රථ වාහන නලා නාද කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ බව කියන පණිවුඩයක් විශේෂයෙන් ම මැයි 1 සහ 2 දෙදින තුළ වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ හුවමාරු (Share) වන අයුරු නිරීක්ෂණය විය.
“රථ වාහන නලා නාද කිරීම සම්බන්ධවයි
අද දින සිට බලාත්මක වන පරිදි රජයට අයත් දෙපාර්තමේන්තු, සංස්ථා වලට අයත් වාහන වල මෙන් ම, ලං.ග.ම බස්රථ හා දුම්රියන් හි නලා නාද කිරීම සපුරා තහනම් බව දන්වා සිටිමී. එසේ ම බැසිල්,බැසිල් යනුවෙන් පිළිතුරු නාද කිරීම ද තහනම් බව දන්වා සිටීමට කැමැත්තෙමි.
ජේ.ජේ රත්නසිරි
ලේකම්
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය” යනුවෙන් එම පණිවුඩයේ සඳහන් විය.
අදාළ පණිවුඩය ඡායාරූපයක් ලෙස වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ හුවමාරු (Share) විය.
එම ඡායාරූපය සහ වට්ස්ඇප් (WhatsApp) පණිවුඩයක තිර ඡායාරූප (Screenshots) පහතින් දැක්වේ.
මෙය බැලූ බැල්මටම ව්‍යාජ පණිවුඩයකි.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නියෝග, නිවේදන, චක්‍රලේඛ නිකුත් කරන ආකෘතිය මෙය නොවන බව අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ලිපි ලේඛන නිරීක්ෂණය කිරීමෙන් තහවුරු කර ගත හැකි ය.
ඊට අමතරව මෙහි භාෂා භාවිතය, අදාළ ලිපියේ උඩ කොටස සහ යට කොටස අකුරු, කඩදාසියේ වර්ණය යනාදිය නොගැලපෙන අයුරු දළපීම යනාදිය ද නිරීක්ෂණය කළ හැකි ය.
ලිපියේ අන්තර්ගතය සහ ලිපියේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සන, නම තනතුර යනාදිය දැක්වෙන කොටසේ ඇති පැහැදිලි වෙනස නිරීක්ෂණය කළ හැකි ය.
ඊට අමතරව මෙහි ඇති අමාත්‍යාංශයේ නම වැරදි ය. අමාත්‍යාංශයේ වෙබ් අඩවියට, මෙතැනින්.
අප මේ සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන් විමසීම් කරන ලදී.
මෙම පණිවුඩය ව්‍යාජ පණිවුඩයක් බව අප විමසීම් කළ නිලධාරිහු තහවුරු කළහ.
අපි මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගෙන් ද විමසීමක් කළෙමු.
මෙය සම්පූර්ණ ව්‍යාජ පණිවුඩයක් බවත් මේ සම්බන්ධයෙන් අදාළ අංශවලට පැමිණිලි කළ බවත් ලේකම්වරයා පැවැසීය.
මෙය බැලූ බැල්මට ම ව්‍යාජ පණිවුඩයක් බව තහවුරු වන බව ද හෙතෙම කීය.
නිගමනය : රථ වාහන නලා නාද කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිවේදනයක්, නියෝගයක් හෝ චක්‍රලේඛයක් හෝ නිකුත් කර නොමැත.