ස්ත්‍රීවාදය සංස්කෘතියක් (ද?)

ස්ත්‍රීවාදය සංස්කෘතියක් (ද?)

‘දැනුම’ පිළිබඳ අධ්‍යයනය සඳහා  ගෝලීය වශයෙන් විවිධ ප්‍රවේශ අනුගමනය කර ඇත. ඒ සඳහා විශ්වාසය මත පදනම් ආගමික සම්ප්‍රදාය සහ විද්‍යාව  මත පදනම් වෙමින් බිහි වූ සම්ප්‍රදාය පැවත ඇත; විකාශනය වී ඇත. එක් අතකින් මේවා ලෝකය විග්‍රහ කිරීම පිළිබඳ පවතින විවිධාකාර ප්‍රවේශ ලෙස හඳුනාගත හැකිය. පරිපූර්ණ ලෙස නොවූවත් මෙවැනි ප්‍රවේශවල අඩංගු සමහර දෑ ජන සමාජයට මුසු වී දෛනික ජන ජීවිතයේ ම කොටස් බවට පත්ව ඇත. පුද්ගල සමානාත්මතාවය, ස්ත්‍රීපුරුෂ සමානාත්මතාවය, සමාන අයිතීන්, නෛතික ආරක්ෂාව වැනි දෑ එසේ පැමිණි දේවල් අතර වේ. මේවා වර්ධනය වූ ඉතිහාසයක් ඇත. වර්ධනය වෙමින් යන වර්තමානයක් ද ඇත. 

තවද ලෝකය දෙස, ඉතිහාසය දෙස මෙන් ම සමාජ, ආර්ථික, දේශපාලන වැනි විෂය පිළිබඳව විවිධ වූ න්‍යාය ඇසුරෙන් විශ්ලේෂණය කර තිබේ.  මේ අතර අද්‍යතනයේ වැඩියෙන් අවධානයට ලක් වන කතිකාවතකි ස්ත්‍රීවාදය. ලෝකය පිළිබඳව දේශපාලනය, සමාජය ගැන ස්ත්‍රීවාදී විඥාණයෙන් හඳුනාගැනීම ස්ත්‍රීවාදය මගින් අධ්‍යනය කරයි. වඩාත් යහපත් ලොවක් සදහා ස්ත්‍රීවාදය කොතරම් යෝග්‍ය වන්නේ ද?.. සත්‍ය ලෙසම ස්ත්‍රීවාදය විසින් පුරුෂයා පිටු දකින්නේ ද?… වැනි මත තිබිය හැකිය. ස්ත්‍රීවාදය තුළ අගතිගාමී මෙන්ම ඉතාමත් ප්‍රගතිශීලී අදහස් හා යෝජනා පවතින බව කිය යුතුය. මේ ලිපියෙන් එවැනි ප්‍රතිගාමී මෙන් ම අගතිගාමී අදහස් පිළිබඳවද අවධානය යොමු කෙරේ. විශේෂයෙන්ම පශ්චාත් යුධ අවධියක සිර වී සිටින ලාංකිකයන් පවතින දේශීය උභතෝකෝටික නිරාකරණය උදෙසා මෙකී ප්‍රවේශය යොදා ගැනීමේ කාලීන අවශ්‍යතාවක් ඇත. 

මුලින්ම ස්ත්‍රීවාදය සංස්කෘතියක් (ද?) ලෙස අපට හඳුනාගත හැකිදැ’යි අවධානය යොමු කිරීම වටී. එයට හේතුව වන්නේ, සංස්කෘතිය යනු ඉතාමත් වැදගත් සංකල්පයක් ලෙස වර්තමානයේ හඳුනාගැනීමට හැකි නිසාත්, සංස්කෘතිය වඩාත් කතාබහට ලක් කෙරෙන මාතෘකාව (ක්) බවට පත්ව ඇති නිසාත් ය.  සංස්කෘතිය යනු විධිමත්, අවිධිමත් ආකාරයක්ට පදනම් වූ දැනුම්, විශ්වාසය, වටිනාකම්, සම්ප්‍රදාය, සන්නිවේදන, භාෂා වැනි දෑ මත පදනම් වූ දෙයකි. එසේම අප කරන දේ හා අප හැසිරෙන ආකාරය හා  ඇවිදින, වාඩිවී, අපගේ ශරීරය(ත්) සමග මෙන්ම අනෙකුත් අය සමඟ කටයුතු කරන ආකාරයද එයට ඇතුළත් වේ. තවද සංස්කෘතිය යන සන්දර්භය තුළට දැනුමත්, ස්ථානයත්, වේලාවත් අනුව අප හැසිරෙන ආකාරය, අප ජාතිය, වර්ගය, ස්ත්‍රී-පුරුෂභාවය හා ලිංගිකත්වය අනන්‍යතා  ප්‍රකාශ කරන ආකාරය, ආගමික උත්සව වැනි දෑ සදහා අපගේ දායක්වය යන සියල්ලද අන්තර්ගත වේ. 

යම් සන්දර්භයක් සංස්කෘතියක් ලෙස හඳුනා ගැනීමට නම් මෙකී අගයන් පැවතිය යුතුය. ස්ත්‍රීවාදය තුළ එම අඩංගුතා කෙසේ අඩංගු වන්නේදැ’යි අප පිරික්සිය යුතු ය. එනයින් ස්ත්‍රීවාදය සංස්කෘතියක් ලෙස හදුනා ගත හැකිදැ’යි විමසීම වටී. 

ස්ත්‍රීවාදය ඉතිහාසය පිළිබඳ ඉතාමත් ප්‍රශස්ත මට්ටමේ අධ්‍යනයන් ලොව පුරා සිදු වී ඇත. එසේම ගෝලීය සමාජ-ආර්ථික, දේශපාලන ගතිකයන් ගැන වැදගත් විශ්ලේෂණයන් ස්ත්‍රීවාදීන් ඉදිරිපත් කර ඇත. එනම් මේ හරහා දැනුම් සම්භාරයක් ඉතිහාසයේ සිට ගොඩනැගී ඇත. එය සංස්කෘතික ලක්ෂණයකි.  ඕනෑම සංස්කෘතියකට ඉතිහාසයක් ඇත. එය වසර සිය දහස් ගණනක් හෝ දින කීපයක් විය හැක. ස්ත්‍රීවාදයට ද එසේ දිගු ඉතිහාසයක් ඇත. දහනව වැනි වන සියවසේ විධිමත්ව ස්ත්‍රීවාදය (feminism) ආරම්භය වුව ද, ඊට පෙර ආගමික සංස්ථා බලවත් වූ අවධියේ පවා ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය පිළිබඳව සාකච්ඡා කර තිබේ. ස්ත්‍රීවාදයේ වර්ධනයට බෙහෙවින් උපකාර වූ අධ්‍යනයක් ලෙස මාග්‍රට් මිඩ්කේ (1935) විසින් “Sex and Temperament in Three Primitive Societies” කෘතියේ ප්‍රාථමික සමාජ ගැන අවධානය යොමු කොට “චම්බුලි” ගෝත්‍රයේ ස්ත්‍රී ආධිපත්‍යය ගැටුමකින් තොරව පැවති බව අවධාරණය කර ඇත. එයින් වඩාත් අවධාරණය කරන ලද්දේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය ඉබේ හටගත්තක් නොව සමාජ ආර්ථික, දේශපාලන සාධක විසින් නිර්මාණය කරන ලද්දක්’ය යන පිළිගැනීම ඒත්තු ගැන්වීම සහ මේ සඳහා අධ්‍යනකරුවන්ගේ අවධානය යොමු කරවීමය. මතුපිටින් බැලූ කල ස්ත්‍රීවාදයේ හරය ස්ත්‍රීන්ට වෙනස් කොට සැලකීම නිසා ඇති වූවක් බව සිතිය හැකිය. එහෙත් එයටම වූ අනන්‍ය ලක්ෂණ ද ඇත. 

ස්ත්‍රීවාදය තුළ බෙදීම්ද පවතී. වඩාත් සංස්කෘතික ආරකින් කියන්නේ නම් විවිධ උපසංස්කෘතීන් (subcultures) ඇත. එසේම අධිපති (dominant) ස්ථරය විසින් මුදාහළ දෑ එයින් එකිනෙකට සමාපාතව  පිළිගන්නා මෙන් ම ප්‍රතික්ෂේප කරන අවස්ථා ද ඇත. සංස්කෘතියක් තවත් සංස්කෘතියකින් ආභාසය  ලබන්නා සේ ම ස්ත්‍රීවාදය ද විවිධ දෘෂ්ටිවාදීන්ගේ ආභාසය ලබයි. එසේම මෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ එහි පදනම නූතන ස්ත්‍රීවාදි ව්‍යාපාරය තුළ රාශිගත වී තිබීමයි. මෙකී ලක්ෂණ වඩාත් සංස්කෘතික වන අතර ඇතැම් සංස්කෘතින් තුළ ආරම්භක ලක්ෂණ නොනැසී පවත්වා ගෙන යනු ලබයි. 

මීළඟට ස්ත්‍රීවාදය තුළ ඇති අනුස්ත්‍රීවාදි ප්‍රවාහ ගැන විමසා බලමු. ලිබරල් ස්ත්‍රීවාදය, මාක්ස්වාදී ස්ත්‍රීවාදය, රැඩිකල් ස්ත්‍රීවාදය, සමාජවාදී ස්ත්‍රීවාදය, පශ්චාත් නූතනවාදි ස්ත්‍රීවාදය, පාරිසරික ස්ත්‍රීවාදය, අරාජික ස්ත්‍රීවාදය, සංස්කෘතික ස්ත්‍රීවාදය යනාදිය ස්ත්‍රීවාදයේ එකී අනුස්ත්‍රීවාදි ප්‍රවාහ ලෙස හඳුනාගත හැකිය. ලිබරල්වාදි ස්ත්‍රීවාදය තුළින් පුරුෂයින්ට සේම දේශපාලන, ස⁣මාජ-ආර්ථික, හා අනෙකුත් අයිතීන් ධනයට ඇති හිමිකම් සහ විමුක්තිය උදෙසා කටයුතු කිරීමේ නිදහස, සමානාත්මතාවය පිළිගැනීමට ලක්විණි. ජොර්ජ් ස්ටුවඩ් මිල් ගේ බිරිඳ වන හැරියට් ටේලර් (enfranchisement of women-1853) විසින් විවාහයෙන් පසුත් ස්ත්‍රියට රැකියා කිරීමේ අයිතිය ගැන අවධාරණය කරන ලදි. මෙහි පීතෘ මුලිකත්වය ගැන තීව්‍ර විවේචනයක් නොකරන අතර සමාජ ධනය හිමි ස්ථරය ගැන පමණක් අවධානය යොමු කරන බවට විවේචන  නැගේ.  

ෆෙඩ්‍රික්ස් එන්ගල්ස් විසින් කාල් මාස්ක්ගේ අදහස තහවුරු කරමින් “The Origin of the Family Private Property and State” (1884) යන කෘතිය තුළින් ස්ත්‍රි පීඩනය ඉතිහාසය පුරාම පැවති දෙයක් නොව එය පෞද්ගලික දේපල ක්‍රමය හා පංති ක්‍රමයේ වර්ධනයත් සමග ඇති වූවක් බවත්, එය ධනවාදයේ විනාශය සමග ස්ත්‍රිය සූරාකැම සහ පීඩනය නැති වන බව පෙන්වයි. මෙය මාක්ස්වාදීන් ස්ත්‍රිවාදය දකින ආකාරයත් මාක්ස්වාදී විප්ලවීය ගුණය ස්ත්‍රීවාදය වඩාත් රැඩිකල් කල බවත් කිය වේ.  

රැඩිකල් ස්ත්‍රීවාදය තුළින් ලිබරල්වාදී හා මාක්ස්වාදි, සමාජවාදි ස්ත්‍රීවාදය විසින් දැක් වූ ස්ත්‍රිය පිළිබඳ දැක්මට වඩා වඩාත් පුළුල් අවධානයක් ගෙන එන ලදී. එනම් පීතෘ මුලික සමාජය විසින් ජීව විද්‍යාත්මකව ඇති වෙනසට වඩා වැඩි යමක් ඇති කරන ලද බව පෙන්වා දේ. අනතුරුව එමඟින් ස්ත්‍රී-පුරුෂ සමාජභාවය ගොඩ නඟා සමස්ත සම්බන්ධතා එයින් විස්තර කෙරෙන බවත් එතැන් පටන් ස්ත්‍රීය මත පීඩනය හා අප්‍රධානත්වය ආරම්භ කළ බවත් කියැවේ. මේ මතවාදය අනුව පිතෘමුලික සමාජය මිස, ආර්ථික, සමාජ හා දේශපාලන අසමානතාව විසින් ස්ත්‍රිය පීඩනයට පත් නොකරන බව පැවසේ. පීතෘ මුලිකයේ ඇති තරගය, බලය, ආධිපත්‍ය විසින් ස්ත්‍රිය පීඩනයට හා ප්‍රධානත්වයට පත් කරන බව පෙන්වා දෙයි. මේ අනුව විමසා බලද්දී සමහර සංස්කෘතීන් තුළ පවා අගතිගාමී ස්ථාවර ඉතාමත් තීරණාත්මක ලෙස සමාජ බලයක් හිමිකර ගනී. උදාහරණ ලෙස සමාජයේ ඇති  කුල සාධකය බුදු දහමේ මුල් ආගමික හරයන් පවා අභියෝගයට ලක් කිරීම පෙන්වා දිය හැකිය. මේරි ඩේලි (1978) ස්ත්‍රිභාවය පුරුෂභාවය වඩා අගය කරන බවත්,  ප්‍රජනක කාර්ය තුළ ඇය විශේෂ තැනක් බවත්, පුරුෂාධිපත්‍ය තුළ ඊර්ෂ්‍යාව  විසින් එම ප්‍රජනක කාර්යය පාලනය කරන බවත්, ස්ත්‍රී දුෂණ, ලිංගික අතවර වන්නේ එම ඊර්ෂ්‍යාව නිසා බවත් පෙන්වා දෙයි.   

සංස්කෘතික සාපේක්ෂතාවට අනුව, තමාගේ අගයන් මත අනෙක් සංස්කෘති විනිශ්චය කිරීමට නොහැකි අතර එමගින් එළඹෙන නිගමන සඳහා බලපෑම් කරන්නේ එකී සංස්කෘතික අගය ගැන නිසි දැනීම නොව පූර්වග්‍රහණය කරන දෑ වේ. එමගින් අනෙක් සංස්කෘතිවලට අසාධාරණයක් වේ. පශ්චාත් නූතන ස්ත්‍රීවාදී ප්‍රවේශයේදී යමක් පිළිබඳව සුපරික්ෂාකාරී විය යුතු බව මිෂෙල් ෆූකෝ (1980) පෙන්වා දෙයි. එනම් බලය රාජ්‍යහි ස්ථාපිත වී තිබෙනවාට වඩා සමාජයහි පැතිර පවතින්නකි. එනයින් බලය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට නම් ඒ සම්බන්ධයෙන්  පුළුල් විස්තරාත්මක පර්යේෂණයක් කළ යුතු අතර දැනුම සහ බලයහි සබඳතාවය පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ. එනම් බලය නිසා පීඩාවට පත්වන ස්ත්‍රිය ගැන අවබෝධයක් ගැනීමටත්, ස්ත්‍රිය බලය හසුරවන ආකාර වැනි බහුවිධ තත්වයන් හදුනා ගැනීමත් ක යුතුය. ඒ සදහා ෆූකෝ යෝජනා කරන තියුණු විමර්ශනය වැදගත් වේ. 

එසේම පශ්චාත් නූතන ස්ත්‍රීවාදයට ජූඩිත් බට්ලර් ⁣ගෙන එන විරුද්ධාභාස ආකල්පය විසින් ෆූකෝ අදහස වඩාත් විමර්ශනය කරයි. මිෂෙල් ෆූකෝ පවසන, කිසියම් බලයක් හිමි නීති පද්ධතියක් මගින්, ඒවා විසින් යටත් කරගනු ලබන ආත්මයන් නිපදවනු ලබයි’’. නීතියට යටත් වන ආත්මයන් යනු ඒ නීතියට පෙර පැවති ඒවා නොව  ඒ නීතිය විසින් නිර්මාණය කරනු ලබන දෙයකි. බොහෝ රටවල අපරාධ නීතියද එවැන්නකි. එයින් වැරදිකරුවන්’ යනු මෙකි නීති පද්ධතියේ නිෂ්පාදනයන්ය.  

තවද පශ්චාත් නූතන ස්ත්‍රීවාදය තුළ ‘වෙනස’ සාධකය පිළිගනී. ආසියාවේ හෝ අප්‍රිකාවේ ස්ත්‍රිය මුහුණ දෙන තත්ත්වය ඇමෙරිකානු හෝ යුරෝපා රටවල ස්ත්‍රිය මුහුණදෙන තත්වයට වඩා වෙනස් ය. ඉන්දියානු ස්ත්‍රීවාදිනියක් වන චන්ද්‍රා මොහෙන්ති (1988. සහ1991) පෙන්වා දෙන්නේ භුගෝලිය තත්ත්වය, සංස්කෘතිය, උගත්කම, දිළිඳුකම, ලිංගික නිදහස මත තත්ත්වය වෙනස් වන බවයි.  ආසියාව සහ අප්‍රිකානු ස්ත්‍රීවාදි ව්‍යාපාර  වාර්ගික හා සංස්කෘතික ව්‍යාප්තියක් කළ බවට බටහිර ස්ත්‍රීන් නගන චෝදනාව ඇය බටහිර  ස්ත්‍රීවාදී අධ්‍යන කීපයක් ඇසුරෙන් පෙන්වා දෙයි. එයට හේතුව වශයෙන් ඇය පෙන්වා දෙන්නේ විශ්වීයත්වයට වඩා සංස්කෘතිකව බිම් මට්ටමේ ඇති වෙනස්කම්  ප්‍රබල වීම බවයි.

සංස්කෘතිය දාර්ශනික ස්වරුපයකින් අධ්‍යයන කිරීමට ලැකානියානු ස්ත්‍රීවාදින් පෙළ⁣ඹේ. මනෝවිශ්ලේෂණය තුළ  ස්ත්‍රීවාදීන් පිළිබඳව අදහස් දක්වන ⁣සිග්මන් ප්‍රොයිඩ් දක්වන්නේ  සෑම දරුවකුම කුඩා අවධියේ පටන් ස්ත්‍රීභාවය හා පුරුෂභාවය මනස තුළ ස්ථාපිත කර ගැනීමට කටයුතු කරන බවත් පුරුෂයන් සංස්කෘතිය, පුරුෂාධිපත්‍ය හරහා බලය ස්ත්‍රිය වෙත මුදා හැර ආධිපත්‍යය පතුරවන බව කියයි. එයින් නිරායාසයෙන් ම ස්ත්‍රිය පීඩාවට පත් වේ. පිරිමි දරුවාගේ පලමු ආකර්ෂණය මව වන අතර වැඩෙත්ම සංස්කෘතික ආකර්ශනය මෙන් ම පියා අනුකරණයට ඇති කැමැත්ත විසින් පුරුෂාධිපත්‍ය පැතිරීමට හේතුවන බවත්, ගැහැනු දරුවන් මෙයට වෙනස් ආකාරයේ සමාජානුයෝජනය වීමක් නිසාත් මෙය සිදු වේ. ජැක් ලැකාන්ට අනුව දරුවෙකු පළමුව මවට වන ආකර්ෂණය නැති වන්නේ සංස්කෘතික බලපෑමෙනි. ස්ත්‍රීපුරුෂභාවය සංජානනය කරන්නේ සමාජ අවතීරණය සමගය. ඒ අනුව ගැහැනු, පිරිමි දරුවන් තම මානසිකත්වය හැඩ ගසා ගනී. සංස්කෘතියට දාර්ශනිකභාවයක් ආරෝපණය කරන ඔවුන් භාෂාව සංස්කෘතියක පදනම ලෙසින් හඳුනාගනියි. භාෂාව කියවීමට පෙර මිනිස් ජීවි මනස තුළ ස්ත්‍රීපුරුෂ මානසිතක්වයක් තිබිය නොහැකි බව මෙම මතවාදයෙන් කියැවේ.  එනම් මානව චර්යා ගැඹුරින් හැඩ ගැස්වීමේ දී සංස්කෘතිය  විශේෂ කාර්යයක් ඉටු කරන බව මෙයින් ගම්‍ය වේ.  මේ ආකාරයට ඉහත කී ස්ත්‍රීවාදය  තුළ පැවැති අනුවිභේදතා සමහරක් සැකවින් හදුනාගත හැකිය. (පාරිසරික ස්ත්‍රීවාදය, කළු ජාතික ස්ත්‍රීවාදය, පශ්චාත් ව්‍යුහවාදී ස්ත්‍රීවාදය වැනි තවත් දැ ඇත.)

මෙවැනි සැකවින් වූ කරුණු මත පදනම් ව සමස්ත ස්ත්‍රීවාදය සංස්කෘතියක් ලෙස හඳුනාගත හැකි ලක්ෂණ අඩංගුව පැවති බව හඳුනා ගත හැකිදැ’යි විමසිය යුතුය. අධිපති සංස්කෘතියක් ලෙස ස්ත්‍රීවාදය හඳුනා ගන්නේ නම් එහි උපසංස්කෘතීන් ලෙස ඉහත දැක් වූ ස්ත්‍රීවාදී අනුප්‍රවේශ  හඳුනාගත හැකිය.  ස්ත්‍රිය නම් සුවිශේෂි (particular object) කාරකයක් මෙයට වස්තු විෂය වේ. අනෙකුත් සංස්කෘතීන් හා බද්ධ වූ අගයන් හා මානව සම්බන්ධතා ජාලයක් ද මෙහි වේ. වඩාත් සුවිශේෂි වූ තත්ත්ව ද ඇත. අතීතයේ සිට වඩාත් තාර්කික පදනම් සහගතව සහ නවීකරණය වෙමින්  ගොඩ නැගු අදහස් පද්ධතියක් ඇත. එකී අර්ථයෙන් වඩාත් සංස්කෘතිකයැ’යි කිව හැකි සේම නූතන දේශපාලනය ”සංස්කෘතික වත්කමක්’ ය යන ආරෙන්ඩ් න්‍යාය අර්ථයෙන් දේශපාලනිකව අර්ථ දැක්විය හැකිය. 

සංස්කෘතිය අධ්‍යයනයේ දී වඩාත් වැදගත් කාරකයක් ලෙස හඳුනා ගනු ලබන සංස්කෘතික අගනාකම් එම සන්දර්භය තුළ දී සාපේක්ෂ වීම හඳුනාගත හැකිය. එනම් බොහෝ සංස්කෘති සහ උපසංස්කෘතික අගයන් තුළින් කාන්තා විමුක්ති පිළිබඳව විවාදාපන්න නිගමනවලට එළැඹේ.  සමහර සංස්කෘතීන් ඇය සුවිශේෂ වරප්‍රසාදලාභිනියක කරන අතර බොහෝ අප්‍රිකානු හා මැදපෙරදිග සංස්කෘතිය තුළින් ස්ත්‍රීය පටු කෝණයකට ලඝු කරයි. එහෙත් එකී සංස්කෘතික දෘෂ්ටියෙන් පෙනෙන මතුපිටින් පමණක් බැලුවද ඇය අප්‍රධාන වි නැති බව මොහෙන්ති වැනි අයගේ තර්කයයි. එයට හේතුව කාන්තාව යන ක්ෂේත්‍රය ගෝලීයව (universal) ගෙන ස්ථානගත කර ගැනීමට දුශ්කර ස්ත්‍රීපුරුෂභාව පිළිබඳ ගැටලු (gender(s)) පැවතීමයි. 

“මනුෂ්‍ය” යන ගෝලීයත්වය තුළින් නිර්මිතය මනුෂ්‍ය වර්ගයාට පොදුය. එහෙත් ස්ත්‍රීවාදය ගෝලීය වශයෙන් ස්ත්‍රීය යන හැඟවුම්කාරකය මිස, භාවිතයේ දී එකිනෙකට වෙනස් මානයන් ගනී. ස්ත්‍රී විමුක්තිය පිළිබඳ ලිබරල්වාදී ස්ථාවරය දක්වන සහයෝගය හා සමානාත්මතාවය වෙනුවට පුරුෂභාවය (අව)ප්‍රමාණය කරමින් විශේෂිතත්වයක් රැඩිකල්වාදීන් විසින් ගෙනෙයි. එහෙත් බටහිර ස්ත්‍රීවාදී ආකල්පහි තීව්‍රතාවය ධනය බෙදීයාමේ ස්වභාවය අනුව උච්ඡාවචනය වේ. යුරෝපීය මධ්‍යම පාන්තික ස්ත්‍රියගේ අත්දැකීම අප්‍රිකානු කළු ජාතික ස්ත්‍රියගේ අත්දැකීමෙන් වෙනස් විය හැකිය. එසේ හෙයින් ස්ත්‍රීයගේ විමුක්තිය, පීඩනය හා අත්දැකීම් විමර්ශනය කළ යුත්තේ එකී විවිධ සාධක සැලකිල්ලට ගනිමිනි. පීතෘමුලිකත්වයට හෝ ධනවාදයේ ස්ත්‍රී පීඩනයට එරෙහිව සියලුම ස්ත්‍රීන් ‘එක් අරගලයක් කරනවාට වඩා’ ඒ පසුබිමට මුල් වූ හේතු සාධකවලට අරගලයක් කිරීම වඩා ඵලදායී වේ. මන්ද සන්නිවේදනයක් නොවන ගෝලීය අරගලයකට වඩා එකී සංස්කෘතික සන්දර්භය මත කරන අරගලය විසින් වඩාත් ප්‍රතිඵලදායී අනාගතයකට උරුමකම් කිව හැකිය. සංස්කෘතික සාපේක්ෂතාවාදයට අනුව ස්ත්‍රීවාදයේ වඩාත් යහපැවැත්ම රැදී ඇත්තේ අදාළ සංස්කෘතික සන්දර්භය වටහා ගෙන ප්‍රතිචාර දැක්වීම මතය.

දැනුම් පද්ධතියක් වඩාත් බලපෑම් සහගත වන්නේ එය සංස්කෘතික ව්‍යාප්තිය කෙරෙහි කොතරම් සංවේදී වනවාද යන්න මතයි.  යහපත් හෝ අයහපත් දැනුමක් සංස්කෘතියට ගැඹුරින් කා වැදී ඇත්නම් එකී විඥානය  ඉවත් කිරීම ලේසි කටයුත්තක් නොවේ. යටත්විජිත අගයන්  යටත්විජිත නොවන අගයන් ලෙස එකී යටත්විජිත රාජ්‍යවල සංස්කෘතියට කා වැදී ඇත.

මෙමගින් අපට යෝජනා කරන්නේ ස්ත්‍රීවාදය තුළ ඉදිරියටත් ව්‍යාප්තියට පැවතිය යුතු ගුණාංගයන් සංස්කෘතිකව ස්පර්ශ කළ යුතුය යන්නයි.  ඉහත කී ලක්ෂණ (ත්) සමග   වඩාත් සංස්කෘතික වන්නේ නම්  ස්ත්‍රීවාදය වඩාත් ව්‍යාප්තවාදී හා බලපෑම් සහගත වේ. එසේම ලෝකයේ පවතින අර්බුද ප්‍රතිනිර්වචනය කොට මෙකී සංස්කෘතික දැක්ම අනුව ඒවා විශ්ලේෂණය වඩාත් ඵලදායී වේ. එනිසා මෙම වැඩසටහන ඔස්සේ එවන් දේශීය අර්බුද පිළිබඳව ස්ත්‍රීවාදී විශ්ලේෂණයක් සිදුවනු ඇත.

සටහන – සම්පත් රන්දුන්න.

The views expressed on this blog post are those of the author and do not reflect the official position of Hashtag Generation

Share this post

Share on facebook
Share on twitter
Share on linkedin

Related Projects

Towards A Feminist Future

How can we use the school education system to implant feminist values in kids?

How can we use the school education system to implant feminist values in kids? Recently, I facilitated an online workshop …

Towards A Feminist Future

තරුණියන් දේශපාලනයට යොමු විය යුත්තේ ඇයි?

තරුණියන් දේශපාලනයට යොමු විය යුත්තේ ඇයි? කාන්තාව හා දේශපාලනය යනු ලෝකය පුරා බොහෝ රටවල සමාජ සන්දර්භවල විවිධ මතිමතාන්තර දරන, සහ …

Fact Check

அமெரிக்க பல்வகைத்தன்மை குடியேற்ற விசா லொத்தர் சீட்டு பற்றிய செய்தி பொய்யானது.

அமெரிக்க பல்வகைத்தன்மை குடியேற்ற விசா லொத்தர்  சீட்டு பற்றிய செய்தி பொய்யானது. ஐக்கிய அமெரிக்க குடியரசின் பல்வகைமை குடியேற்ற வீசாக்களை பெற்றுக்கொள்ளுதல் பற்றி அன்மையில் Facebook, WhatsApp …

Towards A Feminist Future

Humans with a “PRICE TAG”

Humans with a “PRICE TAG” (This article is based on a true story but names have been changed to protect …

Towards A Feminist Future

“කාන්තාවක් විකිණීමට තිබේ”: වෙළද දැන්වීම් හා මාධ්‍ය තුළ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ඒකාකෘති

“කාන්තාවක් විකිණීමට තිබේ”: වෙළද දැන්වීම් හා මාධ්‍ය තුළ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ඒකාකෘති ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය ඒකාකෘතී (gender stereotypes) යනු, …

Fact Check

“சந்தேக நபர்களின் பெயர்ப்பட்டியல்கள் எதுவும் பகிரங்கப்படுத்தப்படவில்லை”

கடந்த ஒரு சில நாட்களுக்கு முன் 15 வயது சிறுமியொருவரை பாலியல் பலாத்காரம் செய்த சம்பவம் நாடு முழுவதும் பெரும் பரபரப்பை ஏற்படுத்தியது. அதனிடையே குறித்த சம்பவத்துடன் …