Fact Check : “වසරක් පාසා එන්නත ගහන්න වෙනවා” යන සිරස්තලය මහජන ජනතාව නොමඟ යවයි

‘කොවිඩි-19’ වසංගතය ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ සෞඛ්‍ය සහ වෛද්‍ය විශේෂඥයෝ නිරන්තරයෙන් ප්‍රසිද්ධියේ අදහස් දැක්වූහ.  

ලොවපුරා සිටින සෞඛ්‍ය සහ වෛද්‍ය විශේෂඥයන් මෙලෙස ‘කොවිඩ්-19’ වයිරසය, එහි ව්‍යාප්තිය, ‘කොවිඩ්-19’ මර්දන එන්නත්, වයිරසයේ ලක්ෂණ, සංකූලතා යනාදිය සම්බන්ධයෙන් දෛනිකව අදහස් දැක්වීම් කරන ලදි. 

මේවා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, සමාජ මාධ්‍ය මෙන්ම සෞඛ්‍ය සහ වෛද්‍ය විශේෂඥයන්ගේ පෞද්ගලික සමාජ ජාල ගිණුම් ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් කෙරුණි. 

ඊට අමතරව නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසය හඳුනාගැනීමත් සමඟ ඒ සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණ පත්‍රිකා, අධ්‍යයන වාර්තා, ලිපි යනාදිය ද ප්‍රසිද්ධියට පත් විය. 

ශ්‍රී ලංකාව තුළ දී එය දැකගන්නට ලැබිණි. 

කෙසේ නමුත් සෞඛ්‍ය සහ වෛද්‍ය විශේෂඥයන් පළ කරන වුවමනාවෙන් හෝ වුවමනාකින් හෝ විකෘති කරන ආකාරය, වැරැදි ලෙස අර්ථ ගැන්වීම, වැරැදි ලෙස උපුටා දැක්වීම ද නිරන්තරයෙන් සිදු විය. 

ඇතැම් අවස්ථාවලදී සෞඛ්‍ය සහ වෛද්‍ය විශේෂඥයෙන් පෙන්වාදෙන කරුණු හෝ ඔවුන් පළ කරන හෝ කරුණු සිය අභිලාෂ, වුවමනාවලට සරිලන පරිදි උපුටා දක්වන ආකාරය ද අපට පසුගිය කාලයේ දී දක්නට ලැබිණි. 

ඒ  සඳහා මෙරට තුළින් ද උදාහරණ පෙන්වාදිය හැකි ය. 

මේ ආකාරයේ සිදුවීමක් ඉකුත් දිනකදී ද අපට දක්නට ලැබිණි. 

‘කොවිඩ්-19’ වයිරසය සම්බන්ධයෙන් පර්යේෂණ කරන මෙරට ප්‍රධාන පෙළේ විද්‍යාඥවරියක වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රතිශක්ති විද්‍යා සහ අණුක වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පළ කරන ලද අදහසකින් කොටසක් උපුටා ගෙන මේ ආකාරයෙන් මහජනතාව නොමඟ යවන ආකාරයෙන් ප්‍රවෘත්ති පළ කර තිබිණි. 

ඇය පළ කරන සම්පූර්ණ අදහසෙන් කොටසක් උපුටා ගෙන මහජනතාව නොමඟ යවන ආකාරයේ සිරස්තල භාවිත කරමින් ප්‍රවෘත්ති පළ කර තිබෙන අයුරු අපට දැකගැනීමට ලැබිණි. 

එම බොහෝමයක් ප්‍රවෘත්ති “වසරක් පාසා එන්නත ගහන්න වෙනවා” යන සිරස්තලය යටතේ පළ කර තිබූ අතර එම ප්‍රවෘත්ති සියල්ලම පාහේ එකම අන්තර්ගතයකින් සමන්විත බව ද පෙනී ගියේ ය. 

ඒවායේ ස්ක්‍රීන්ෂොට්ස් (Screenshots) පහතින් දැක්වේ. 

සමාජ මාධ්‍ය ඔස්සේ ද මෙම ප්‍රවෘත්තිය ජනතාව නොමඟ යවන ආකාරයේ වැරැදි සිරස්තලයක් සමඟ පළ වී තිබිණි. ඒවායේ ස්ක්‍රීන්ෂොට්ස් ද (screenshots) පහතින් දැක්වේ. 

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ පළ කළ අදහස් නොමඟ යවන සිරස්තලයක් සමඟ පළ කිරීම හේතුවෙන් එම පණිවුඩය ‘කොවිඩ්-19’ එන්නත්කරණය සහ එන්නත් ප්‍රතික්ෂේප කරන සමාජ ජාල කණ්ඩායම් හා සමූහ තුළ ද පළ වී තිබිණි. 

ඇතැම් තැන්වල මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුළු වෛද්‍ය ක්ෂේත්‍රයේ පිරිස් හිරිහැරයට ලක්වන ආකාරයේ අදහස් එම සමූහවල පළ වී තිබිණි. 

ඊට අදාළ ස්ක්‍රීන්ෂොට්ස් කිහිපයක් පහතින් දැක්වේ. 

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ පළ කළ අදහස් විකෘති කර පළ කිරීම ‘කොවිඩ්-19’ වසංගතය සහ ‘කොවිඩ්-19’ එන්නත්කරණය සම්බන්ධයෙන් අතථ්‍ය තොරතුරු (misinformation) සහ දුස් තොරතුරු (disinformation) ව්‍යාප්ත වීමටත් හේතු වී තිබිණි. 

එන්නත්කරණය සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙන පර්යේෂණ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයක සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහාචාර්යවරිය පළ කළ අදහස් මෙලෙස විකෘති කිරීමකට ලක්ව තිබිණි. 

සැප්තැම්බර් මස 24 වැනිදා මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.  

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සහභාගී වූ ඉහත සඳහන් මාධ්‍ය හමුව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ද වාර්තා කරනු ලැබ තිබිණි. 

අද දෙරණ 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය – 2021.09.24 –  5:38 වැනි මිනින්තුවේ සිට, මෙතැනින් 

හිරු රාත්‍රී 6.55 ප්‍රධාන පුවත් –  2021.09.24 – 15:10 වැනි මිනිත්තුවේ සිට, මෙතැනින් 

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්ව තිබිණි. 

තමන් පළ කරන ලද අදහස් නොමඟ යවන සිරස්තලයක් සමඟ පළ කර ඇතැයි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අප වෙත ප්‍රකාශ කළා ය. 

“මම කිව්වේ විවිධ කාණ්ඩවල ඉන්න පුද්ගලයන් සෑම වසරකදීම පාහේ එන්නත්කරණය කරන්න සිදු වේවි කියලා” යැයි ඇය කීවා ය. 

විවිධ කාණ්ඩවල සිටින පුද්ගලයන් යනුවෙන් හඳුන්වන්නේ කවුරුන්දැයි අප මහාචාර්යවරියගෙන් විමසීමක් කරන ලදි. 

නිදන්ගත වකුගඩු රෝගය ඇතුළු නිදන්ගත රෝගවලින් පෙළෙන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්, නිදන්ගත රෝග ඇති පුද්ගලයන්, යනාදී පුද්ගල කාණ්ඩ විවිධ කාණ්ඩ යනුවෙන් හැඳින්වූ බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කළා ය. 

මෙම මාධ්‍ය හමුවේ, සම්පූර්ණ මාධ්‍ය හමුව තිබේදැයි අප ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගෙන් විමසීමක් කරන ලද අතර ඒ අනුව ඔහු අප වෙත සබැඳි දෙකක් එවන ලදි. 

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ අදහස් දැක්වීම, මෙතැනින් 

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගේ අදහස් දැක්වීම, මෙතැනින් 

මෙම වසංගත සමයේ දී සෞඛ්‍ය සහ වෛද්‍ය විශේෂඥයන් උපුටා දක්වමින් වාර්තා කරන ප්‍රවෘත්ති නිරවද්‍යභාවය තහවුරු කිරීම ඉතා වැදගත් ය. ඊට ක්‍රම කිහිපයක් ඇත. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනයක් එවැනි ප්‍රවෘත්තියක් පළ කර ඇතිනම් තවත් මාධ්‍ය ආයතන කිහිපයකින් එය තහවුරු කළ ගත හැකි ය. එසේ වෙනත් මාධ්‍ය ආයතනවලින් තහවුරු කරගැනීමට නොහැකි වන අවස්ථා ද ඇත. ඒ සම්බන්ධයෙන් ද අවබෝධයෙන් සිටිය යුතු ය. 

යම් විශේෂඥයකු උපුටා දක්වා ඇති නම් මේ සම්බන්ධයෙන් ඔවුන් අදහස් පළ කර ඇත්දැයි ඔවුන්ගේ සමාජ මාධ්‍ය ඔස්සේ බලාගත හැකි ය. 

එමෙන්ම අදාළ ප්‍රවෘත්තියේ ඇති කරුණු, අධ්‍යයනයක් නම් එය පවත්වන ලද රට, එම අධ්‍යයනයට කොතරම් පිරිසක් සම්බන්ධ වී ඇති ද, එම අධ්‍යයනයේ සිදු කරන ලද කාලය, හෝ ඒ ප්‍රකාශයට පත් කළ දිනය යනාදි විස්තර මඟින් ද අදාළ ප්‍රවෘත්තිය තහවුරු කළ හැකි ය. ඒ සඳහා Google Search Engine ගූගල් සෙවුම් යන්ත්‍රය, හෝ වෙනත් සෙවුම් යන්ත්‍රයක් භාවිත කළ හැකි ය. 

මේ නිසා විශේෂඥ අදහස් බව කියමින් ඔබට ලැබෙන/පැමිණෙන පණිවුඩ එක් වරක්, දෙවරක් නොව කිහිපවරක්ම තහවුරු කරගැනීම ඉතා වැදගත් ය. විශේෂයෙන්ම, විශේෂඥයන් ඍජුව අදහස් නොදක්වන අවස්ථාවල ඒවා තහවුරු කරගැනීම ඉතා වැදගත් වේ. 

එමෙන්ම මාධ්‍යයේ වගවීම තහවුරු කිරීමේ අයිතියක් මාධ්‍යයට මෙන්ම මහජනතාව ද සතු ය. 

ඊට අමතරව ‘කොවිඩ්-19’ වසංගතයට සහ එන්නත්කරණයට අදාළ සියලු තොරතුරු වසංගත රෝග විද්‍යා අංශය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි ය. 

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ අනෙක් රජයේ වෙබ් අඩවිවල ද මේ සම්බන්ධයෙන් තොරතුරු දක්වා ඇති අතර මේවායේ සමාජ මාධ්‍ය ජාල ගිණුම් ඔස්සේ ද තොරතුරු ලබාගත හැකි ය. 

‘කොවිඩ්-19’ වසංගතය සහ ‘කොවිඩ්-19’ එන්නත්කරණයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා මෙම වෙබ් අඩවිවල දුරකතන අංක ද දක්වා ඇත. 

සෞඛ්‍ය අමාත්‍යාංශය 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ඔස්සේ ද එන්නත්කරණයට අදාළ තොරතුරු දක්වා ඇත. 

මෙම සෑම වෙබ් අඩවියකම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු දක්වා ඇත. 

සෞඛ්‍ය සහ වෛද්‍ය විශේෂඥයන් වැරැදි ලෙස උපුටා දැක්වීම හෝ ඔවුන් පළ කරන අදහස් වැරැදි ලෙස අර්ථකථනය කිරීම හෝ අදහස විකෘති සම්බන්ධයෙන් අප මීට පෙර විස්තරාත්මක කරුණු පරීක්ෂා කිරීමේ ලිපියක් පළ කරන ලදි. 

එම ලිපිය, මෙතැනින්

‌’කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංත තත්ත්වය මර්දනය කිරීම සඳහාත් ඔබත්, ඔබේ වට පිටාවත්, ආදරණීයන් ඇතුළු මුළු මහත් සමාජයත් ආරක්ෂා කරගැනීමටත් මේ මොහොතේ ඇති එකම පිළියම, ප්‍රතිකර්මය සහ විකල්පය එන්නත්කරණය යි. 

සෑම විටම ලෝක සෞඛ්‍ය සංවිධානය හා දේශීය සෞඛ්‍ය අධිකාරීන් යනාදී විශ්වාසනීය මූලාශ්‍රවලින් තහවුරු කරන ලද කරුණු විශ්වාස කරන්න. ඔවුන් ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න. සෑම විටම නිවැරැදි යාවත්කාලීන තොරතුරු අනුගමනය කිරීමටත්, නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමටත් හුරුවෙමු .

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …