FACT CHECK : රාජ්‍ය නිලධාරීන්, දේශපාලඥයන් විශ්වාස නැති නිසා ලෝක බැංකුව සෘජුවම දිළිදු සහන බෙදයි ද?

“නිලධාරීන් දේශපාලනඥයන් විශ්වාස නැති නිසා ලෝක බැංකුව සෘජුවම දිළිදු සහන බෙදයි” යන සිරස්තලය යටතේ සැත්තැම්බර් මස 04 වන දින ඉරිදා අරුණ පුවත්පතේ ප්‍රවෘත්තියක් පළ කර තිබිණි. එම ප්‍රවෘත්තිය ඉකුත් දින කිහිපයේ දී ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය තුළ ශීඝ්‍රයෙන් සංසරණය වන අයුරු නිරීක්ෂණය විය.  .

එලෙස ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන් (Post) කිහිපයක තිර ඡායාරූප (Screenshots) කිහිපයක් පහතින් දක්වා ඇත.

අරුණ පුවත්පතේ සැත්තැම්බර් 4 වැනිදා පළ වූ මෙම පුවත එදිනම දෙරණ රූපවාහිනී නාලිකාවේ දෙරණ අරුණ උදෑසන පුවත්පත් වැඩසටහන ඔස්සේ ද කියවනු ලැබිණි.  ඊට මෙතැනින් පිවිසෙන්න. 

සමෘද්ධි ලාභීන් ඇතුළුව රටේ ආදායම්ලාභී පවුල් සහ පුද්ගල ඒකක ලක්ෂ 43කට දුරකතන යෙදවුමක් (මෘදුකාංගයක් – Mobile Application) මඟින්   ලියාපදිංචි කර රුපියල් 5000 බැගින් මාසිකව ලබාදෙන නවතම සුබසාධන වැඩසටහනක් (පැකේජයක්) ආරම්භ කිරීමට රජය සූදානම් බවත් මෙතෙක් කලක් රාජ්‍ය නිලධාරීන් මගින් සුදුස්සන් තෝරා ගැනීම නිසා දේශපාලන බලපෑම් එල්ල වීම හේතුවෙන් ලෝක බැංකුව මහ බැංකුව සමග එක්ව සෘජුව ම දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයන් හා පවුල් තෝරාගැනීමට සැළසුම් කර තිබෙන බවත් එම ප්‍රවෘත්තියේ දැක්විණි. 

මෙම ප්‍රවෘත්තිය සත්‍යය ද යන වගත්, සාමාජික රටකට ආධාර ඇතුළු මූල්‍ය සහාය සැපයීමේ දී ලෝක බැංකුව  අනුගමනය කරන නිර්ණායක හෝ ක්‍රියාවලියක් ති‌බේද යන්න පිළිබදවත් එවැනි ආධාර සදහා වගවීමේ යාන්ත්‍රණයක් ලෝක බැංකුව සතු ව පවතී ද යන්න පිළිබඳවත් හෑෂ්ටැග් පරපුර විද්‍යුත් තැපෑල (ඊමේල් – Email) මාර්ගයෙන් විමසීමක් කළේ ය. ලෝක බැංකුව ඊට පිළිතුරු ඊමේල් පණිවුඩයක් යොමු කළ අතර එය පහතින් දැක් වේ.  

“ලෝක බැංකුව ක්‍රියාත්මක (වැඩසටහන්/ව්‍යාපෘති) කිරීමේ ආයතනයක් නොවේ. ලෝක බැංකුව මුදල් මාරු කිරීම් ඇතුළුව මෙතෙක් ක්‍රියාත්මක ව්‍යාපෘතියකට වෙන් කරන ලද මුදල් ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා යොදවන ලදි.   මුදල් අමාත්‍යංශය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, ආබාධ සහිත පුද්ගලයන් පිළිබද ජාතික ලේකම් කාර්යාලය සහ වැඩිහිටි ජාතික ලේකම් කාර්යාලයේ සහයෝගය ඇතිව මුදල් හුවමාරු (මුදල් ලබාදීමේ)  වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්,  සියලු ම හදිසි මුදල්  ලබන්නන්ගේ වාර්තා පවත්වාගෙන යනු ලැබේ.

මෙම සම්පත් දිළිඳුම සහ වඩාත් අවදානමට ලක්විය හැකි අය වෙත ළඟාවෙන බව (ලැබෙන බව) සහතික කිරීම සදහා ශක්තිමත් පාලනයක් සහ විශ්වසනීය අධීක්ෂණය ස්ථාපිත  කිරීම සදහා ලෝක බැංකුව අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කරන ආයතන සමඟ සමීපව කටයුතු කරයි. විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සදහා ලෝක බැංකුව සහාය දක්වන සියලුම මෙහෙයුම් සමීපව අධීක්ෂණය කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා අපගේ සහයෝගයේ බලපෑම උපරිම කිරීම සදහා අපි අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග සමීපව සම්බන්ධීකරණය කරන්නෙමු.”

එමෙන් ම ලෝක බැංකුවේ නිල වෙබ් අඩවිය හරහා සහන ලබා දීම්වලට අදාළ නිවැරැදි තොරතරු ලබාගත හැකි ය. මෙතැනින්,  

ලෝක බැංකුවේ හදිසි ප්‍රතිචාර යටතේ මේ වනවිට ශ්‍රී ලංකාව තුළ, ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ලබාදෙන අරමුදල් යනාදි ය පිළිබඳ විස්තර දක්වා ඇත. 

එමෙන්ම ලෝක බැංකුව  ලබාදෙන සම්පත් දුප්පත්ම සහ වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයන් වෙත ළගාවීම සහතික කිරීම සදහා ශක්තිමත් පාලනයක් සහ විශ්වසනීය අධීක්ෂණයක් ස්ථාපිත කිරීම සදහා ලෝක බැංකුව අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කරන ආයතන සමග සමීපව කටයුතු කරන බවත් ඒවා සමීපව නිරීක්ෂණය කරන බවත් ලෝක බැංකුව ඔවුන්ගේ වෙබ් අඩවියේ දක්වා ඇත.  හදිසි අවස්ථා යටතේ ඉහත සඳහන් කළ සියල්ල ලෝක බැංකුවේ  විශ්වසනීය සහ ආරක්ෂණ අවශ්‍යතාවලට අනුකූල වන බව ද ඔවුන්ගේ වෙබ් අඩවියේ වැඩිදුරටත් දක්වා ඇත. 

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශයේ මහේෂ් ඉන්ද්‍රලාල් මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු මෙසේ පැවැසීය. 

“ලෝක බැංකුව හරහා සෘජුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට කිසිදු මුදලක් ලැබෙන්නේ නෑ. අපට ලෝක බැංකුවෙන් මුදල් ආධාර ලැබෙන්නේ මහ බැංකුව හරහා . ඒ අනුව අපට මුලින් ලෝක බැංකුවෙන් ලැබුණු මුදල් මුල් මාස දෙකේ දී සමෘද්ධිලාභීන්ට සහ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ නම් සඳහන් පුද්ගලයන්ට රුපියල් 5000 බැගින් ලබා දුන්නා. සමෘද්ධි දෙපරේතමේන්තුවට අවසානයේ ලැබුණු මුදල් දෙවන අදියර වශයෙන් ඉදිරි මාස 3 දී ලබා දීමට තීරණය කර තිබෙනවා”. 

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය උමේෂ් මොරමුදලි මහතා මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි. 

එහි මෙසේ දැක්විණි.

“දුප්පත් පුද්ගලයන්ට හෝ අවදානම් තත්ත්වල සිටින පුද්ගලයන්ට ඍජුව මුදල් ලබාදීමේ කටයුතුවලට ලෝක බැංකුව මැදිහත් වෙන්නේ නෑ. ඔවුන් සෑමවිටම වැඩ කරන්නේ රජයේ මාර්ග තුළින්. කොහොම නමුත්, මුදල් හුවමාරු කිරීමේ කටයුතුවලදී යහපාලන පිළිවෙත් සහ විනිවිදභාවය පවත්වාගෙන යා යුතු යැයි ලෝක බැංකුව අවධාරණය කරනවා. ඒ කරුණු ණය ලබාගැනීමට අදාළ කොන්දේසි වෙන්නත් පුළුවන්. මේ සිරස්තලය සාවද්‍ය යි”.   

උමේෂ් මොරමුදලිගේ ට්විටර් පණිවුඩයට මෙතැනින්

එම ටිවිටර් සටහනේ (Twitter Post) තිර ඡායාරූපයක්(Screenshot) පහතින් දක්වා ඇත.

මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ආයතනවලින්  හෑෂ්ටැග් පරපුර  මේ සම්බන්ධයෙන් විමසීම් කළ ද සැප්තැම්බර් මස 12 වැනිදා වන තෙක් ඔවුන්ගෙන් මීට අදාළව කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි. 

නිගමනය – ලෝක බැංකුව  රාජ්‍ය මැදිහත් වීමකින් තොරව සෘජුව   සහන ලබා දීමේ තීරණයක් ගෙන නොමැති බව ඉහත කරුණු සැලකිල්ලට ගැනීමේදී තීරණය කළ හැකි ය. එහෙත්   ලබාදෙන සම්පත් (මූල්‍ය හෝ මූල්‍ය නොවන) දුප්පත් සහ අවදානම් තත්ත්වල පසුවන පුද්ගලයන්ට ළඟා වීම සහතික කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සහ අධීක්ෂණ ක්‍රියාවලියක් පවත්වාගෙන යෑම සඳහා අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ආයතන සමඟ  සමීප ව කටයුතු කරන බව ලෝක බැංකුව අවධාරණය කරයි. 

මෙම කරුණු හේතුවෙන් “ලෝක බැංකුව ඍජුවම දිළිඳු සහන බෙදයි”   යන සිරස්තලය යටතේ අරුණු පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තිය සහ ඊට අදාළව  සමාජ මාධ්‍යවල හුවමාරු වන සටහන් (Facebook Posts)  සාවද්‍ය යැයි නිගමනය කළ හැකි ය. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.  

Share this post

Related Projects

Fact Check

FACT CHECK : நியூசிலாந்து தனது மக்களை இலங்கைக்கு செல்ல வேண்டாம் என்று சொல்லுமா?

இலங்கைக்கு விஜயம் செய்வது தொடர்பில் அந்நாட்டு மக்களுக்கு குறிப்பாக சுற்றுலாப் பயணிகளுக்கு வழங்கப்பட்ட அறிவுறுத்தல்களை நியூசிலாந்து அரசாங்கம் புதுப்பித்துள்ளதை கடந்த சில நாட்களாக அவதானிக்க முடிந்தது. இலங்கைக்கு …

Fact Check

FACT CHECK : Did New Zealand tell its residents not to visit Sri Lanka?

During the past couple of days, it has been observed that posts are being circulated on social media platforms displaying …

Fact Check

FACT CHECK : නවසීලන්තය එරට වැසියන්ට ශ්‍රී ලංකාවට යන්න එපා කියයි ?

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් නවසීලන්ත රජය එරට වැසියන්ට, විශේෂයෙන්ම සංචාරකයන්ට ලබාදෙන උපදෙස් යාවත්කාලීන කර ඇතැයි කියැවෙන සටහන් සමාජ මාධ්‍ය තුළ …

Uncategorized

අන්තර්ජාලය වසා දැමීමක් (Internet Shutdown) යනු කුමක්ද?

(දකුණු සහ අග්නිදිග ආසියාතික සිවිල් සමාජයන් සඳහා මාර්ගෝපදේශයකි) URL: https://engagemedia.org/2022/internet-shutdowns-south-southeast-asia/  ඩිජිටල්කරණයට ලක් වී ඇති වත්මන් සමාජය තුළ, අන්තර්ජාලයට ප්‍රවේශ වීම …

Fact Check

FACT CHECK : විෂාදය කියන්නේ බොරුවක් ද?

විෂාදය සම්බන්ධයෙන් මෙලෙස අලුත් වටයකින් කතාබහක් ඇති වූයේ ඇන්ඩෘ ටේට් නැමැත්තා මීට පෙර අවස්ථා කිහිපයකදී විෂාදය සම්බන්ධයෙන් පළ කළ අදහස් …

Fact Check

FACT CHECK : උප්පැන්න සහතික වෙනුවට මරණ සහතික අයදුම්පත් නිකුත් කළා ද?

“උප්පැන්න සහතික අයදුම්පත් අවසන් වී ඇති බැවින් මරණ සහතික අයදුම්පතෙහි උප්පැන්න බව සඳහන් කොට අවශ්‍ය තොරතුරු පුරවන්න”  යනුවෙන් සඳහන් කළ …