ඒ සඳහා ජුලියට් විශ්වීය දෙයකුත්, මනමේ කුමාරිය ආත්මාර්ථකාමී ස්වරූපයක්ද ප්‍රදර්ශනය කළාය. රැඩිකල් ස්ත්‍රීවදය තීරණාත්මකව අවධාරණය කරන්නේ මෙකී ශුද්‍ර තලයේ බල මූලයන් හි අයිතිය ස්ත්‍රිය සතු විය යුතු බවයි.

ස්ත්‍රීවාදයට විප්ලවීය (රැඩිකල්) ස්වරූපය මාක්ස්වාදී ස්ත්‍රීවාදින් විසින් එක් කළ ජීව ගුණයකි. මා මෙහි පවසන්න උත්සහ දරන්නේ ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ රැඩිකල් කොටස් සියල්ලම තීරණාත්මක ලෙස පුරුෂයා ප්‍රතික්ෂේප කරනවාය යන්න වැරදි සහගත දෙයක් බව කීමයි. ජුලියට් තම පැවැත්ම වෙනුවෙන් පවතින කේන්ද්‍රීය සියල්ලට එරෙහිව විශ්වීය නාමයත් ගනී. ඇයට පුරුෂයා අත්‍යවශ්‍යය. මනමේ කුමරිය වඩා සුරක්ෂිත අනාගත පැවැත්මක් අපේක්ෂා කරමින් වැදි රජු අත පතයි. මේ අවස්ථා දෙකේදීම කේන්ද්‍රීය පැවැත්ම සතපහකට මායිම් නොකරයි. එහෙත් ඔවුන් පුරුෂයා ප්‍රතික්ෂේප නොකරයි. අරගල කිරීම, පාරම්පරිකත්වය, අභිබවා යාම වැනි පුරුෂමූලික සිතීම් තීරණාත්මකව ප්‍රශ්න කරයි. ඉතින් යම් අවස්ථාවක ස්ත්‍රිය, ස්ත්‍රිය වෙනුවෙන් වඩාත් විප්ලවීය වෙයි. ඇය පවුල සහ සමාජය වෙනුවෙත් තවත් විප්ලවීය ගුණය ජනිත කරයි. ඉතින් ඇයට ඇය නොවී සිටීමේ කොන්දේසි වපුරා පුරුෂාධිපති ආකල්පයෙන් මනිමින් ඇගේ ක්‍රියාවන් ගැරහීම තරම් නොවේ. කළ යුත්තේ ඇය ඇය වීම සඳහා පවතින නිර්ණායකයන් යටපත් කිරීම නොව එකී කොන්දේසි විවෘතව පිළිගැනීමයි. නමුත් එම කොන්දේසී අහෝසි කරමින් ඇගේ ගමන නවතන්නට කටයුතු කරන, කකුලෙන් ඇද්දද, තමාගේ ගමන නොසැලී යන, එනම් ඇය ”ඇයම” වෙමින් අභිලාෂයන් හඹා යන තැන දී  ඇයට,

  ”පිරිමියා නතිං” තමයි. 

පුරුෂායාගේ පැවැත්ම මෙනයින් ප්‍රශ්න නොකරන අතර රැඩිකල් ලෙස විරුද්ධාභාෂය ගෙන එන්නේ එකී පුරුෂයන් විසින් ක්‍රියාත්මක කරන පුරුෂාධිපත්‍යයටයි.  එහෙත් වඩාත්  සංස්කෘතික සමාජ විසින් කොතෙක් දුරට පුරුෂාධිපත්‍ය ප්‍රශ්න කරන්නේද ගැටලු සහගතය. යුරෝපානු සංස්කෘතික අරයන්හිදි ආර්ථිකමය ස්වාධීනත්වය විසින් ස්ත්‍රිය රැඩිකල් ලෙස විමුක්තිය සඳහා වූ ව්‍යාපාරවලට නායකත්වය දීම ප්‍රශස්ත ලෙස පැසසීමත්, ලංකාව වැනි ආසියානු සහ පශ්චාත් යටත්විජිත මිශ්‍ර සංස්කෘතික ස්ත්‍රිය විසින් දෙනු ලබන නායකත්වයට ගැරහීමත් අප තේරුම් ගත යුත්තේ පුරුෂාධිපත්‍ය ආකල්පයේ යම් ස්වරූප ලෙසයි. මා මෙහිදී දිනූ පෙරේරාගේ ප්‍රකාශය අත්‍යත්ත ලෙස ම රැඩිකල්ස්ත්‍ රීවාදී ප්‍රකාශයක් ලෙස ලඝු කිරීමට ඉක්මන් නොවන අතර මෙම ප්‍රකාශ මගින් පෙරා ගැනීමට උත්සුක වන්නේ ”නිදහස් ස්ත්‍රිය” විෂයෙහි පවතින සංස්කෘතික සීමා හා එකී සීමා විසින් පීඩනයට ලක්වන ස්ත්‍රියයි. එය සාර්ව තලයේදී විහිලු සහගත (බැරෑරුම් ව නොසලකන) දෙයක් ලෙසත්, ක්ෂුද්‍ර තලයේදී  අප්‍රකාශිතව (සංස්කෘතික සීමා නිසා) පීඩාකාරී දෙයක් ලෙසත් පවතින බවත් පැහැදිලිය. රැඩිකල් ස්ත්‍රීවාදය වඩාත් වැදගත් වන්නේ මෙකී සංස්කෘතික සීමාවන් නිසා මුල්ලට වී සිටින ස්ත්‍රිය බලගැන්වීම සඳහාය. වඩාත් යහපත් ලොවකට අවැසි වන්නේ අනෙකා මොන යම් ක්‍රමයකින් හෝ පීඩනයට, අප්‍රධානත්වයට පත් නොවන සමානාත්මතාවයට ගරු කරන සමාජයකි. ස්ත්‍රීවාදය වැදගත් වන්නේ මෙකී අරමුණට වඩාත් සක්‍රීය සහ ප්‍රතිඵලදායි ලෙස ස්ත්‍රිය යොමු වන්නේ කෙසේද යන්නත්, ඒ සදහා වන අභියෝග කවරේද යන්නත් හඳුනා ගැනීමට මිස පුරුෂයා පිටු දැකීම නොවේ.

සටහන : සම්පත් රන්දුන්න.

The views expressed on this blog post are those of the author and do not reflect the official position of Hashtag Generation | මෙම බ්ලොග් පෝස්ටුවේ සඳහන් අදහස් මෙහි කර්තෘගේ අභිමතය අනුව සැකසී ඇති අතර එයින් Hashtag Generation හි අභිමත හා අදහස් නියෝජනය නොවේ.

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …