හිරිහැර අපවාද මැද රටේ බර කරට ගත් ඈ…..

1977 විවෘත ආර්ථීක ප්‍රතිපත්තියත් සමඟ රැකියා සඳහා විදේශ රටවලට ඇදීයාමේ දොරටු විවෘත විය. මේ හේතුවෙන් ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ගෘහ සේවිකාවන් සහ රියදුරන් ලෙස විදේශවල රැකියාවලට යොමු වූහ. මෙලෙස විදෙස්ගත වූ තවත් බොහෝ පිරිසක් ඇගලුම් කර්මාන්තයට යොමු වූ අතර තවත් පිරිසක් හෝටල් ක්ෂේත්‍රයට යොමු වූහ. 

වසර 1977න් පසු ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදේශ ඉපැයුම් මාර්ගය බවට පත්වන්නේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ යි. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වාර්ෂික වාර්තාවට අනුව ඉකුත් වසරේදී (2021) විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 5.5ක් විය.  ඒ අනුව පසුගිය වසරේ දී අපනයන ආදායමට පසු දළ දේශීය නිෂ්පාදිතයට ඉහළම දායකත්වයක් ලබා දී ඇත්තේ විදේශීය ශුද්ධ ජංගම සංක්‍රාම අංශය වන අතර එය දළ දේශීය නිෂ්පාදිතයේ  ප්‍රතිශතයක් ලෙස සියයට 6.1කි.  

රැකියා සදහා විදේශගත වන ශ්‍රමිකයන්ගේ නිපුණතා සංකලනය අනුව, ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ගෘහ සේවය සඳහා විදේශගත වන කාන්තාවන් මත රඳා සිටින බව පැහැදිලිව දක්නට ලැබෙන කරුණකි. එයින් සියයට 90ක් පමණ ම සේවය කරන්නේ ගෘහ සේවිකාවන්ට නීතියෙන් පැහැදිලි රැකවරණයක් නොලැබෙන සෞදි අරාබිය, කුවේටය, ලෙබනනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි මැදපෙරදිග රටවල ය. කෙසේ වුව ද  ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාවට අනුව, මීට දශක දෙකකට පමණ පෙර වාර්ෂිකව රැකියා සදහා විදේශගත වන සමස්ත පුද්ගලයන් ප්‍රමාණයෙන් ඉහළ ම ප්‍රතිශතයකට හිමිකම් කියමින් සියයකට 50 ට වඩා වැඩි අගයක් වාර්තා කළ ගෘහ සේවිකා කාණ්ඩය, 2020 වසර වන විට සියයට 30කට වඩා අඩු ප්‍රතිශතයක් දක්වා පහළ ගොස් ඇත.

මූලාශ්‍ර: ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වාර්තා 2021

මෙම සංඛ්‍යා දත්තවලට අනුව 2021 වසර වන විට පිරිමි සංක්‍රමණිකයන් බොහෝ දුරට ඉහළ මට්ටමේ සහ පුහුණු රැකියාවල නිරත වන නමුත් කාන්තා සංක්‍රමණිකයන්ගෙන් බහුතරයක් ගෘහසේවයේ සහ නුපුහුණු රැකියාවල නිරත වන බව නිරීක්ෂණය වේ. එහෙත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබී ඇති රැකියාවක් නොමැතිව අතරමං වීම, රැකියා කොන්ත්‍රාත්තුව  උල්ලංඝනය කිරීම, හිරිහැර කිරීම (ආහාර, නවාතැන්, වැටුප් සහ වෛද්‍ය පහසුකම් නොමැතිකම, ලිංගික හිරිහැර, අවයව ඉවත් කිරීම යනාදිය), සන්නිවේදනය කිරීමේ අපහසුතා, වැටුප් නොලැබීම, කොන්ත්‍රාත් කාලය අවසන් වූ පසු ආපසු මවු රටට නොඑවීම යනා දී පැමිණිලි විග්‍රහ කිරීමේදී පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ පැමිණිලිවල වැඩි ප්‍රවණතාවක් දැකිය හැකි වේ. එමෙන් ම රැකියා අංශ අනුව සලකා බැලීමේදී පුහුණු සහ විධිමත් රැකියා අංශවලට සාපේක්ෂව නුපුහුණු සහ ගෘහ සේවය සදහා සංක්‍රමණය වූ කාන්තාවන්ගේ පැමිණිලි ප්‍රමාණාත්මක වශයෙන් ඉහළ අගයක් ගෙන ඇති බව නිගමනය කළ හැකිය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණ ඇති මෙම පැමිණිලිවල ස්වභාවය අනුව සංක්‍රමණය වන රටවල දී පොරොන්දු වූ වැටුප් නොලැබීම, කායික සහ මානසික හිංසනයට ලක් කිරීම, නොසලකා හැරිම, ලිංගික අඩත්තේට්ටම්වලට ලක්වීම හා සූරාකෑම්වලට ලක්වීම සහ ගණිකා වෘත්තියේ යෙදවීම මෙන් ම ප්‍රචණ්ඩත්වයට ලක්වීම තුළ මරණයට පත්වීම යන තත්ත්ව වාර්තා වී ඇති බව නිරීක්ෂණය විය. කෙසේ නමුත් මෙම තත්ත්ව හේතුවෙන් පීඩාවට පත්වන සංක්‍රමිකයන් කෙරෙහි ආරක්ෂාව සැපයිමේ නෛතිකමය වගකීමක් රජය සතුව පවතින්නේය.

ශ්‍රී ලාංකේය කාන්තාවන් විදේශ රැකියාවලින් උපයන ආදායම, රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන බව ඉලක්කම්වලින් පෙන්විය හැකි නමුත්, විදේශගත කාන්තාවන්ට විදේශවලදී විඳීමට සිදුවන හිරිහැර මෙන් ම ලාංකීය සමාජය විසින් මෙම කාන්තාවන්ට එල්ලවන හිරිහැරවල බලපෑම ඉලක්කම්වලින් පෙන්විය නොහැකි වීම බරපතල තත්ත්වයකි. මෙය රටේ  සමාජීය පරිහානිය පෙන්නුම් කරන තවත් එක් ප්‍රධාන පැතිකඩකි. 

ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කර ගෘහ සේවයට යැවූ බාල වයස්කාර තරුණියක වූ රිසානාගේ මරණය (2014), විදෙස්ගත ගෘහ සේවයේ නිරත වී සිටි අයේෂා  දිල්රුක්ෂි නම් අවුරුදු 25ක් වයසැති තරුණිය ගෘහ සේවයේ දී ප්‍රචණ්ඩත්වයට  මුහුණ දී මිය යෑම (2015), ගෘහ සේවය සඳහා මැදපෙරදිග ගිය කාන්තාවන් එකසිය හතළිස් දෙනකු 2016 වසරේ දී විවිධ වද හිංසාවලට මුහුණ දීම සහ 2017 වසරේ සියයකට අධික කාන්තාවන් විවිධ වදහිංසාවලට මුහුණ දීමත්, ඔවුන් වැටුප් නොමැතිව නැවත ශ්‍රී ලංකාවට පැමිණීමත් යන සිදුවීම් ඔබට මතක ඇතුවාට සැක නැත. එමෙන් ම සංචාරක වීසාවලින් ඕමානයට ගෙන ගොස් වෙන්දේසියේ විකුණුවා යැයි කියන ශ්‍රී ලාංකික කතුන් සම්බන්ධයෙන් මේ දිනවල මාධ්‍ය හරහා දැඩි ලෙස කතාබහට ලක්ව තිබේ.  

ගෘහ සේවය සඳහා විදේශගත වූ කාන්තාවන්ට සිදුවන මෙවන් හිරිහැර පිළිබඳව යම් මට්ටමකට හෝ සමාජ කතිකාවතක් ගොඩනැඟී තිබුණ ද මාර්ගගත ක්‍රම (අන්තර්ජාලය ඔස්සේ) හරහා මෙවැනි කාන්තාවන්ට සිදුවන සයිබර් හිංසන පිළිබඳව කිසිවෙකුගේත් අවධානය යොමුව ඇති බවක් පෙනෙන්නට නැත. 

YouTube, Facebook වැනි සමාජ ජාල තරමට ම වර්තමානය වන විට TikTok සමාජ මාධ්‍ය ජාලය සමාජයේ ළමා, තරුණ, වැඩිහිටි යන සියලු පාර්ශව අතර ඉතා ජනප්‍රිය මාධ්‍යකි. මේ ජනප්‍රියතාවයත් සමඟ ම මේ හරහා සිදුවන ස්ත්‍රී/පුරුෂ සමාජභාව පදනම් කරගත් හිංසන ද වැඩි වී ඇත. ඒ අනුව දේශපාලන චරිත, නළු නිළියන්, ගායක ගායිකාවන්, පාසල් ළමයින්, සමාජ ක්‍රියාකාරිනියන් සහ විදේශගතව ගෘහ සේවයේ නියුතු පිරිස් ඇතුළු සමාජයේ විවිධ තල නියෝජනය කරන කාන්තාවන් ඉලක්ක කරගනිමින් සයිබර් හිංසන සිදුවන බව හෑෂ්ටැග් පරපුරේ අප කරන ලද අද අධ්‍යයන සහ විශ්ලේෂණවලදී පෙනී ගොස් ඇත. 

වසරකට ආසන්න කාල පරිච්ඡේදයක් තුළ (2021 දෙසැම්බර්  – 2022 නොවැම්බර්) හෑෂ්ටැග් පරපුරේ අප කරන ලද TikTok සමාජ මාධ්‍ය අධ්‍යයන ක්‍රියාවලිය තුළ පෙනී ගිය බරපතල සමාජමය ඍණාත්මක ප්‍රවණතාවක් වන්නේ මැදපෙරදිග ගෘහ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවන්ට හිරිහැර කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද විවිධ TikTok අන්තර්ගතයන්ය. 

මෙම TikTok අන්තර්ගත හරහා පහත දැක්වෙන ආකාරයේ ක්‍රමවේද තුළින් විදෙස්ගත කාන්තා ශ්‍රමිකයෝ අන්තර්ජාල අපයෝජන සහ හිරිහැරවලටවලට ලක්වෙති.

1. ව්‍යාජ TikTok ගිණුම් නිර්මාණය (Fake TikTok Profiles)

වසරක් වැනි කාල පරිච්ඡේදයක් තුළ මැද පෙරදිග කාන්තාවන්ට හිරිහැර කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද ව්‍යාජ TikTok ගිණුම් සියයකට ආසන්න ප්‍රමාණයක් හෑෂ්ටැග් පරපුරේ නිරීක්ෂණයට ලක් විය. මෙම ව්‍යාජ ගිණුම්වල ගිණුම් පින්තූරය(Profile Picture) සදහා විදෙස්ගත කාන්තාවන්ගේ අනන්‍යතාවය පෙනෙන ආකාරයේ පින්තූර භාවිත කර ඇත. එමෙන් ම මෙම ‌බොහෝමයක් ගිණුම්වල නම් (Profile Name) වශයෙන් යොදාගෙන තිබුණේ එම කාන්තාවන්ගේ නම් සහ ඔවුන් ගෘහ සේවයේ නියුතු රටවල්වල නම් එකට සම්බන්ධ කරගනිමිනි. උදාහරණ වශයෙන් ‘කුවේට් අමාලි’, ‘සෞදි කුමුදු’ යනාදිය දැක්විය හැකි ය. 

විදෙස්ගත කාන්තාවන් මේ ආකාරයෙන් නාමකරණය කිරීම මඟින් කාන්තාවන්ගේ ගෞරවනීය බව අවතක්සේරු කිරීමට සමාජයේ ඇතැම් කණ්ඩායම් ප්‍රයන්ත දරන බව පෙනී යයි. මේ හේතුවෙන් විදේශගත කාන්තාවන්ගේ  දරුවන්, ස්වාමිපුරුෂයන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ට ඍණාත්මක බලපෑම් ඇති කරයි.

2. අදාළ පාර්ශවයන්ගේ එකඟතාවයෙන් තොරව ඡායාරූප, විඩියෝ, පණිවිඩ හුවමාරු සහ අනිකුත් විද්‍යුත් දෑ බෙදා හැරීම 

මෙම ගිණුම් සඳහා බොහෝ විට විදෙස්ගත කාන්තවන්ගේ, අනුදැනුමකින් තොරව ගන්නා ලද ඡායාරූප, වීඩියෝ, හඬ පට, පෞද්ගලික පණිවුඩවල තිර ඡායාරූප, වීඩියෝ ඇමතුම්වලදී රහසේ ගනු ලබන තිර පටිගත කිරීම්,  TikTok සජීවී විකාශන (TikTok Live) රහසිගතව තිර පටිගත කිරීම් ආදිය යොදා ගනිමින් ඔවුන්ව හිංසනය‌ට ලක් කරන ආකාරය නිරීක්ෂණය විය. 

3. හිරිහැර කිරීමේ අරමුණින් තර්ජනයන් සිදු කිරීම 

යම් යම් පාර්ශව විසින් ද්වේශ සහගත අරමුණු පදනම් කරගනිමින් විදෙස්ගත ශ්‍රමික කාන්තාවන්ට සහ ඔවුන්ගේ හිතවතුන්ට තර්ජන එල්ල කරනු ලබන අවස්ථා ද ටික්ටෝක් සමාජ මාධ්‍ය තුළ සුලබව දක්නට ලැබේ. විදෙස්ගත කාන්තාවන්ගේ පෞද්ගලික වීඩියෝ සහ ඡායාරූප තමන් සතුව ඇති බව කියමින් හා ඒ බව අඟවමින් සහ ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහරින බව කියමින්  ව්‍යාජ ගිණුම් නිර්මාණය කරන පුද්ගලයන් කාන්තාවන්ට තර්ජනය කරන ආකාර අපගේ නිරීක්ෂණයන්ට ලක් ව ඇත. 

4. පෞද්ගලික තොරතුරු හානි කිරීමේ අරමුණින් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම 

මැදපෙරදිග ගෘහ සේවයේ නියුතු කාන්තාවන්ට TikTok හරහා සිදුවන තවත් මාර්ගගත හිංසනයක් වන්නේ ඔවුන්ගේ දුරකථන අංක, Facebook ගිණුමෙහි තිර ඡායාරූප ආදී පෞද්ගලික තොරතුරු අඩංගු කරුණු ව්‍යාජ ගිණුම් හරහා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමයි.

5. කාන්තාවන්ට එරෙහිව අසැබි හා අශිෂ්ට වචන භාවිතය

ඉහත දක්වන ලද සියලුම ආකාරයේ මාර්ගගත හිංසන තුළ ස්ත්‍රී ද්‍රෝහී වෛරී ප්‍රකාශ අන්තර්ගත වන ආකාරය TikTok අන්තර්ගත නිරීක්ෂණය කිරීමේදී දක්නට ලැබුණු කරුණකි. ඉතාමත් පහත්, අසැබි හා අශිෂ්ට වචන භාවිත කරමින්  විදෙස්ගත කාන්තාවන්, වෛශ්‍යාවන් යැයි අඟවන පිළිකුල් සහගත ප්‍රකාශ ද මැද පෙරදිග ගෘහ සේවයේ නියුතු කාන්තාවන්ට එරෙහිව බහුලව භාවිත කෙරේ. 

විදෙස්ගත කාන්තාවන් මෙරටට එවන විදේශ විනිමය දෝත පුරා සාදරයෙන් පිළිගන්නා ශ්‍රී ලංකා ආණ්ඩුව ඔවුන් විදේශවලදී මුහුණ දෙන විවිධ කායික සහ මානසික හිරිහැර මෙන්ම අන්තර්ජාලය ඔස්සේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ ඔවුන් මුහුණ දෙන හිංසා පීඩා සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවරක් ගන්නා බව පෙනෙන්නට නැත. 

කාන්තාව විදෙස් ගතවීම ඔවුන්ගේ පවුල්වලට මෙන් ම සමාජයට ද බලපෑම් ඇති කරයි. මෙයින් ඇතිවන සාධනීය බලපෑම් මෙන් ම, නිශේධනාත්මක බලපෑම් ද වේ. කාන්තාවගේ පැත්තෙන් බැලූවිට එය වරෙක වාසි සහගත ය. දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ ගැටලු, ආර්ථික ගැටලු විසඳීම, නිවාස ප්‍රශ්නය යනාදියට සහනදායී පිළිතුරු ලබා ගැනීමට හැකි වීම වාසි සහගත තත්ත්ව ලෙස හඳුනාගත හැකි ය.   එමෙන් ම විදෙස්ගතව රැකියාවල නිරත වීම හේතුවෙන් කාන්තාවන් යම් පමණකට බලසම්පන්න වී ඇත. විදෙස් ගත රැකියාවකට යොමු වීම හරහා ඇය ලෝකය නිසි ලෙස හඳුනා ගන්නවා අතර, එමගින් ඇයගේ තීරණ ගැනීමේ ශක්තිය යම්තාක් දුරකට වර්ධනය වූවා යැයි ද අපට උපකල්පනය කළ හැකි ය. 

එහෙත් කාන්තාව කෙරෙහි සමාජය විසින් හිමිකර දී ඇති භූමිකාව ඒ නිසා වෙනස් වී නැති බව ද අවධාරණය කළ යුතු ය. කෙටියෙන්ම කියතහොත් වාසිදායක අවස්ථා රැසක් කාන්තාවට ලැබුණ ද, ඔවුන්ට ඊට දායක වීමට අවශ්‍ය පරිසරය සමාජය තුළින් නිසි ලෙස ගොඩනැඟී නැත. කාන්තාව විදෙස්ගත කර ඒ හරහා රටට ආදායම් ගෙන ඒමට රජය අපේක්ෂා කරන්නේ නම්, ඒ සඳහා වෘත්තීයවේදීන් සම්බන්ධ කර ගනිමින් විදෙස්ගත වීමට සූදානම් වන කාන්තාවන්ට සහ එම පවුල් සඳහා සමාජ සහාය ලබා දීම අවශ්‍ය පියවර ගත යුතු ය. ඒ සඳහා අවශ්‍ය ආයතන පද්ධතියක් අප රට තුළ පැවැතිය ද, එක් එක් නිලධාරියා තමන්ගේ වගකීම්වලට පමණක් සීමා වීම, ඇතැම් විට ඔවුන් ඔවුන්ගේ වගකීම් ඉටු නොකිරීම, සම්බන්ධීකරණයක් නොමැති වීම, සාමූහික වගකීම් නොදැරීම, නිද්‍රාශීලී පිළිවෙත යනාදී කරුණු නිසා අදාළ ආයතන පද්ධිත නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. මේ නිසා  ව්‍යුහාත්මක සහ ආයතනික ප්‍රතිසංස්කරණ ඇතුළු ව විදෙස් ගත වන කාන්තාවන්ටට නීතිමය සුරක්ෂිතතාව මෙන් ම සමාජ සුක්ෂිතතාව ඇති කිරීම සඳහා ද රජය සිය දැඩි අවධානය යොමු කළ යුතු ය. 

ඊට අමතරව, සයිබර් අවකාශය හරහා විදෙස්ගත කාන්තාවන්ට සිදු වන හිරිහැරයන් මොනවා ද ඒ හරහා එම කාන්තාවන්ගේ පෞර්ෂත්වයට සහ මානසික සෞඛ්‍යයට සිදු වන බලපෑම මෙන් ම ලංකාවේ ජීවත් වන ඔවුන්ගේ දෙමාපියන්ට, දරුවන්ට හා ස්වාමිපුරුෂයන්ට ඒ හරහා එල්ල වන සමාජයීයසමාජයීය බලපෑම කෙසේ ද යන්න ආදී සයිබර් හිංසනයේ අහිතකර බලපෑමේ ඇති බරපතලකම පිළිබදව මේ සම්බන්ධයෙන් වගකීම් දැරිය හැකි කිසිවකුගේ අවධානයට ලක් ව ඇති ආකාරයක් පෙනෙන්නට නොමැත.

එමෙන් ම ගෘහ සේවය සඳහා  විදෙස්ගත කාන්තාවන්ට සුරක්ෂිතව නිසි ආකාරයෙන් සමාජ මාධ්‍ය පරිහරණය කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබදව සහ සයිබර් හිංසනකට ලක්වුවහොත් ඊට එරෙහිව ගත යුතු තාක්ෂණික සහ නෛතික ක්‍රියාමාර්ගයන් මොනවා ද යන්න මෙන් ම එවැනි සහයන් ලබාගත හැක්කේ කවර පාර්ශවයන්ගෙන් ද යන වග පිළිබදව නිසි අවබෝධයක් නොමැත.

මේ නිසාවෙන් විදෙස්ගත කාන්තාවන්ට සමාජ මාධ්‍ය සාක්ෂරතාවය සහ සයිබර් ලෝකයේ සිදු වන ප්‍රචණ්ඩත්ව හා එයට ලක්වුවහොත් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්යයයෙන් සිදු කළ යුත්තකි.

ශශිකා කුලතුංග- හෑෂ්ටැග් පරපුර 

Share this post

Related Projects

Fact Check

FACT CHECK : நியூசிலாந்து தனது மக்களை இலங்கைக்கு செல்ல வேண்டாம் என்று சொல்லுமா?

இலங்கைக்கு விஜயம் செய்வது தொடர்பில் அந்நாட்டு மக்களுக்கு குறிப்பாக சுற்றுலாப் பயணிகளுக்கு வழங்கப்பட்ட அறிவுறுத்தல்களை நியூசிலாந்து அரசாங்கம் புதுப்பித்துள்ளதை கடந்த சில நாட்களாக அவதானிக்க முடிந்தது. இலங்கைக்கு …

Fact Check

FACT CHECK : Did New Zealand tell its residents not to visit Sri Lanka?

During the past couple of days, it has been observed that posts are being circulated on social media platforms displaying …

Fact Check

FACT CHECK : නවසීලන්තය එරට වැසියන්ට ශ්‍රී ලංකාවට යන්න එපා කියයි ?

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් නවසීලන්ත රජය එරට වැසියන්ට, විශේෂයෙන්ම සංචාරකයන්ට ලබාදෙන උපදෙස් යාවත්කාලීන කර ඇතැයි කියැවෙන සටහන් සමාජ මාධ්‍ය තුළ …

Uncategorized

අන්තර්ජාලය වසා දැමීමක් (Internet Shutdown) යනු කුමක්ද?

(දකුණු සහ අග්නිදිග ආසියාතික සිවිල් සමාජයන් සඳහා මාර්ගෝපදේශයකි) URL: https://engagemedia.org/2022/internet-shutdowns-south-southeast-asia/  ඩිජිටල්කරණයට ලක් වී ඇති වත්මන් සමාජය තුළ, අන්තර්ජාලයට ප්‍රවේශ වීම …

Fact Check

FACT CHECK : විෂාදය කියන්නේ බොරුවක් ද?

විෂාදය සම්බන්ධයෙන් මෙලෙස අලුත් වටයකින් කතාබහක් ඇති වූයේ ඇන්ඩෘ ටේට් නැමැත්තා මීට පෙර අවස්ථා කිහිපයකදී විෂාදය සම්බන්ධයෙන් පළ කළ අදහස් …

Fact Check

FACT CHECK : උප්පැන්න සහතික වෙනුවට මරණ සහතික අයදුම්පත් නිකුත් කළා ද?

“උප්පැන්න සහතික අයදුම්පත් අවසන් වී ඇති බැවින් මරණ සහතික අයදුම්පතෙහි උප්පැන්න බව සඳහන් කොට අවශ්‍ය තොරතුරු පුරවන්න”  යනුවෙන් සඳහන් කළ …