තිස් වසරකට පසු(ව)ත් සංස්කෘතික බැමි ලිහී නැති ස්ත්‍රිය.

තිස් වසරකට පසු(ව)ත් සංස්කෘතික බැමි ලිහී නැති ස්ත්‍රිය.

ශ්‍රී ලංකාවේ වර්තමාන පරම්පරාව ‘නොදන්නා පරම්පරාවක්’ විසින් තමන්ගේ අභිලාෂ අරභයා ආරම්භ කරන ලද යුද්ධයක් නිසා පීඩා විදිමින් සිටී. යුද්ධ⁣ය අහවර වී වසර කීපයක් ගත වුව ද යුද්ධය තවමත් තීරණාත්මක බලපෑමක් කරයි.”
(ශ්‍රී ලංකාව තීරණාත්මක කඩඉමක. අසංග අබේගුණසේකර)

යුද්ධය, සංස්කෘතිය හා ස්ත්‍රිය යනු එකිනෙක බැඳී පවතින දෑය. ගැටුම් යනු මානව සමාජයේ අනිවාර්ය අංගයක් බව ගැටුම් පිළිබඳ නිර්වචන බැලූ කල පෙනී යයි. විවිධ මානව අභිලාෂ සාක්ෂාත් කර ගැනීමේ එක් උපක්‍රමයක් වන්නේ ගැටුමයි. එය සෑමවිටම නිෂේධනාත්මක නොවේ. ගැටුමෙන් ඔබ්බට යන යුද්ධයෙහි විනාශය තීව්‍ර බවත්, ගැටුම් ගණනාවක එකතුවක ප්‍රතිඵලය යුද්ධයක් විය හැකිය. එමෙන්ම සංස්කෘතිය හා යුද්ධය අතර සමීප සබඳතා පවතින බවත් පෙනී යයි. E.J. Dionne Jr පවසන්නේ එක්සත් ජනපදයේ සංස්කෘතික යුද්ධයක් සෑම විටම පැවතුණ අතර සැම විටම පවතිනු ඇති බවයි. එසේම සෑම දෙනාම කිසියම් සංස්කෘතියක හෝ කීපයක සමාජිකයන් වන අතර එවා පවත්වාගෙන යන්නෝද අවසාන ලෙස ඒවා ප්‍රවර්ධනය කරන්නෝද වෙති. 

සමාජයේ සංස්කෘතිය වනාහි ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයෙන්ම සැදුම්ලත් දෙයකි. එනම් ස්ත්‍රියට ප්‍රධාන භුමිකාවක් ඇත. දැරියක්, යෙහෙලියක්, තරුණියක්, බිරිඳක්, මවක්, වැඩිහිටියෙක් යන භූමිකා ඇය සඳහා පවතී. මෙකී සමස්ත හැසිරීමම ඇගේ සංස්කෘතික අගයට එකතු වේ. යුද්ධය වැරැදි හෝ නිවැරැදි යන තර්කය පසෙකින් තබා කාන්තාවට යුද්ධය හා ඇති සබැඳියාව කෙරේ කොතෙකුත් විවරණ පළ වී ඇත. එයින් ප්‍රමුඛ වන්නේ යුරෝපානු රටවල යුද්ධය කෙරේ ස්ත්‍රී භූමිකාව පිළිබඳවය. කාන්තාවන් යනු නිසඟයෙන්ම යුද සමයක දී අසරණ භාවයට පත් වන්නා වූ පිරිසකි. සැමියෝ, සහෝදරවරු, ආදරවන්තයෝ පමණක් නොව, පියවරු හෝ පුත්හු ද යුද පිටියට යති. එහිදී යම් අකටයුත්තක් වී නම් ඔවුන්ගේ හිස මත පැටවෙන බර මෙන්ම ඔවුන්ගේ ළය මත පැටවෙන බර ද වචනයෙන් විස්තර නොහැකිය. තමන් තනි වූ බවට වන හැඟීම සමගම පවුලේ වගකීම් රැසක් දැරීමට ඔවුන්ට සිදු වන අවස්ථා එමට ය. එයින් ඇය පත්වන අසරණභාවය යුද්ධය විසින් ඇති කළ දෑ ය. එනම් සමාජයේ අනෙකුත් සුළුතර කොටස්වලට සාපේක්ෂව වඩාත් අන්තරායකාරී අත්දැකීම්වලට මුහුණ දෙන්නට තරම් ඔවුන් අසරණ වනවා ඇත. ලංකාව වැනි පුරුෂාධිපත්‍යය මුල් කොට ගත් සමාජයක තනිව ආර්ථිකමය කඩාවැටීම් සමග සිය කුටුම්බය මෙහෙයවනවා යනු  අභියෝගයකි. ආර්ථික දුෂ්කරතා ද වෙනදාටත් වඩා ඔවුන්ට පීඩනයක් වන්නේ මේ නිසාය. යුද්ධය අතරතුර  යුද බිමේ සටන් වදින සොල්දාදුවන් යුද වින්දිතයන් බවට පත්වෙද්දී ඔවුන්ගේ පවුල්වල කාන්තාවෝ ද ඒ හා සමානවම වින්දිතභාවයට පත් වෙති; අසරණ වෙති. යුද අපරාධවල මෙන්ම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවල ද වින්දිතයන් බවට පත් වන මෙම කතුන් බහුතරයක් දෙනා විවිධාකාරයේ සූරාකෑම් වලට මෙන්ම අනිසි අපයෝජනවලටද ලක් වන බව නොරහසකි. ඒවාට හසුකර ගැනීමට සුදුසු අර්බුද වටපිටාවක් නිර්මාණය ඉහත අවස්ථා හරහා සිදු⁣ වේ.

