FACT CHECK : සරසවි සිසුන් 50කට ඒඩ්ස් ද?

ඒඩ්ස් සහ එච්.අයි.වී. වයිරසය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයක කාලයේ දී සමාජ මාධ්‍ය තුළ පුළුල් සංවාදයක් ගොඩනැගී ඇති අයුරු දක්නට ලැබිණි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය,  සරසවි සිසුන් 50කට ඒඩ්ස් වැළදී ඇති බව ප්‍රකාශ කළේ යැයි සඳහන් කරමින් දිනමිණ පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියක් මුල් කරගනිමින් මෙම සංවාදය ඇති ව තිබිණි. 

2022 ඔක්තෝබර් 26 වැනිදා අදාළ ප්‍රවෘත්තිය දිනමිණ පුවත්පතේ පළ වී තිබිණි. එම ප්‍රවෘත්තියේ ඡායාරූපයක් පහතින් දක්වා ඇත.  

මෙම ප්‍රවෘත්තිය දිනමිණ පුවත්පත, ඔවුන්ගේ වෙබ් අඩවියේ ද පළ කර තිබිණි. මෙතැනින්. 

හිරු රූපවාහිනී නාලිකාව ඔවුන්ගේ උදෑසන පුවත්පත් (පත්තරේ විස්තරේ) වැඩසටහනේදී  මෙම ප්‍රවෘත්තිය කියවා තිබිණි. ඊට අදාළ විඩියෝ සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබූ අතර එම නාලිකා අදාළ විඩියෝ පටවලට යොදාගෙන තිබුණේ ද ‘සරසවි සිසුන් 50කට ඒඩ්ස්’ යන සිරස්තලය යි. ඊට අදාළ  එම තිර ඡායාරූප(Screenshot) කිහිපයක් පහතින් දක්වා ඇත. 

ඒඩ්ස් (AIDS) රෝගය සහ එච්.අයි.වී. (HIV) ආසාදිතයන් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රී ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය මාධ්‍ය වෙත කළ අදහස් දක්වා තිබූ අතර අදාළ ප්‍රකාශය පහත උපුටා දක්වා ඇත.ස්වාධීන රූපවාහිනී, රූපවාහිනි නාලිකාව ඔවුන්ගේ ප්‍රධාන පුවත් විකාශයේ දී එය පළ කර තිබූ අයුරු,  මෙතැනින්.

“ගිය අවුරුද්දේ එච්.අයි.වී ආසාදිතයන් 148ක් පමණ වාර්තා වුණා. මේ වෙනකොට 342ක් වාර්තා වෙලා තියෙනවා. බරපතල තත්ත්වය තමයි අවුරුදු 18ත් 30ත් අතර තරුණ අයගේත් මෙම එච්.අයි.වී ආසාදනය වාර්තා වීම සහ ගොනෝරියා, සිෆිලිස් වැනි ලිංගාශ්‍රිත රෝගත් වාර්තා වීම වැඩි වීමක් පෙන්නුම් කරලා තියෙනවා. පාසල් ළමුනුත් තුන්දෙනෙක් විතර ඉන්නවා. විශ්ව විද්‍යාල ළමුන් 14ක් විතර ඉන්නවා. මේවා වළක්වගන්න ළමයින් පාසලේ දී ලිංගික සෞඛ්‍ය පිළිබදව විවෘතව කතා කරලා තරුණ පරම්පරාව ලිංගික රෝගවලින් වළක්වාගන්න මහජනතාවගෙනුත් අපි සහයෝගය ගන්න බපාපොරොත්තු වෙනවා. කිහිපදෙනෙක් එක්ක ලිංගික සබදතා පවත්වපු අය සහ ෆේස්බුක් පාටි අර පාටිවලට ගිහිල්ලා කණ්ඩායම් වශයෙන් ලිංගික සබදතා ඇතිකරගත් අය ඉන්නවා. මත්ද්‍රව්‍ය භාවිත කරලා ලිංගික සම්බන්ධතා ඇති කරගත්ත අය ඉන්නවා. මේ අතර පාසල් සිසුන් අතර නම් ගොඩක් ඇහුවම ඔය බස් එකේදි කෝච්චියේදි අදුරගෙන මාස 2ක් 3ක් ලිංගික සම්බන්ධතාවලට ගියපු අයට තමයි මේ වගේ එච්.අයි.වී ආසාදනය වෙලා තියෙන්නේ.””

විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය ‍‍ප්‍රකාශ කර ඇති ආකාරයට සරසවි සිසුන් 14කට එච්.අයි.වී වෛරසය ආසාදනය වී ඇති නමුත් සරසවි සිසුන් 50කට ඒඩ්ස් ආසාදනය වීමක් පිළිබදව පවසා නැත.

බී.බී.සී. සිංහල සේවය මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය රසාංජලි හෙට්ටිආරච්චි මහත්මියගෙන් කරුණු විමසා තිබිණි. දිනමිණ පුවත්පතේ, පළ වූ ප්‍රවෘත්තියේ ඇති සිරස්තලය වැරැදි බව ඇය එහිදි පවසා ඇත. මෙතැනින්. 

“යුනිවර්සිටි ළමයි 14ක් ඉන්නේ. 50ක් විතර ඉන්නේ තරුණ පරම්පරාව – ඒ කියන්නේ 18යි 30යි අතරේ. ඒ ඔක්කොම කැම්පස් ළමයි නෙවෙයි” යැයි වෛද්‍යවරිය බී.බී.සී සිංහල පුවත් වෙබ් අඩවියට පවසා ඇත. 

එච්.අයි.වී ආසාදිතයන් සම්බන්ධයෙන් තිබෙන සංඛ්‍යාදත්ත සහ ඒඩ්ස් රෝගය සහ එච්.අයි.වී. පිළිබදව ‍පවතින සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් සහ එච්.අයි.වී සහ ඒඩ්ස් අතර පවතින වෙනස සම්බන්ධයෙන් මහජනතාව නොමග යැවීමක් සිදු ව ඇති බවයි. 

මේ සම්බන්ධයෙන් Helasiri Tv නමැති යූටියුබ් (YouTube) නාලිකාව විසින් විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබිණි. මෙතැනින්. 

“ඔව් ඇත්තටම ඒඩ්ස් නෙමේ එච්.අයි.වී ආසාදිතයන් වැඩිවීමක් තියෙන්නේ. එච්.අයි.වී සහ ඒඩ්ස් කියන්නේ ඇත්තටම දෙකක්. එච්.අයි.වී ආසාදිතයන්ට ප්‍රතිකාර කළේ නැත්නම් තමයි ඒඩ්ස් කියන තත්ත්වයට යන්නේ. නමුත් ලංකාවේ දැන් එච්.අයි.වී සඳහා ප්‍රතිකාර තියෙන නිසා ඒඩ්ස් තත්ත්වයට යන එක ගොඩක් අඩුයි. නමුත් එච්.අයි.වී ආසාදනය වැළඳුණහම ප්‍රතිකාර තිබුණත් එක දිගට ම බෙහෙත් ගන්න ඕන. එතකොට අර දියවැඩියාව වගේ දිගටම ප්‍රතිකාර අරගෙන හොඳින් ඉන්න පුළුවන් නමුත් ඒක අමාරුයි, දිගටම ගන්න එක. ඒ නිසා මේක එච්.අයි.වී ආසාදනය වළක්වාගන්න එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ.

අපේ දත්ත වලට අනුව 2021 සහ 2022 පළවෙනි කාර්තුවේ දෙකේ දත්ත අනුව එච්.අයි.වී ආසාදිතයන්, අලුතින් හඳුනාගන්න අය, දෙගුණයකටත් වඩා වැඩි වෙලා තියෙනවා. ඒ අතර අවුරුදු 18ත් 30ත් අතර ළමයිනුත්, තරුණයන් අතරත් වැඩි වෙලා තියෙනවා. ඒක ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක්. තරුණ පරම්පරාවට ඉක්මනට ලෙඩ රෝගවලට ගොදුරු වෙලා දීර්ඝ කාලීන ප්‍රතිකාර ගන්න වෙන එක ගොඩක් ඛේදජනකයක්. මේ ප්‍රතිකාර ගොඩක් මිල අධිකයි. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නොමිලේ ලබාදුන්නත් ගොඩක් මුදලක් වැය වෙනවා මුළු ජීවිත කාලයට මේ බෙහෙත් දෙන්න.ඉතින් අපිට ඒක වළක්වන්න ඕන. ඒ අතර කිහිපදෙනෙක් ඉන්නවා ඇත්තටම පාසල් ළමුන් තුන් දෙනෙක් විතර, විශ්ව විද්‍යාල ළමුන් 14ක් විතර ඉන්නවා. ඉතින් මේ ළමයින්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලැබෙන් නැති නිසා මේ අපි හැමෝම දන්නවා තරුණ වයසේදී අපේ ඇගේ ලිංගික හෝමෝන ක්‍රියාකාරිත්වය ඉතා අධිකයි. ඉතින් එතකොට ලිංගික හැඟීම් ඇති වෙනවා. ඉතින් මේ ලිංගික හැඟීම් පාලනය කරගන්න කව්රුත් කියා දෙන්නේ නෑ.එතකොට ළමයි ඒවාට ප්‍රතිචාර දක්වන්නේ වෙන කාත් එක්ක හරි ලිංගිකව සම්බන්ධ වෙලා.”

එච්.අයි.වී ආසාදිතයන්ගේ ගණන සහ ඒඩ්ස් රෝගීන්ගේ ගණන සම්බන්ධයෙන් 2021 වසර දක්වා සියලු තොරතුරු සහ සංඛ්‍යා දත්ත සෞඛ්‍ය අමාත්‍යංශයේ ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. මෙම විස්තර කාර්තුමය වශයෙන් පළ කර ඇත. 

එච්.අයි.වී ආසාදිතයින් යනු ඒඩ්ස් රෝගීන් නොවන නමුත් බොහෝ ජනමාධ්‍ය පසුගිය කාලයේ දී එච්.අයි.වී ආසාදිතයින් සංඛ්‍යාව ‘ඒඩ්ස් රෝගීන්’ යනුවෙන් වැරැදි ලෙස වාර්තා කර තිබෙන ආකාරය ද නිරීක්ෂණය. 

එච්.අයි.වී යනු මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසයකි . එච්.අයි.වී වැනි වයිරස තනිව වර්ධනය වීමට හෝ ප්‍රතිනිර්මාණය වීමට නොහැකි අතර එම වයිරසය තමන්ගේ නව පිටපත් නිර්මානය කිරීම සඳහා ජීවී සෛල ආසාදනය කළ යුතුයි. මානව ප්‍රතිශක්තිතිකරණ පද්ධතිය සාමාන්‍යයෙන් වයිරස මර්දනය කරන නමුත්, එච්.අයි.වී ප්‍රතිශක්තිකරණ පද්ධතියටම පහරදෙන බැවින් එය මර්දනය කිරීමට නොහැකිය.

ඒඩ්ස් යනු රෝගී තත්ත්වයකි. එච්.අයි.වී මගින් ඒඩ්ස් තත්ත්වය ඇතිවේ. එච්.අයි.වී වයිරසය ක්‍රමයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛලවලට ආසාදනය වේ. එච්.අයි.වී. වයිරසය, ක්‍රමයෙන් සෛල විනාශ කරන අතර ඒත් සමඟ ශරීරය ආසාදනවලට ලක්වීමට වැඩි අවදානමක් නිර්මාණය කෙරේ. එච්.අයි.වී මෙම සෛල ක්‍රමයෙන් විනාශ කරන විට ශරීරය ආසාදනවලට ලක්වීමට වඩා වැඩි අවදානමක් හටගනී. ප්‍රතිශක්තිකරණ ඉතා අඩු මට්ටමක ඇති පුද්ගලයකුට එච්.අයි.වී. වයිරසය ආසාදනය විය හැකි අතර එය ඒඩ්ස් තත්ත්වය දක්වා වර්ධනය විය හැකි ය. එම කාලයේ දී අදාළ පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි සිදුවිය හැකි අතර අවුරුදු ගණනාවක් මුළුල්ලේ එලෙස හානි වීම සිදුවිය හැකි ය.

කිසිම ප්‍රතිකාරයක් නොගෙන සිටින එච්.අයි.වී ආසාදිත පුද්ගලයන්ගෙන් අඩකට පමණ, සාමාන්‍යයෙන් වසර 10ක් ඇතුළත ඒඩ්ස් රෝගී තත්ත්වය ඇතිවේ. මෙම කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට විශාල වශයෙන් වෙනස් වන අතර එය බොහෝ සාධක මත රඳා පවතී.

කෙසේවෙතත් ප්‍රතිවෛරස ඖෂධ මගින් එච්.අයි.වී. ආසාදනයේ සිට ඒඩ්ස් රෝගී තත්වය දක්වා ප්‍රගමනය වීමට ගතවන කාලය බොහෝ සේ වැඩිකර ඇත.

මිනිසුන් බොහෝමයක් ඒඩ්ස් රෝගය සදහා ප්‍රතිකාරයක් ඇති බවට වැරදි මතයක සිට අවදානම් හැසිරීම්වල යෙදෙන නමුත් ඒඩ්ස් සදහා ප්‍රතිකාරයක් නොමැත. ඒඩ්ස් රෝගයෙන් ආරක්ෂිතව සිටීමේ හොදම මාර්ගය වනුයේ එච්.අයි.වී සම්ප්‍රේෂණය වන විධි පිළීබදව දැනුවත් වී සිටීමයි.

වෛරසය පැතිරීම පාලනය කිරීමට ප්‍රති වෛරස ඖෂධ ඇත. එමගින් ශරීරයේ ඇති වෛරස ප්‍රමාණය පහත හෙලන අතර, ප්‍රතිශක්තිය නැවත නගාසිටුවා රෝගියාගේ පැවැත්ම දීර්ඝ කෙරේ. එහෙත් මෙම ඖෂධ මගින් සම්පූර්ණයෙන්ම එච්.අයි.වී වෛරසය මරා දැමිය නොහැකිය.

 ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන වෙබ් අඩවිය හරහා එච්.අයි.වී හා ලිංගාශ්‍රිත රෝග කළමනාකරණය සදහා විවිධ රසායනාගාර සේවා සැපයීම පිළිබදව, එච්.අයි.වී ආසාදිතයන් සඳහා උපදේශනය, ප්‍රතිකාර, ප්‍රතිවෛරස සත්කාර සම්බන්ධ තොරතුරු, එච්.අයි.වී වැළැක්වීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් සම්බන්ධ විස්තර සහ එච්.අයි.වී. සදහා ස්වයං-පරික්ෂා සිදු කිරීම් ආදී එච්.අයි.වී. වලට අදාළ සියලු ම තොරතුරු ඔබට ලබා ගත හැකිය. ශ්‍රී ලංකා ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන හරහා +94 703 733 933 සහ +94 112 667 163 යන ක්ෂණික ඇමතුම් දුරකථන අංක හදුන්වා දී ඇති අතර ඒ හරහා එච්.අයි.වී සම්බන්ධයෙන් ඔබට දැනුවත් විය යුතු කරුණු සහ තොරතුරු ලබා ගත හැකිය. 

නිගමනය: සරසවි සිසුන් 50කට ඒඩ්ස් යනුවෙන් ප්‍රධාන මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ පුවත ව්‍යාජයි. මෙම වසරේ මේ වන විට එච්.අයි.වී. ආසාදිතයන් 342ක් වාර්තා වී ඇති අතර එම පිරිස අතර විශ්ව විද්‍යාල ළමුන් 50ක් නොව 14ක් පමණ සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රී ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කර ඇත.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.

Share this post

Related Projects

Fact Check

FACT CHECK : நியூசிலாந்து தனது மக்களை இலங்கைக்கு செல்ல வேண்டாம் என்று சொல்லுமா?

இலங்கைக்கு விஜயம் செய்வது தொடர்பில் அந்நாட்டு மக்களுக்கு குறிப்பாக சுற்றுலாப் பயணிகளுக்கு வழங்கப்பட்ட அறிவுறுத்தல்களை நியூசிலாந்து அரசாங்கம் புதுப்பித்துள்ளதை கடந்த சில நாட்களாக அவதானிக்க முடிந்தது. இலங்கைக்கு …

Fact Check

FACT CHECK : Did New Zealand tell its residents not to visit Sri Lanka?

During the past couple of days, it has been observed that posts are being circulated on social media platforms displaying …

Fact Check

FACT CHECK : නවසීලන්තය එරට වැසියන්ට ශ්‍රී ලංකාවට යන්න එපා කියයි ?

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් නවසීලන්ත රජය එරට වැසියන්ට, විශේෂයෙන්ම සංචාරකයන්ට ලබාදෙන උපදෙස් යාවත්කාලීන කර ඇතැයි කියැවෙන සටහන් සමාජ මාධ්‍ය තුළ …

Uncategorized

අන්තර්ජාලය වසා දැමීමක් (Internet Shutdown) යනු කුමක්ද?

(දකුණු සහ අග්නිදිග ආසියාතික සිවිල් සමාජයන් සඳහා මාර්ගෝපදේශයකි) URL: https://engagemedia.org/2022/internet-shutdowns-south-southeast-asia/  ඩිජිටල්කරණයට ලක් වී ඇති වත්මන් සමාජය තුළ, අන්තර්ජාලයට ප්‍රවේශ වීම …

Fact Check

FACT CHECK : විෂාදය කියන්නේ බොරුවක් ද?

විෂාදය සම්බන්ධයෙන් මෙලෙස අලුත් වටයකින් කතාබහක් ඇති වූයේ ඇන්ඩෘ ටේට් නැමැත්තා මීට පෙර අවස්ථා කිහිපයකදී විෂාදය සම්බන්ධයෙන් පළ කළ අදහස් …

Fact Check

FACT CHECK : උප්පැන්න සහතික වෙනුවට මරණ සහතික අයදුම්පත් නිකුත් කළා ද?

“උප්පැන්න සහතික අයදුම්පත් අවසන් වී ඇති බැවින් මරණ සහතික අයදුම්පතෙහි උප්පැන්න බව සඳහන් කොට අවශ්‍ය තොරතුරු පුරවන්න”  යනුවෙන් සඳහන් කළ …