FACT CHECK : ලෝක බැංකුවෙන් ලංකාවට ණය දීම අත්හිටුවලා ද?

ලෝක බැංකුව විසින් ණය දීම අත්හිටුවා ඇති හෙයින් මුදල් අච්චු ගැසීම හැර වෙනත් විකල්පයක් තමාට නැති බව අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බව හැඟවෙන ආකාරයේ සටහන් (Posts) කිහිපයක් ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍යවල සංසරණය වන අයුරු ඉකුත් දින කිහිපයේදී නිරීක්ෂණය විය. 

එලෙස සංසරණය වන සටහන් (Posts) කිහිපයක තිර ඡායාරූප (Screenshots) කිහිපයක් පහතින් දක්වා ඇත.

ඉකුත් දින කිහිපයේදී මේ ආකාරයේ අසත්‍ය ප්‍රකාශ විවිධ මාධ්‍ය හරහා වාර්තා වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයට මෙතැනින් පිවිසෙන්න.

ශ්‍රී ලංකාවේ ජනතාව ගැන සැලකිලිමත් වන අතර ආර්ථික ස්ථාවරත්වය සහ පුළුල් ව පදනම් වූ වර්ධනය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්ති පිළිබඳව උපදෙස් දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බව ලෝක බැංකුව නිකුත් කළ එම නිවේදනයේ දැක්විණි. 

ශ්‍රී ලංකාව සඳහා දැනටමත් අනුමත කර ඇති ව්‍යපෘතිවල සම්පත් යොදා ගනිමින්  අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා ගෙවීමට, දිළිඳු ජනතාවට, අවදානමට ලක් වූ පවුල්වලට, ගොවියන්ට සහ කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමට මෙන්ම අවදානමට ලක් වූ පවුල්වල පාසල් දරුවන්ට ආහාර සැපයීමට ලෝක බැංකුව කටයුතු කරන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග ශ්‍රී ලංකාව තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සුදුසු ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට ලෝක බැංකුව සහාය ලබා දෙන බවත් එහි තවදුරටත් සඳහන්ව ඇත. 

ඒ අනුව සමාජ මාධ්‍යවල දැක්වෙන ආකාරයට ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ණය දීම අත්හිටුවා ඇතැයි සඳහන් කර නොමැති අතර ලෝක බැංකුව ප්‍රකාශ කර ඇත්තේ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් නොකරන බව ය. 

ලෝක බැංකුව ණය දීම අත්හිටුවා ඇති බැවින් මුදල් අච්චු ගැසීම එකම විකල්පය වී ඇති බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් කර ඇති බව මීට අදාළව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන තවත් කරුණකි. 

එහෙත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දින කිහිපය තුළ කර ඇති ප්‍රකාශ බැලීමේ දී ඔහු එවැන්නක් කර නොමැති බව නිගමනය කළ හැකි ය. 

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මැයි මස 16 වැනිදා විශේෂ ප්‍රකාශයක් කළේ ය. 

ඔහු එහිදි මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය. 

රාජ්‍ය සේවකයන්ගේ මේ මාසයේ වැටුප් ගෙවීම සහ අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැය කිරීම සඳහා මුදල් මුද්‍රණය කිරීමට අවසර දීමට සිදු වන බව ඔහු එහිදී පැවැසීය. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයේ මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් ඇති කොටස පහතින් උපුටා දක්වා ඇත.

‍”මට දැඩි අකමැත්තෙන් වුවත් මේ මොහොතේ මුදල් මුද්‍රණය කිරීමට අවසර දෙන්න සිදුවෙනවා. ඒ රාජ්‍ය සේවකයන්ගේ මේ මාසයේ වැටුප් ගෙවීම සහ ඔබට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැය කිරීම සඳහායි. කොහොම වුනත් මුදල් මුද්‍රණය කිරීම නිසා  රුපියල අවප්‍රමාණය වන බව අප සිහි තබාගත යුතුයි. මේ වන විට පවතින තත්ත්වය හමුවේ තෙල් සංස්ථාවට සහ විදුලි බල මණ්ඩලයට රුපියල් සොයාගැනීමට ද හැකියාවක් නෑ.”

අග්‍රාමාත්‍යවරයාගේ සම්පූර්ණ ප්‍රකාශයට මෙතැනින්

මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් 7.53 වැනි මිනිත්තුවේ සිට. 

නිගමනය: ලෝක බැංකුව විසින් ලංකාවට ණය ලබා දීම අත්හිටුවා ඇතැයි පළ වන සටහන් (Post) මහජනතාව නොමඟ යවයි. 

ලෝක බැංකුව නිවේදනය කර ඇත්තේ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් නොකරන බවයි.

ලෝක බැංකුව ණය දීම අත්හිටුවා ඇති බැවින් මුදල් අච්චු ගැසීම එකම විකල්පය වී ඇති බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බවට සංසරණය වන පුවත ද මහජනතාව නොමඟ යවයි. 

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …