ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක පමණක් මුදලක් ලබාදෙන බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය ඉකුත් 30 වැනිදා නිවේදනය කළ අතර ඒ හේතුවෙන් සමාජය තුළ සැලකිය යුතු කතාබහක් නිර්මාණය විය.
ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ කළමනාකාරිවරිය වන චියෝ කන්ඩා මහත්මිය උපුටා දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව සඳහන් කර තිබිණි.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ ලෝක බැංකුවේ මෙරට කළමනාකාරිවරිය වන චියෝ කන්ඩා මහත්මිය අතර හමුවක් මැයි මස 27 වැනිදා පවත්වා ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශය මැයි 30 වැනිදා නිකුත් කරන ලද්දේ ඊට අදාළ මාධ්‍ය නිවේදනය යි.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය, මෙතැනින්.
මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ අවසාන ඡේදයේ මෙසේ දැක්වේ.
“ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක පමණ මුදලක් ලබා දෙන බවද එතුමිය ප්‍රකාශ කළා ය.”
විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයෙන් පසු ලෝක බැංකුව මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරන ලදි.
නිශ්චිත ඉලක්කමක් සඳහන් කරමින් ලෝක බැංකුව ශ්‍රී ලංකාවට සහාය දෙන බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ (ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයිනේ අධ්‍යක්ෂ ලෙස පත් කර ඇත) ෆාරිස් එච්. හඩාඩ්-සර්වෝස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
එම ට්විටර් පණිවුඩයට, මෙතැනින්.
කරුණු පැහැදිලි කිරීම යනුවෙන් ද ඔහු එහි දක්වා තිබිණි.
ශ්‍රී ලංකාවේ ජනතාව ගැන සැලකිලිමත් වන බවත් සංවර්ධන පාර්ශවකරුවන් සමඟ කටයුතු කරන බවත් එහි තවදුරටත් දැක්විණි.
ශ්‍රී ලංකාවට අදාළව, මැයි 24 වැනිදා නිකුත් කළ නිවේදනය මඟින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝක බැංකුවේ ස්ථාවරය යැයි ද එහි දැක්විණි.
ලෝක බැංකුව මැයි 24 වැනිදා නිකුත් කළ නිවේදනය, මෙතැනින්.
ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් නොකරන බව එම නිවේදනය මඟින් ලෝක බැංකුව අවධාරණය කළේ ය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයට පසු පැහැදිලි කිරීමක් කළ ලෝක බැංකුව මැයි 24 වැනිදා නිවේදනය උපුටා දක්වමින් ඒ බව නැවත වරක් අවධාරණය කළේ ය.
ලෝක බැංකුව සහ එමඟින් ලැබෙන මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් හෑෂ්ටැග් පරපුර මීට පෙර ද කරුණු පරීක්ෂා කිරීමක් කරන ලදි. මෙතැනින්.
නිගමනය – ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක පමණක් මුදලක් ලබාදෙන බව ලෝක බැංකුව නිවේදනය කර නොමැති අතර ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව ප්‍රකාශ කර ඇත.
හෑෂ්ටැග් පරපුර මීට පෙර කළ කරුණු පරීක්ෂා කිරීම්වලට මෙතැනින් පිවිසෙන්න.