FACT CHECK : ගැම්බියාවේ දරුවන් 66කට මරු කැඳ වීමට හේතු වුණා යැයි කියන ළමා සිරප් ලංකාවටත් ආවද ?

“ගැම්බියාවේ දරුවන් 66කට මරු කැඳ වූ ළමා සිරප් ලංකාව ඇතුළු රටවල් 42කට යවලා” යන සිරස්තලය යටතේ දිවයින පුවත්පත ඔක්තෝබර් මස 11 වැනිදා ප්‍රවෘත්තියක් පළ කර තිබිණි. 

දිවයින පුවත්පතේ අදාළ ප්‍රවෘත්තිය දැක්වෙන තිර ඡායාරූපයක් (screenshot) පහතින් දැක් වේ. මෙතැනින්.

දිවයින පුවත්පතේ නිල වෙබ් අඩවියේ ද ඔක්තෝම්බර් 18 වන දින මේ සම්බන්ධයෙන් වෙබ් සටහනක් දක්වා තිබිණි. මෙතැනින්. 

දෙරණ සහ ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකා ඔවුන්ගේ උදෑසන පුවත්පත් වැඩසටහන්වලදී ද මෙම ප්‍රවෘත්තිය කියවා තිබිණි. එම පුවත්වලට අදාළ වීඩියෝ එම නාලිකා මඟින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබූ අතර එහිදී ඔවුන් එම වීඩියෝවලට යොදාගෙන තිබූ ශීර්ෂපාඨ දැක්වෙන ආකාරයේ තිර ඡායාරූප(Screenshot) කිහිපයක් පහතින් දක්වා ඇත. 

එමෙන් ම මේ දිනවල ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධයෙන් දැඩි සංවාදයක් ගොඩ නැගී ඇති බව අපට නිරීක්ෂණය වූ අතර එලෙස හුවමාරු වූ ෆේස්බුක් සටහන් (Facebook Posts) කිහිපයක තිර ඡායාරූප(Screenshots) කිහිපයක් පහතින් දක්වා ඇත.

මේ සම්බන්ධයෙන් හෑෂ්ටැග් පරපුර කළ සොයා බැලීමේදී මෙම සිරස්තලය මහජනතාව නොමඟ යැවෙන ආකාරයේ එකක් බව හඳුනා ගැනිණි. ඒ අනුව හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසා බැලීය. 

ගැම්බියාවේ ළමුන් 66 දෙනෙකු මිය යෑමට කැස්ස සිරප් හතරක් හේතු වන්නට ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඔක්තෝබර් 11 වැනිදා සඳහන් කළේ ය. මෙතැනින්. 

එම කැස්ස සිරප් හතර පහතින් දැක්වේ. 

  1. Promethazine Oral Solution
  2. Kofexmalin Baby Cough Syrup
  3. Makoff Baby Cough Syrup
  4. Magrip N Cold Syrup

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් සැප්තැම්බර් මාසයේ දී අනතුරු ඇඟවීමක් කර තිබෙන අතර අදාළ ඖෂධ (කැස්ස සිරප්) යනාදිය නියමිත ප්‍රමිති සහ ගුණාත්මක තත්ත්ව සපුරන්නේ නැතැයි ද වාර්තා කර ඇත. මෙතැනින් 

ඉන්දියානු ඖෂධ සමාගමක් වන Maiden Pharmaceuticals මේවා යේ නිෂ්පාදකයා බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්විණි. 

එම සමාගම මෙම නිෂ්පාදනවල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත සහතික ලබා දී නොමැති බව ද එහි දැක්විණි. (2022 ඔක්තෝබර් 5 වැනිදා තෙක්)  මෙතැනින් 

මෙම නිෂ්පාදන හතර ගැම්බියාවේ දී හඳුනාගෙන ඇති නමුත්, “අවිධිමත් වෙළඳපළ හරහා, වෙනත් රටවලට හෝ කලාපවලට ද මේවා බෙදා හැර තිබිය හැක” යනුවෙන් තවදුරටත් මෙම අනතුරු ඇඟවීමේ දක්වා ඇත.

කෙසේ වෙතත් ගැම්බියා හැරුණු විට මෙම අහිතකර සිරප් බෙදාහැර ඇති අනෙකුත් රටවල් හෝ කලාප මොනවද යන්න පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් කිසිදු වාර්තාවක් ඉදිරිපත් කර නොමැත. 

බී.බී.සී. පුවත් සේවය මේ සම්බන්ධයෙන් “ළමා මරණවලට හේතුවූ ඉන්දියානු කැස්ස සිරප් ගැන WHO වෙතින් අනතුරු ඇඟවීමක්” යනුවෙන් ප්‍රවෘත්තියක් පළ කර තිබිණි. මෙතැනින් 

ප්‍රංශ පුවත් ඒජන්සියේ ප්‍රවෘත්තියක් උපුටා දක්වමින් බී.බී.සී. ප්‍රවෘත්තියේ එක් තැනක මෙසේ සඳහන් වෙයි. 

“එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය නියෝජිතායතනයේ විද්‍යුත් තැපෑලක් උපුටා දක්වමින් AFP පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, නිෂ්පාදකයා විසින් දූෂිත ඖෂධ ලබා දී ඇත්තේ ගැම්බියාවට පමණක් වන බව ඉන්දියාවේ මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන සංවිධානය පෙන්වා දී ඇති බව යි”

මේ සම්බන්ධයෙන් විදෙස් පුවත් සේවා කිහිපයක් ම ප්‍රවෘත්ති පළ කර තිබිණි. මෙතැනින්, මෙතැනින්, මෙතැනින්,මෙතැනින්, මෙතැනින්, මෙතැනින්.

Maiden Pharmaceuticals නමැති ඉන්දියානු සමාගම ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් 42කට ඔවුන්ගේ නිෂ්පාදන බෙදා හරින බව එම සමාගමේ නිල වෙබ් අඩවියේ දක්වා ඇත. මෙතැනින්. 

එදින පුවත්පත ම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා උපුටා දක්වමින් අදාළ සිරප් වර්ග ශ්‍රී ලංකාවට ගෙන්වා නැතැයි වාර්තා කර ඇත. එහි තිර ඡායාරූප (Screenshots) පහතින් දැක් වේ.  මෙතැනින් 

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.  ඔහු පළ කළ අදහස් පහතින් දැක් වේ.  මෙතැනින්.

“ආන්දෝලාත්මක ප්‍රකාශයක් යනවා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ අනෙකුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ වලින්, ඉන්දියාවේ නිෂ්පාදිත පිටරටක නිෂ්පාදිත ඖෂධයක් විශේෂයෙන් ම පොඩි ළමයි පාවිච්චි කරන ඖෂධයක් පාවිච්චි කිරීමෙන් ළමයි 69ක් ජිවිතක්ෂයට පත්වෙලා තියෙනවා කියලා. ඒක මං හිතන්නේ ස්ථාවර කරලා නෑ. නමුත් මේ වෙනකොට සැක මතු වෙලා තිබෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව අපිට එය දැනුම් දුන් වහාම අපේ අපි ලංකාවේ බෙදාහැරී සහ පාවිච්චිය තුළ අපි ඉතාමත් පරිස්සම් වෙනවා මේ ප්‍රශ්න නිසා. ඒ සම්බන්ධව විශේෂ පරීක්ෂාවක් ක්ෂණිකව අපට කරන්න සිද්ධ වුණා. අපේ ආයතන සියල්ල විශේෂයෙන් ම ඖෂධ නියාමන කොමිසම ආයතනය ඒ වගේම SPC එකේ එහෙම නැත්නම් බෙදාහැරීමේ ජාලය සහ MSG එක කියන්නේ  ඖෂධ වෛද්‍ය සැපයුම් අංශය මේ සියලු අංශවලට දන්වලා මේ සම්බන්ධව පරීක්ෂණයක් ක්ෂණිකව කෙරුණ අතර අපට ලබාගත්තු ප්‍රතිඵලය තමයි ලංකාවේ එවැනි බෙහෙතක් ගෙනැල්ලත් නෑ, එහෙම ගේන්න බලාපොරොත්තුවකුත් නෑ. එහෙම ආයතනයක් ඒ ආයතනයේ නම කීම සුදුසු නෑ කියලා මම හිතනවා මේ මොහොතේ, කොහොමවුණත් එය ඉන්දියාවේ ලංකාවේ එහෙම ඒජන්තවරයෙක් එහෙම නැතිනම් අපි කියනවා corresponded කෙනෙක් එහෙම නැත්නම් සම්බන්ධ වන නියෝජිතයෙක් නැහැ. එහෙම තිබ්බත් අපි මේ වෙනකොට ඒ අවශ්‍ය අංශ සියල්ලට දැනුම්දීලා තියෙනවා එවැනි අවස්ථාවක් තිබ්බොත් එය භාරනොගන්නටත් ඒ වගේම අපේ ඖෂධ නියාමක අංශයට කියලා තියෙනවා ඒ සමබන්ධව දැඩි අවදානයෙන් සිටින්නට සහ අපේ විශ්වාසයක් තියෙනවා දැනටත් ඒ එන සෑම දෙයක්ම ඖෂධ නියාමන අංශයෙන් පරීක්ෂා කරලා සුදුසු නම් පමණයි දෙන්නේ නමුත් නැවත වරක් ඒ සම්බන්ධයෙන් අවධාරණය යොමු කරන්න යැයි කියලා, මොකද මේ ප්‍රමාණය දැනට ගිහිල්ලා තියෙන්නේ අප්‍රිකානු රටකට. එහෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ ඒ සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය තමයි මේ සැකය මතු කරලා මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙමින් පවතිනවා කියලා කියන්නේ. අපි ලංකාවේ සම්පුර්ණයෙන්ම ඖෂධවල වගකීම අපේ අමාත්‍යංශය සතු නිසා අපේ වගකීමක් තමයි අපි මේ වෙනකොට ඒ කටයුත්ත කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කියන ප්‍රශ්නය ලංකාවේ ඖෂධ ක්ෂේත්‍රයට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන්නේ නෑ.”

මේ සම්බන්ධයෙන් හෑෂ්ටැග් පරපුර  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ මහතාගෙන් විමසීමක් කළේ ය. 

කිසිදු අවස්ථාවකදී මෙම ඖෂධය ශ්‍රී ලංකාවට ගෙන්වා නොමැති බවත් මෑතකාලයේ දී ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ ආධාර තොගවලද මෙම ඖෂධය (කැස්ස සිරප්) නොතිබූ බවත් හෙතෙම කීය.  

රජයෙන් හෝ පෞද්ගලිකව ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීමේදී, ජාතික ඖෂධ නියාමන අධිකාරිය The National Medicines Regulatory Authority (NMRA) හරහා එම ඖෂධය ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. 

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන්  සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත ගුණසේකර මහතාගෙන් විමසීමක් කළේය.

 “මෙම සිරප් වර්ග හතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කරලා නෑ. ඒ නිසා රජයෙන් හෝ පෞද්ගලිකව මෙය ලංකාවට ආනයනය කිරීමේ හැකියාවක් නෑ.  එහෙත් නීතිවිරෝධී ආකාරයෙන් ලංකාවට බෙහෙත් ගෙන්වන පුද්ගලයන් හෝ ආයතන නීති විරෝධීව මෙම බෙහෙත් ලංකාවට ගෙන්වීමේ හැකියාවක් තියෙනවා.  විශේෂයෙන් ම විදෙස් රටකින් ශ්‍රී ලංකාවට පැමිණෙන විට කිසිම වෛද්‍ය අනුමැතියකින් තොරව එම බෙහෙත් විදෙස් රටවලින් ගෙන්වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ ඖෂධය මෙරට තුළ තිබීමේ ඉඩක් පවතිනවා.”

මෙම කරුණු සැලකිල්ලට ලක් කරමින් හෑෂ්ටැග් පරපුර,  අවසන් වසර දෙකක කාලයේ දී ශ්‍රී ලංකාවට ගෙන් වූ සහ එම කාලයේ දී ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කරන ලද ඖෂධ මොනවාදැයි විමසමින් උක්ත ආයතන වෙත තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා අයඳුම් පත්‍ර යොමු කරන ලදි. 

නිගමනය : ගැම්බියාවේ ළමුන් 66 දෙනාගේ මරණවලට ඉන්දියානු සමාගමක් වන Maiden Pharmaceuticals   නිෂ්පාදනය කර ඇති කැස්ස සිරප් හතරක් හේතුව විය හැකි බවත් අවිධිමත් වෙළඳපළ හරහා, ගැම්බියාව හැරුණු විට වෙනත් රටවලට හෝ කලාපවලට ද මේවා බෙදා හැර තිබිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් පසුගිය දා නිකුත් කර ඇති ගෝලීය අනතුරු ඇඟවීමේ සඳහන් වෙයි.

Maiden Pharmaceuticals නමැති ඉන්දියානු සමාගමේ නිල වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකා ඇතුළු ලෝකයේ රටවල් 42කට ඔවුන්ගේ නිෂ්පාදන බෙදා හරී.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යවරයා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂක වරයාට අනුව ශ්‍රී ලංකාවට මෙම සිරප් වර්ග 4  නීත්‍යානුකූල ආකාරයෙන් ගෙන්වා නොමැත.

කෙසේ වෙතත් නීතිවිරෝධී ව හෝ වෛද්‍ය අනුමැතියකින් තොරව ගෙන්වන ලද ඖෂධ ර‌ට තුළ තිබිය හැකි යැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා පවසයි. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.

Share this post

Related Projects

Fact Check

FACT CHECK : Fake TikTok accounts in the name of an upcoming Actress

Among social media platforms such as Facebook and YouTube, TikTok has been socialized as one of the most famous social …

Fact Check

FACT CHECK : නවක නිළියගේ නමින් ව්‍යාජ ටික්ටොක් ගිණුම්

ෆේස්බුක් (Facebook), යූටියුබ් (YouTube), වැනි සමාජ මාධ්‍ය අතර මේ වන විට සමාජයේ වඩාත් ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලයක් ලෙස    ටික්ටොක්(TikTok) …

Fact Check

FACT CHECK : වට්ස්ඇප් ඔස්සේ ඔස්ට්‍රේලියාවේ රැකියාවට අයදුම් කරන්න, ඔබත් ලින්ක් එක ක්ලික් කළා ද ?

ඔස්ට්‍රේලියානු රජය එරට රැකියා හිඟය පිරවීම සඳහා ජාතික සහ ජාත්‍යන්තර අයදුම්කරුවන් සොයමින් සිටින බව සඳහන් කරමින් ‘ඔස්ට්‍රේලියාවේ රැකියා සඳහා අයදුම් …

Fact Check

FACT CHECK : ගැම්බියාවේ දරුවන් 66කට මරු කැඳ වීමට හේතු වුණා යැයි කියන ළමා සිරප් ලංකාවටත් ආවද ?

“ගැම්බියාවේ දරුවන් 66කට මරු කැඳ වූ ළමා සිරප් ලංකාව ඇතුළු රටවල් 42කට යවලා” යන සිරස්තලය යටතේ දිවයින පුවත්පත ඔක්තෝබර් මස …

Fact Check

FACT CHECK : Is singer Shihan Mihiranga raising money for children diagnosed with cancer through a YouTube channel?

A Facebook post circulating on social media was observed stating that singer Shihan Mihiranga has helped a child diagnosed with …

Fact Check

FACT CHECK: சிங்கள பாடகர் ஷிஹான் மிஹிரங்க புற்றுநோயால் பாதிக்கப்பட்ட சிறுவர்களுக்காக யூடியூப் சேனல் ஒன்றின் மூலம் பணம் திரட்டுகின்றாரா?

இசை நிகழ்ச்சி ஒன்றின் போது சிறுகுழந்தை ஒருவரின் உயிரை காப்பாற்றுவதற்காக தான் பணம் திரட்டியதாகவும், அதனால் குறித்த குழந்தையின் உயிரை காப்பாற்ற முடிந்ததாகவும் அதேபோல் உள்ள ஏனைய …