FACT CHECK : විෂාදය කියන්නේ බොරුවක් ද?

විෂාදය සම්බන්ධයෙන් මෙලෙස අලුත් වටයකින් කතාබහක් ඇති වූයේ ඇන්ඩෘ ටේට් නැමැත්තා මීට පෙර අවස්ථා කිහිපයකදී විෂාදය සම්බන්ධයෙන් පළ කළ අදහස් සිංහලට පරිවර්තනය වී සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම ආරම්භ වීමත් සමඟ ය. 

මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී එක් ෆේස්බුක් පිටුවකින් (Facebook Page) පමණක් මෙලෙස විෂාදය සම්බන්ධයෙන් ඇන්ඩෘ ටේට් පළ කළ අදහස් සිංහලට පරිවර්තනය කර පළ කර තිබිණි. ඒ හරහා එය සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම ආරම්භ වී තිබිණි. 

ඇන්ඩෘ ටේට් යනු ඇමරිකානු-බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි පුද්ගලයකු වන අතර ඔහු සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධියට පත්ව ඇත. ඔහු ව්‍යාපාරිකයකු මෙන්ම හිටපු වෘත්තීය කික් බොක්සිං ක්‍රීඩකයෙකි. ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ 2016 වසරේ දී ය. ඒ ඔහු කාන්තාවකට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ප්‍රසිද්ධියට පත්වීමත් ඒ හේතුවෙන් ඔහු බ්‍රිතාන්‍යයේ ‘බිග් බ්‍රදර්’ රූපවාහිනි වැඩසටහනෙන් ඉවත් කිරීමත් සමඟ ය. 

ඇන්ඩෘ ටේට් තවත් අවස්ථා කිහිපයකදී ඔහුගේ නිල ට්විටර් ගිණුම හරහා පළ කළ මතභේදාත්මක ප්‍රකාශ හේතුවෙන් ද ප්‍රසිද්ධියට පත්විය. ලිංගික අතරවලට ලක්වන කාන්තාවන් ඒ සම්බන්ධයෙන් ‘වගකීම දැරිය යුතු’ යැයි ඔහු සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කිරීමත් අවස්ථා කිහිපයකදීම ස්ත්‍රී විරෝධී සහ කාන්තාවන් ඉලක්ක කරගනිමින් අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම නිසාත් ඔහුගේ ට්විටර් ගිණුම තහනම් කිරීමට ට්විටර් සමාජ මාධ්‍ය ජාල සමාගම පියවර ගත්තේ ය. මෙතැනින්. 

එමෙන්ම   පරම ස්ත්‍රී ද්‍රෝහී(Absolutely misogynistic) සහ පරම ලිංගිකවාදී(Absolutely sexist) අදහස් දැරීම හේතුවෙන් යූ ටියුබ්, ෆේස්බුක්, සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ජාල සිය වේදිකාවලින් ඇන්ඩෘ ටේට් ඉවත් කිරීමටත් ඔහුට එම වේදිකා තහනම් කිරීමටත් පියවර ගත්තේ ය. එමෙන්ම ටික්ටොක් සමාජ මාධ්‍ය ජාල සමාගම ද ඔවුන්ගේ වේදිකාවෙන් ඇන්ඩෘ ටේට් ඉවත් කර ඇත.  මෙතැනින්. 

අන්තර්ජාලය තුළ කුප්‍රකට චරිතයක් මෙන්ම බලපෑම්කරුවකු ලෙස හඳුනාගෙන ඇති ඇන්ඩෘ ටේට් මේ වනවිට රුමේනියානු පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇත. මිනිස් ජාවාරම්, ස්ත්‍රී දුෂණ සහ සාපරාධී අපරාධ කණ්ඩායමකට හවුල් වීම යන චෝදනා යටතේ ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. මෙතැනින්. 

මෙවැනි පසුබිමක ඇන්ඩෘ ටේට් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහක් ඇති වන්නේ පසුගිය සති කිහිපයේදී ය. විශේෂයෙන්ම දෙසැම්බර් මස අවසන් සති දෙකේදීත් පසුගිය සතියක කාලයේදීත් ඉකුත් දින කිහිපයේදීත් වැඩි කතාබහක් ඇති වී තිබෙන ආකාරය නිරීක්ෂණය විය. විෂාදය, ආදර සම්බන්ධතා හා ඒවා බිඳ වැටීම් යනාදිය සම්බන්ධයෙන් අවස්ථා ගණනවාකදී අදහස් පළ කර තිබිණි. ඔහුගේ බොහෝ අදහස් සහ ඔහු සමාජ මාධ්‍යයේ ඔස්සේ කර තිබූ බොහෝ ප්‍රකාශ ස්ත්‍රී ද්‍රෝහී යැයි නිගමනය කර තිබිණි. 

ෆේස්බුක් ඔස්සේ එලෙස සංසරණය වූ සටහන් කිහිපයක තිර ඡායාරූප කිහිපයක් පහතින් දක්වා ඇත.

මෙම සටහන්වලට පරිශීලකයන් ප්‍රතිචාර දක්වා ඇති ආකාරය නිරීක්ෂණය කිරීමේ දී බොහෝ පිරිස් මෙම මතවාද  සුබවාදීව හෝ ධනාත්මකව හෝ බාරගෙන ඇති බව නිරීක්ෂණය විය.  

එමෙන් ම ඇන්ඩෘ ටේට් සම්බන්ධයෙන් මෙලෙස ෆේස්බුක් අන්තර්ගත පළ කර ඇත්තේ එක් ෆේස්බුක් පිටුවක් පමණක් යන්න ද මේ සම්බන්ධයෙන් කරන ලද සොයාබැලීම්වලදී නිරීක්ෂණය විය. 

ඇන්ඩෘ ටේට් පවසන ආකාරයට   ‘ඩිප්‍රෙෂන් කියන්නේ බොරුවක් ද? ඒක තාවකාලික හැගීමක් ද? ඩිප්‍රෙෂන් කියන්නේ පරාජිතයෝ තමන්ගේ පරාජිතකමට වලංගුභාවයක් ලබා දෙන්න හදාගත්තු එක්ස්කියුස් එකක් ද?’ කියන කාරණාව පිළිබදව විමසා බැලීම වැදගත්ය. 

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මානසික අවපීඩනය හෙවත් විෂාදය යන්න පොදු මානසික ආබාධයක් වන අතර ලෝක ජනගහනයෙන් ආසන්න වශයෙන් මිලියන 280ක් විෂාදයෙන් පීඩා විඳිති.  

තවද Roar media වෙබ් අඩවිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණන් බැලීම් උපුටා දක්වමින් විෂාදය සම්බන්ධයෙන් ලිපියක් පළ කර ඇත. එම ලිපියට අනුව, 2015 වර්ෂයේ දී පමණක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති විෂාදයෙන් පීඩා විඳින රෝගීන්ගේ ගණන 802,321 කි. දළ වශයෙන් මෙරට පුරවැසියන්ගෙන් විසිදෙනකුගෙන් එක් අයකුට විෂාදය වැළඳී ඇත. 

සායනික විෂාදය (Clinical Depression) නමින් යමක් නොමැති බවත් යමකු සායනික විෂාදය යන්න විශ්වාස කළහොත් ඔහුට හෝ ඇයට ඉන් අත්මිදිය නොහැකි බවත් ඇන්ඩෘ ටේට් පවසා ඇත. 

එහෙත් සායනික විෂාදය යනුවෙන් රෝගී තත්ත්වයක් පවතින අතර මානසික රෝග විනිශ්චය සහ සංඛ්‍යාන අත්පොතේ 5 වන සංස්කරණ පෙළ සංශෝධනයේ ( Diagnostic and Statistical Manual 5th Edition Text Revision. (DSM – V- TR)(177 පිටුව) මේ බව අවධාරණය කර ඇත.  එහි උපුටා ගැනීම සහ එහි සරල සිංහල පරිවර්තනයක් සමග පහතින් දක්වා ඇත. 

“Depressive disorders include disruptive mood dysregulation disorder, major depressive disorder (including major depressive episode), persistent depressive disorder, premenstrual dysphoric disorder, substance/medication-induced depressive disorder, depressive disorder due to another medical condition, other specified depressive disorder, and unspecified depressive disorder. The common feature of all of these disorders is the presence of sad, empty, or irritable mood, accompanied by related changes that significantly affect the individual’s capacity to function”

“මානසික අවපීඩන ආබාධවලට කඩාකප්පල්කාරී මනෝභාවය පාලනය කර නොගැනීමේ ආබාධය, ප්‍රබල මානසික අවපීඩන (ප්‍රබල මානසික අවපීඩනය ඇතුළුව), නොනැසී පවතින මානසික අවපීඩනය, පූර්ව ඔසප් මානසික අවපීඩනය, ද්‍රව්‍ය/ඖෂධ මගින් ඇතිවන මානසික අවපීඩනය, වෙනත් වෛද්‍ය තත්ත්වයක් හේතුවෙන් ඇතිවන මානසික අවපීඩනය, වෙනත් නිශ්චිත මානසික අවපීඩනය සහ නිශ්චිතව දක්වා නොමැති මානසික අවපීඩනය. මෙම සියලු ආබාධවල පොදු ලක්ෂණ වන්නේ දුක, හිස්බව හෝ පහසුවෙන් කෝපයට පත්වීම සහ අදාළ වෙනස්කම් පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වයට සැළකිය යුතු ලෙස බලපාම් එල්ල කිරීමයි.”

එමෙන් ම ඇතැම් අවස්ථාවල විෂාදය බරපතළ සෞඛ්‍ය තත්ත්වයක්  බවට පත්විය හැකිය. එය ඇතැම් අවස්ථාවල බලපෑමට ලක් වූ පුද්ගලයන්ට බොහෝ දුක් විඳීමට සහ රැකියාවේදී, පාසැලේදී සහ පවුල තුළ දුර්වල ලෙස ක්‍රියා කිරීමට ද හේතු විය හැක. මෙම මානසික තත්ත්වය නරකම අවස්ථාවකට පැමිණි විට, විෂාදය සියදිවි නසා ගැනීමට ද හේතු විය හැකි වීම මෙහි ඇති බරපතළම ගැටලුවයි.

විෂාදය ඇති වීමට බලපාන එක් ප්‍රධන හේතුවක් හඳුනාගැනීම දුෂ්කර සහ අපහසු කර්තව්‍යයකි. විවිධ වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයන්ට විවිධ හේතු  නිසා  මෙම මානසික තත්ත්වයට ගොදුරු වෙයි. 

අධික දුක, හිස් බව, තමන් පලක් නොමැති අයෙකු සේ හැගීම, අනෙක් අයව නොරුස්නාසුළු ස්වභාවය, ශරීර බර එකවර අධික ලෙස වැඩි වීම හෝ අඩු වීම, දැඩි මහන්සිය, නින්දයාමේ අපහසුතා සහ අනවශ්‍ය ලෙස නිදා ගැනීම වැනි කාරණා මෙම රෝගයේ ලක්ෂණ විය හැකිය. 

එමෙන් ම ඇන්ඩෘ ටේට් පවසන පරිදි විශාදය යනු අත්මිදිය නොහැකි රෝගී තත්ත්වයක් නොවේ. විෂාදය මුල් කාලීනව හඳුනාගතහොත් මනෝවිද්‍යා උපදේශනය මඟින් එය සුවකර ගැනීමට ඉඩකඩ පවතී. එහෙත් රෝග තත්ත්වය බරපතල නම්, මනෝවෛද්‍ය උපදේශනය පමණක් නොව ඖෂධ ප්‍රතිකාර ද ලබාදීම මගින් දරුණු විෂාදී තත්ත්වලින් සුව අතට හැරිය හැකි ය. 

එම නිසා කිසියම් අයකු විෂාදයෙන් පෙළෙනවා නම් ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්යයයෙන් ම කළ යුත්තකි. 

ඇන්ඩෘ ටේට් විෂාදය සම්බන්ධයෙන් දක්වා ඇති අදහස් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවබෝධ කරගැනීමට හෑෂ්ටැග් පරපුර ක්‍රියා කළේ ය. ඒ සඳහා අප මනෝඋපදේශක චලන විජේසූරිය මහතාගෙන් විමසීමය. විජේසූරිය මහතා පළ කළ අහස් පහතින් පහතින් උපුටා දක්වා ඇත.

“ඇන්ඩෘ ටේටි ඩිප්‍රෙෂන් ගැන දක්වා තියෙන අදහසේ ගැටලුකාරී තැන් කිහිපයක් තියෙනවා. ඉන් පළමු දේ තමයි ඩිප්‍රෙෂන් යන්න දුක යන්නට සමාන කරලා කතා කරලා තියෙනවා. මේක සමාජ මතයක්, ඒ කියන්නේ කෙනෙක් දුකින් පසුවෙද්දි කියනවා නම් ඇය හෝ ඔහු ඩිප්‍ර්‍රෙස් වෙලා කියලා, නමුත් මේක නෙමේ ඩිප්‍රෙස් වෙනවා කියන්නේ. 

ඩිප්‍රෙෂන්වලට විවිධ නිර්වචන තියෙනවා. ඩිප්‍රෙස් කියන්නේ ලෝකයේ ම ප්‍රචලිත සහ බරපතළ රෝගී තත්ත්වයක්. එය ඔබට දැනෙන හැඟීමට , ඔබ සිතනා ආකාරයට, ඔබ ක්‍රියාකරන ආකාරයට ඍණාත්මක බලපෑම් කරනවා. ඩිප්‍රෙශන් ඇතිවිට එය ඔබට, සමාජයට, පවුලට සහ අනෙකුත් පසුබිම්වලට බලපාන ගැටලුවක්. ඩිප්‍රෙෂන් යන්න එක සිදුවීමක් නිසා එකවරම ඇති වන රෝගී තත්ත්වයක් නෙමේ. 

දුක කියන්නේ හැඟීමක් තමයි. ඒත් ඒ දුක කියන හැගීමේ බලපෑම්වලට නිසියාකාරව මුහුණ දීමට නොහැකි වීමෙන් ඩිප්‍රෙෂන් ඇති වෙන්න පුළුවන්. 

ඇන්ඩෘ ටේට්ගේ මේ අදහස් දැක්වීමේ කියවෙනවා මනෝ උපදේශනය හරහා සිද්ධ වෙන්නේ දුක ගැන කතා කිරීම පමණයි කියලා. ඒත් මේකත් මතයක් පමණයි. මනෝ උපදේශනයේ දී දුක ගැන පමණක් නොවේ ඒ හැගීමත් එක්ක ඔහුගේ හෝ ඇයගේ මනසට ඇවිත් තියෙන සිතුවිලි පිළිබදව, එම සිතුවිලිවලට එම පුද්ගලයා ක්‍රියාත්මක වන ආකාරය පිළීබදව, එම සිතුවිලි නැවත නැවත එනවනම් ඒවාට මුහුණ දීලා ඒ සිතුවිලි, හැගීම් කළමනාකරණය කරගනිමින් තමන්ගේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යන්නේ කෙසේද කියන කාරණා සම්බන්ධයෙන් රෝගියාට උපකාර කිරීමක් මනෝඋපදේශනය හරහා සිදුවෙනවා. 

ඇන්ඩෘ ටේට් පවසන අනෙක් කාරණය තමයි ඩිප්‍රෙෂන් නිසා සියදිවි නසා ගැනීම සිදුකරගන්නා බව. ඒත් ඩිප්‍රෙෂන් යනු සියදිවි හානිකර ගැනීමට බලපා හැකි එක හේතුවක් පමණක් වන අතර එවැනි දෙයකට යමෙක් පෙළෙඹ වෙන්න තවත් හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. 

නැවතත් ඇන්ඩෘ ටේට්ගේ මේ අදහස් දැක්වීමේ තියෙන්නේ කෙනෙක් අමාරු ජීවිතයක් ගත කරනවා නම්  එය පහසුවෙන් ජයගන්න හැකියාව හැමෝටම තියෙනවා කියලා. නමුත් අපිට මිනිස්සුන්ගේ ප්‍රශ්න සංසන්දනය කිරීමේ හැකියාවක් නෑ. මොකද තමන්ට ගොඩක් සරල විදියට පේන ප්‍රශ්නයක් තවත් කෙනෙක්ට ගොඩක් සංකීර්ණ වෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්න ගණන් නොගෙන හිනා වෙලා ඉන්න කියලා කිසිම කෙනෙක්ට අපිට කියන්න බෑ.”

කෙසේ නමුත් විෂාදය කොතරම් බරපතළ සමාජ ප්‍රශ්නයක් ද යන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා මගින් පෙන්වා දී ඇත.  ලෝක සෞඛ්‍ය සංවිධානයේ මානසික සෞඛ්‍ය ක්‍රියාකාරී සැලැස්ම 2013-2030 හරහා මානසික අවපීඩනය ඇතුළු මානසික ආබාධ සහිත පුද්ගලයන්න් සඳහා සුදුසු මැදිහත්වීම් කිරීමේ අවශ්‍යාතව අවධාරණය කර ඇත.  එමෙන් ම මානසික අවපාතය යනු ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO)හි මානසික සෞඛ්‍ය පරතරය ක්‍රියාකාරී වැඩසටහන (mhGAP) මගින් ආවරණය වන ප්‍රමුඛතා කොන්දේසිවලින් ද එකකි. 

විෂාදය වැනි මානසික රෝගී තත්ත්වයක් නොසලකා හැරිය යුතු සහ උපහාසයට ලක් කළ යුතු කාරණයක් හෝ මාතෘකාවක් හෝ වශයෙන් සමාජය තුළ සැලකීමට ලක්වීම බරපතළ ගැටලුවකි. එමෙන්ම ඒ ආකාරයේ මතවාද ගොඩනැගීම හරහා සමාජයට සිදු කරන්නේ බරපතළ හානියකි. 

සමාජ මාධ්‍ය යනු ඕනෑම පුද්ගලයකුට සිය අදහස් ප්‍රකාශ කළ හැකි විවෘත සහ නිදහස් වේදිකාවකි. සමාජ මාධ්‍ය තුළ කිසිදු නියාමනයක් සිදු නොවන අතර එහි පළවන අදහස්, තොරතුරු, මති මතාන්තර යනාදි කිසිවක් කිසිදු පෙරනයකට ලක් වන්නේ ද නැත. එබැවින් විවිධ පුද්ගලයන් සමාජ මාධ්‍යයේ පළ කරන අදහස් විශ්වාස කිරීමට හෝ ඒවා පිළිගැනීමට හෝ ප්‍රථමයෙන් ඒවා සොයා බැලීම ඉතා ම වැදගත් සහ අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ. 

නිගමනය : ඇන්ඩෘ ටේට් ‍‍විෂාදය සම්බන්ධයෙන් දක්වා ඇති අදහස් ෆේස්බුක් සටහන් වශයෙන් පළ කිරීම හරහා විෂාදය පිළිබදව දුර්මත  නිර්මාණය කිරීමට එය හේතු වී ඇති බව නිගමනය කළ හැකි  ය.

ඔබට හෝ ඔබගේ සමීපතමයකුට මනෝ-සාමාජීය/උපදේශන සහාය අවශ්‍ය නම් පහත දුරකතන අංකවලට ඇමතුමක් ලබාදීමෙන් උපකාරක සේවා ලබාගත හැකි ය. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.

Share this post

Related Projects

Fact Check

FACT CHECK : நியூசிலாந்து தனது மக்களை இலங்கைக்கு செல்ல வேண்டாம் என்று சொல்லுமா?

இலங்கைக்கு விஜயம் செய்வது தொடர்பில் அந்நாட்டு மக்களுக்கு குறிப்பாக சுற்றுலாப் பயணிகளுக்கு வழங்கப்பட்ட அறிவுறுத்தல்களை நியூசிலாந்து அரசாங்கம் புதுப்பித்துள்ளதை கடந்த சில நாட்களாக அவதானிக்க முடிந்தது. இலங்கைக்கு …

Fact Check

FACT CHECK : Did New Zealand tell its residents not to visit Sri Lanka?

During the past couple of days, it has been observed that posts are being circulated on social media platforms displaying …

Fact Check

FACT CHECK : නවසීලන්තය එරට වැසියන්ට ශ්‍රී ලංකාවට යන්න එපා කියයි ?

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් නවසීලන්ත රජය එරට වැසියන්ට, විශේෂයෙන්ම සංචාරකයන්ට ලබාදෙන උපදෙස් යාවත්කාලීන කර ඇතැයි කියැවෙන සටහන් සමාජ මාධ්‍ය තුළ …

Uncategorized

අන්තර්ජාලය වසා දැමීමක් (Internet Shutdown) යනු කුමක්ද?

(දකුණු සහ අග්නිදිග ආසියාතික සිවිල් සමාජයන් සඳහා මාර්ගෝපදේශයකි) URL: https://engagemedia.org/2022/internet-shutdowns-south-southeast-asia/  ඩිජිටල්කරණයට ලක් වී ඇති වත්මන් සමාජය තුළ, අන්තර්ජාලයට ප්‍රවේශ වීම …

Fact Check

FACT CHECK : විෂාදය කියන්නේ බොරුවක් ද?

විෂාදය සම්බන්ධයෙන් මෙලෙස අලුත් වටයකින් කතාබහක් ඇති වූයේ ඇන්ඩෘ ටේට් නැමැත්තා මීට පෙර අවස්ථා කිහිපයකදී විෂාදය සම්බන්ධයෙන් පළ කළ අදහස් …

Fact Check

FACT CHECK : උප්පැන්න සහතික වෙනුවට මරණ සහතික අයදුම්පත් නිකුත් කළා ද?

“උප්පැන්න සහතික අයදුම්පත් අවසන් වී ඇති බැවින් මරණ සහතික අයදුම්පතෙහි උප්පැන්න බව සඳහන් කොට අවශ්‍ය තොරතුරු පුරවන්න”  යනුවෙන් සඳහන් කළ …