අධිපති සංස්කෘතියක් යනු ප්‍රචණ්ඩ සංස්කෘතියකි. ගැල්ටුංගේ වචනයෙන් කියන්නේ නම්  සංස්කෘතික ප්‍රචණ්ඩත්වය සෘජු හා වක්‍ර ප්‍රචණ්ඩත්වය  සංස්කෘතිකමය වශයෙන් සාධාරණීකරණයට ලක් කෙරෙනු ලැබේ. (ගැල්ටුංග් 1990, 262) ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ගැහැණිය කොතරම් බැමිවලින් හිරකර ඇතිදැ’යි විමසීමත් ඇගේ කැමැත්ත යටපත් වෙමින් ඇය විසින් ම ආරක්ෂා කරන මේ සංස්කෘතිකයක ඇයටම පාරාවලල්ලක්ව පවතින අයුරු පෙනේ. අධිපති එම සංස්කෘතියම ඇය අප්‍රධාන කරයි. උතුරේ වැසියන් විසින් කරන ලද අරගලයත්, දකුණේ වැසියන් විසින් කරන ලද අරගලයත් අවසානයේ ශ්‍රී ලංකාව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ රැසක හිමිකරුවකු බවට පත් විය. දෙමළ විමුක්ති සටන්කාමීහු බෝම්බ පුපුරවා හරිමින්ද, ප්‍රචණ්ඩත්වය දියත් කරමින්ද දකුණ සේම උතුරත් ගිනියම් කළහ. මෙය සෑම ලාංකිකයකුටම  එරෙහි පැවතුණි. ජාති ආගමික පදනමකින් තොරව ඝාතන සිදුවිය. එසේම 1971 ත් 88-89 කාලවලදීත් ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ලද අසාර්ථක විප්ලවයට රාජ්‍ය ප්‍රතිචාරය තවත් කවන්ධ රැසක් ලාංකීය ධරණිය සිප ගත්තේය. මේ සෑම අරගලයකටම කාන්තා දායකත්වය ඉහළ අගයක් ගන්නා ලදි. දිවි පරදුවට තබා විප්ලවය වෙනුවෙන් කටයුතු කළ කාන්තාවන් ද විමුක්ති අරගලය වෙනුවෙන් දිවි කැප කළ LTTE නායිකාවන් ද සොල්දාදුවන් ලෙස සිටි කාන්තා චරිත ද අපට හමු වේ. මා මෙහි උත්සාහ කරන්නේ ඉහත වර්ගයේ කාන්තාවන් ඉතාම විප්ලවීය අය බව පෙන්වා දීමටයි. 

විශේෂයෙන්ම ආසියාතික ආගමික සම්ප්‍රදාය විසින් සීමා නිර්ණය කරන සංස්කෘතිකවටපිටාවත්, එයටම සංකලනය වූ පශ්චාත් යටත් විජිත සංස්කෘතික ආරත් සහිත බහුවිධ සමාජවල ‘කාන්තාව’ ඉතාම පටු සමාජ බලයකින් සහ අඩු දේශපාලනික සචලතාවයකින් යුක්ත පිරිසක් ලෙස පෙනී යයි. එහෙත් මේ විමුක්ති ව්‍යාපාර සඳහා දායකත්වය සැපයූ කාන්තාවන් පැවති සංස්කෘතික හෙජමොනියට අතුල් පහරක් විය. 1977ට පෙර ලංකාවේ පැවති සංස්කෘතිය තුළින් කාන්තාවන් විශාල ප්‍රමාණයක් ගෘහස්ත කටයුතු කරන ලදි. කාන්තාව පිළිබඳ පොදු අධිපති චින්තනය වුයේ පුරුෂයා අභිබවා යා නොහැකිය යන්නයි. ප්‍රධානත්වය ගත යුත්තේ පුරුෂයාය. අධ්‍යාපන අවස්ථා පුළුල් නොවීම එයට හේතුවක් විය. කුලය පිළිබඳ සාධකය තීරණාත්මක බලපෑමක් කරන ලදි. උතුරේ අරගලය සඳහා තීරණාත්මක ලෙස මෙම කුල සාධකය හේතු වූ බව ආචාර්ය බාලසූරිය පෙන්වා දෙයි. උතුරේ අරගලයට කාන්තා ආකර්ෂණය සිදුවූයේ එකී සමාජ බලය ඇගෙන් ගිලිහීම බව තමිලිණි ජෙයකුමාරන් පෙන්වා දෙයි. ‘තියුණු  අසිපතක සෙවන යට’ කෘතිය පරෙස්සමෙන් පරිශීලනය කරන්නකුට මෙකී කුල පීඩනය එකල වරප්‍රසාද රහිත දෙමළ සමාජය කොතරම් පීඩනයට ලක් කළේ ද යන්න පෙනේ. දෙමළ සමාජයේ කාන්තාව ආගමික උත්සව සඳහා සහභාගී වීම, උසස් කෝවිල් වෙත යාමට, උසස් කුලයේ අයවලුන් සමග විවාහ වීමට අවසර නොවීය. අධ්‍යාපනය ලැබිය හැකි වටපිටාවක් නිර්මාණය වුයේ ආර්ථික ශක්තිය ඇති අයට බවත්, යුද්ධය සඳහා සොල්දාදුවන් ලෙස සහභාගි වූ බොහෝ දෙනා ඉන් ලැබෙන වේතනයත්, ඉන් ලැබෙන සමාජ පිළිගැනීමටත් මහත් සේ ආදරය කළ බවත්, එකී පීඩිත සමාජය වෙනස් කිරීමට අවැසි නිසා අරගලයට යොමු වූ බව නොරහසකි. 

දකුණේ අරගලය සඳහා යොමු වූ බොහෝ ස්ත්‍රීන්ගේ කතාවත් මෙයට සමාන හෝ තීව්‍ර වී පැවතුනකි. දකුණේ අරගලය දී ඇය හැකි පමණ දායකත්වයක් සැපයීය. යුද්ධයෙන් උතුරු -දකුණ  ස්ත්‍රිය භේදයකින් තොරව අසරණ වූ බව පෙනේ. සැමියා උතුරේ අරගලයටත්, දකුණේ අරගලයටත් දායකත්වය දෙන විට වැන්දඹුවන් වූයේ ලාංකීය ස්ත්‍රියයි. එහෙත් යුද්ධයේදී මිය යන සොල්දාදුවන් ” වීරයන්” වීමත් ඔහුගේ මාසික වේතනය හෝ දීමනාව ලබන්නකු ලෙස කාන්තාව ලඝු වීමත් සංස්කෘතික වටපිටාවන් විසින් කරන ලද්දකි. 

Colombo Telegraph වෙබි අඩවියට අනුෂ්කා කහදගම ලියූ ලිපියක මෙසේ දක්වයි. 

”යුධමය සහ පශ්චාත් යුධමය තත්ත්වය තුළ කාන්තාව ආස්ථානගත කරන සංවාද මණ්ඩප බොහෝමයක් තම අවධානය යුද වැන්දඹුව කෙරෙහි රඳවා ගෙන ඇත. යුද්ධය තුළ කාන්තාවගේ පීඩාව දැඩි වන්නේ සතුරු හමුදාවල ලිංගික අතවරවල ගොදුරක් බවට කාන්තාව පත් වීම සහ තමාට සම්බන්ධ පුරුෂයන් යුද්ධයේ ගොදුරක් බවට පත් වීම හේතුවෙනි. ජාතික රාජ්‍ය ආකෘතිගත වන්නේ ජීව-දේශපාලනිකවය සහ අනෙක් අතින් පුරුෂාධිපත්‍යමයවය. එනම් සරලව කිවහොත් ‘බහුතර ජනවාර්ගික, ආගමික හෝ ජනවාර්ගික-ආගමික සමුහයට ජාතික රාජ්‍යයේ බලය හිමි වන්නේය. උපතින් ලැබෙන මෙම ලේබලය තීරණය වන්නේ පුරුෂයා මුලික කරගෙන ය’. එනයින්, ජීව- දේශපාලනිකව, ප්‍රජාවිද්‍යාත්මකව සහ පුරුෂාධිපත්‍යමය ලෙස ආකෘතිගතවන ජාතික රාජ්‍ය සංකල්පය තුළ, තමන්ගේ ගොඩ වැඩි කිරීමේ චේතනාව සහ යුද්ධය විසින් සීමා කරනු ලැබූ ලිංගික ආශාවලින් එළවනු ලබන මනසක් සහිත සටන්කරුවාගේ ගොදුරක් බවට ‘සතුරා’ට ‘හිමිකම්’ දක්වන කාන්තාව පත් වෙයි. අනෙක් අතට, වීරත්වය විසින් සරසනු ලදුව ආර්ථික අපහසුතා සහ විරැකියාව විසින් යුද්ධය වෙත තල්ලු කරනු ලබන පිරිමි වීරයන් මිය ගිය විට ඉතිරිවන වැන්දඹුවන්, මව්වරුන් සහ සොහොයුරියන්ගේ තත්ත්වය ඛේදවාචක බවට පත්වෙයි.” මෙහි අපට පෙනෙන යථාර්ථය නම් මිචෙල් ෆුකෝ පෙන්වා දුන් බලය පැතිරී ඇති ගැඹුරයි. එනම් බලය අප හිතනවාට වඩා සමාජයෙහි පැතිරී පවතී. එය තේරුම්ගත හැක්කේ ඒ පිළිබඳව ගැඹුරු අධ්‍යයනයකින්ය. එයින් අදහස් වන්නේ යුද්ධයේ දීත්, සාමාන්‍ය සමාජයේදීත් පුරුෂ මූලික බල ව්‍යාප්ති හිතනවාට වඩා ගැඹුරට පැතිරීමයි. පශ්චාත් යුධ සමාජයක වෙසෙන ස්ත්‍රියට ඇති පීඩනයත් මෙවැනි පුරුෂාධිපත්‍ය සංස්කෘතියක’ කාන්තාවක්’ වීමයි. එනම් ස්ත්‍රිත්වයට හිමිකම් කීමයි.”

” කාන්තාවනි, විප්ලවයට පෙර ගවුම හදාගෙන වාඩිවෙන්න”

යනුවෙන් ප්‍රසිද්ධ මෙගා නාට්‍ය රචකයකු තම සමාජ මාධ්‍ය පිටුවේ කරන ලද ප්‍රකාශය ඉතා වැදගත්ය. මේ පසුපස ඇති ස්ත්‍රිත්වයට එරෙහි චින්තනය (පුරුෂාධිපත්‍යය) පෙරා ගත යුතුය.  මෙහි සරල අර්ථය යම් විප්ලවයක්, කර්තව්‍යයක් ⁣කිරීමට පෙර ඔබ සිතන්න කාන්තාවක් බව යන්නයි.  ඔබේ ගවුම පැත්තකින් එසවී තිබිය හැක. ඔබගේ චර්යාව ගෑණුකමට නොහොබිනා විය හැක. ඇඳුමෙන් සම්පූර්ණ නිරුවත වසා තබාගන්න. ඔබේ වස්ත්‍රයෙන් අඩුවෙන් නිරුවත වැසෙන්නේ නම් ඔබ කරනා විප්ලවයෙන්, සමාජ කාර්යයෙන් සාර්ථක පලක් නැතැ’යි යන චින්තනය ඇත. ඔබ කාන්තාවකි. ඔබේ වස්ත්‍රය අතරින් කෙනෙකු නිරුවත් අඟපසඟ දැකිය හැක. එය නොහොබිනා දෙයකි. එම නිසා ඔබගේ කාර්යය  කොතරම් වැදගත්වීද ඒ හා ඔබ ඇඳුම ඇඳුම හැඳගැනීමත් වටී. ලාංකීය පුරුෂයා සංස්කෘතිය මගින් බලවත් කර ඇත. කුටුම්භ තීරණ ගැනීමේ අයිතියේ පටන් කාන්තාව ඇඳිය යුතු වස්ත්‍රය පවා තීරණය කිරීමේ ශුද්ධ අයිතියක් පුරුෂයාට හිමිය. මෙයට ඉතාම සාධාරණ විවේචනයක් ගෙන එන රැඩිකල් ස්ත්‍රීවාදය පෙන්වා දෙන්නේ ජීව විද්‍යාත්මක (sex) වෙනසකට වඩා බෙදීමක් ස්ත්‍රිපුරුෂ සමාජභාවය (gender) විසින්  ඇති කරන බවයි. එය ස්ත්‍රීපුරුෂ සමාජභාවය යනුවෙන් පෙන්වා සමස්ත සබඳතා එයින් විස්තර කෙරෙන බවත් එතැන් පටන් ස්ත්‍රීය මත පීඩනය හා අප්‍රධානත්වය ආරම්භ කළ බවත්ය. පිතෘ මූලික සමාජය මිස සමාජ  අසමානතාව (ආර්ථික, සමාජ, දේශපාලන සාධක) විසින් ස්ත්‍රිය පීඩනයට පත් නොකරයි. පීතෘ මූලිකයේ ඇති තරගය, බලය, ආධිපත්‍ය විසින් ස්ත්‍රිය පීඩනය සහ අප්‍රධාන කරන බව පෙන්වා දෙයි. සමහර සංස්කෘති තුළ පවා අගතිගාමී ස්ථාවරයන් ඉතාමත් තීරණාත්මක ලෙස සමාජ බලයක් හිමිකර ගනී. උදහෙරණ ලෙස සමාජයේ ඇති  කුල සාධකය බුදු දහමේ මුල් ආගමික හරයන් පවා අභියෝගයට ලක් කරයි.  

මේරි ඩේලි (1978) වැනි අය දරන්නේ ස්ත්‍රීභාවය පුරුෂභාවය වඩා අගය කරන බවත්, ප්‍රජනක කාර්යය තුළ ඇය විශේෂ තැනක් බවත්, පුරුෂාධිපත්‍ය තුළ ඊර්ෂ්‍යාව විසින් එම ප්‍රජනක කාර්යය පාලනය කරන බවත්ය. ස්ත්‍රී දූෂණ, ලිංගික අතවර වන්නේ එම ඊර්ෂ්‍යාව නිසා බවත් පෙන්වා රැඩිකල් ස්ත්‍රිවාදීහු පෙන්වා දෙති. 

යුද්ධයෙන් වැන්දඹු වන කාන්තාව සංස්කෘතික අගයන්ගෙන් මුල්ලට කර තබන විට ඊට එරෙහි අරගල කරන කාන්තාවන්ට සමාජය සංග්‍රහ කරනුයේ පහත් ලෙසය. නැතිනම් ඊනියා ස්ත්‍රීවාදින් (So-called feminist) ලෙසයි. ශ්‍රී ලාංකීය සංස්කෘතිය ( සිංහල බෞද්ධ, මුස්ලිම්, ද්‍රවිඩ, තරමක් දුරට වූ ක්‍රිස්තියානි හා මැලේ) තුළ පිරිමියා අත්විඳින සමාජ නිදහස කාන්තාව අත් නොවිඳී. කුටුම්භ රක්ෂණයෙහි පියා ප්‍රධාන උපයන්නා වීමත්, තීරණ ගැනීමේ ප්‍රමුඛයා වීමත් ගෘහ මූලිකයා වීමත් විය හැක. එහෙත් කාන්තාව සාමාන්‍ය පවුල තුළ දී පීඩනයට පත් වනවා යන්න මෙහි තර්ක නොකරයි. ඒත් තීරණ ගැනීම වැනි අවස්ථාවල වඩා බලාත්මක වනුයේ පියාගේ, සහෝදරයාගේ ස්ථාවරයයි. එය දෛනික වටපිටාව විසින් උරුම කර දුන් සංස්කෘතික දායාදයකි. මේ තත්ත්වය තියුණු වන්නේ ප්‍රතිවිරෝධතා දක්වීමට සමත් කාන්තාවක් අභිමුඛ වූ අවස්ථාවකය. එහිදී ඇය මෙල්ල කිරීමට සංස්කෘතික විසින් උරුම කර දුන් වචන භාවිත කරයි. (දාසිය, මෙහෙසිය, වේසිය, බඩුව, ඉන් සමහරකි.) එවැනි බලයක් ස්ත්‍රිය සතුව නැත. එවැනි චෝදනා පිරිමියාට එරෙහිව නැගුවද එය එතරම් පුරුෂයාට බලපෑමක් නොකරයි. මෙය ජූඩිත් බට්ලර්, ඩේලි මේරි ගෙන එක gender පිළිබඳව සාධනයට දැමිය හැක. නැතිනම් චන්ද්‍ර මොහෙන්ති ගෙන එන සංස්කෘතික වෙනස්කම් මත වන වෙනස්කම් ගණයෙහි ලා තේරුම්ගත හැකිය. මන්ද යුරෝපානු ඇමරිකානු ස්ත්‍රිය විදින සංස්කෘතික බලය ආසියානු, අප්‍රිකානු හෝ ලතින් ඇමරිකානු ස්ත්‍රිය අත් නොවිදීමයි. එය පැහැදිලි ලෙසම සංස්කෘති විසින් යුක්ති සහගත කරන ලද බල බෙදීයාමේ අසමානතාවයයි. 

පශ්චාත් යුධ සමයක ගෙවෙන ලාංකීය සමාජය පෙළෙන ගැටලු රාශියක් පවතී. එයිනුත් ස්ත්‍රිත්වයට එරෙහි අප්‍රධානත්වය සැලකිය යුක්තකි. මේ ගැටලුවට  ස්ත්‍රීවාදයෙන් පන්නරයක් ලැබිය හැකිදැ’යි විමසීම වටී. එහිදී අනුෂ්කා පෙන්වා දෙන නාගරික අධිපත් කතිකාව තුළ යුධ පීඩිත කාන්තාව කරන ආකෘතිගත කිරීම ඉතාමත් වැදගත්ය. ”මෙම විද්වත් කතිකාව තුළ බොහෝ අවස්ථාවලදී පශ්චාත් යුධ ශ්‍රී ලාංකේය කාන්තාව ‘යුධ වැන්දඹුව’ ලෙස ආකෘතිගතකර ඇත. රාජ්‍යයට අයත් හෝ ත්‍රස්තවාදී කණ්ඩායමකට අයත් හෝ වේවා, යුධ බිමේ සටන්කළ ගැහැනිය,‍‍‍ මෙම ජනප්‍රිය අවකාශ තුළ අදෘශ්‍යමානය.’ මෙම කාන්තාවන්ගේ ගැටලු සඳහා සරල පිළිතුර වන්නේ වන්දියක් ලබා දිම සහ මාසික වේතනය ලබා දීමයි. මෙම කතිකාව තුළ කාන්තාව, සිතුවිලි සහිත, ක්‍රියාකාරී, ආශා සහිත ජීවියකුගේ සිට වන්දියක් සහ වේතනයක් මගින් ගනුදෙනුවක යෙදිය හැකි භාණ්ඩයක් බවට ලඝුකර ඇත. සිංහල වීරයා තරම් ‘සිංහල යුද වැන්දඹුව’ කතිකාවට මාතෘකාවක් නොවන්නේය. අනෙක් අතින් ‘යුද වැන්දඹුව’ ද්‍රවිඩය. තවත් ආකාරයකට පශ්චාත් යුධ ද්‍රවිඩ කාන්තාව ‘වැන්දඹුවකි’. මේ සියලු කතිකා අවසානයේ කේන්ද්‍ර වන්නේ ‘පුරුෂයා’ වටාය” මේ බුද්ධිමය කතිකාව සිවිල් සංවිධාන හරහා පොදු කතිකාවකට ගැනීම පසුගිය වසර කීපය තුළ ඉතාම සක්‍රීයව පැවතීය. එහෙත් වඩාත් විශ්ලේෂණය කළ යුත්තේ එකී කතිකාව අධිපති සංස්කෘතිය විසින් ග්‍රහණය කර ගෙන ඇද්දැ’යි යන්නයි. තවත් විදියකට කියන්නේ නම් මේ කතිකා විෂයෙන් පන්නරය ලැබූවන් සමාජයේ පහළ ස්ථරයේදී එනයින් පෝෂණය වන්නේද යන්නයි. කෙසේ වෙතත් මේ අවධියේ අර්බුදය වන්නේ ස්ත්‍රියට එරෙහි ප්‍රචණ්ඩත්වය හා අප්‍රධානත්වය තවමත් පහව නොයෑමයි. මේ සඳහා ස්ත්‍රීවාදයේ ආලෝකයක් අවශ්‍යය. දුර්වලයා තම ශක්තිය හඳුනා නොගන්නාතාක් කල් පීඩකයා පිඩනය සිදු කරයි. මානව අයිතීන් හා කාන්තා අයිතීන් විවිධ සම්මුතීන් හරහා ශක්තිමත් කර තිබියදී පවා ඔවුනට හිතකර පරිසරයක් නිරිමාණය කිරීමට නොහැකි වී ඇත්තේ නීතිවල පවතින දුර්වලතා නිසා (ම) නොවේ. එකී නීති ආශ්‍රයෙන් පන්නරය ලැබූවත් සමාජය තුළ නිහඩ වීම නිසාය. 

පුරුෂ මූලික හෙජමොනික චින්තනය විසින් සමාජය හරහා වැටී ඇති ස්ත්‍රියට එරෙහි ප්‍රතිවිරෝධයේ ක්ෂුද්‍ර තලය වන නිවස තුළ දී කරන නිහඬ කරවීම මහා සමාජයේ දී ද අවිඥානිකව පවතී. මනෝවිශ්ලේෂණයේ කියවෙන අධිපති මනෝභාවයන් යථාර්ථය අභිබවා යයි. එනම් පශ්චාත් යුධ සමාජයක් සුවපත් කර ධරණිය සාමයක් ස්ථාපිත  වීම විශයෙහි අත්‍යන්තයෙන්ම කාන්තාව සවිබල ගැන්විය යුතුය. යථාර්ථය එයයි. එහෙත් අධිපති පුරුෂමූලික මනෝභාවයන් බිම් මට්ටමේ දී එය යථාර්ථයක් වීමට බාධා පමුණුවයි. එහිදී සංස්කෘතිය විශාල කාර්භාරයක් කරනු ලබයි. ආගමික සම්ප්‍රදාය, විශ්වාසයන් ඇය මුලු ගන්වයි. තවත් විදියකින් කියන්නේ නම් රැඩිකල් ස්ත්‍රිවාදීන් පවයන පාරම්පරිකත්වය වැනි පුරුෂ මූලිකත්ව ස්ත්‍රිය නිහඩ කිරීමේ විභවතාවන් ශක්තිමත් කරයි. මානවයා යනු නිදහස්ව, අයිතීන් හා ගෞරවයෙන් සමානව උපත ලබා ඇති බවත් එය ජීව විද්‍යාත්මක වෙනසකට වඩා බලය විසින් ඉස්මතු කරන ලද වෙනස්කම් විසින් පාලනය කිරීමට ලක් නොවිය යුත්තකි. එනම් “පුරුෂයා”ට සාපේක්ෂව “කාන්තා”ව ස්ථානගත විය යුතු නැත. එකිනෙකා සාපේක්ෂ වීමෙන් යමක අගය අප්‍රමාණ විය යුතු නැත. එකිනෙකා අභිබවා යාමට මානවයාගේ පවතින ජීව විද්‍යාත්මක තත්වයන් ඉවහල් විය යුතු නැත. එසේ එකිනෙකා අභිබවා යන ව්‍යුහාත්මක තත්වයන් විසින් ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය සමාජයේ පැතිරීමට බලපායි. ධනාත්මක සාමයක් ස්ථාපිත කිරීමට එය බාධාවකි. වර්තමාන ලංකාව ගෙවමින් සිටින්නේ මෙකී තත්ත්වයයි.

සටහන : සම්පත් රන්දුන්න

මෙහි දැක්වෙන අදහස් කර්තෘගේ පූර්ණ අභිමතය මත පළ කරන ලද අතර එය හෑෂ්ටැග් පරපුරෙහි අදහස් හෝ මතවාද නියෝජනය නොකරන ලද බව කාරුණිකව සලකන්න.

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …