FACT CHECK : ආයුර්වේද දෙපාර්තමේන්තුව ප්‍රතිශක්තිකරණය/එන්නත්කරණය අදාළ කාඩ්පතක්/ලියවිල්ලක් නිකුත් කිරීමට කිසිදු පාර්ශවයකට අවසර දී නැහැ.

‘කොවිඩ්-19’ එන්නත්කරණ ක්‍රියාවලිය මේ වනවිට සිදුවෙමින් පවතී. 

‘කොවිඩ්-19’ එන්නත්කරණයෙන් පසු ලබාදෙන කාඩ්පත ළඟ තබා ගැනීම, පොදු ස්ථානවලට ගමන් කිරීමේදී කාඩ්පත අනිවාර්ය කිරීම යනාදිය සම්බන්ධයෙන් මේ වනවිට රජයේ අවධානය යොමු වී තිබෙන අතර සමාජ මාධ්‍ය ජාල තුළ ද මේ සම්බන්ධයෙන් කතාබහක් ඇති වී තිබේ. 

‘කොවිඩ්-19’ එන්නත්කරණ කාඩ්පතක් අවශ්‍ය නැති බවත් ‘කොවිඩ්-19’ එන්නත්කරණයට ලක් නොවී කාඩ්පතක්/ප්‍රතිශක්තීකරණ කාඩ්පතක් ලබාගත හැකි බවට දැක්වෙන ෆේස්බුක් සටහන් (Facebook Posts) අපට නිරීක්ෂණය විය. 

මෙතැනින්

ඊට අදාළ ස්ක්‍රීන්ෂොට්ස් පහතින් දැක්වේ. 

මෙය තවදුරටත් සංසරණය/හුවමාරු වී තිබූ අයුරු පහත දැක්වෙන ස්ක්‍රීන්ෂොට්ස්වලින් (Screenshots) දැක ගත හැකි ය. 

මෙලෙසෙ දේශීය වෛද්‍යවරුන් ප්‍රතිශක්තිකරණ කාඩ්පතක් ලබාදෙනවා යැයි ඒවා බොහෝමයක සඳහන්ව තිබිණි. 

එහි සඳහන්ව ඇති දුරකතන අංකයකට ඇමතුමක් ලබාදෙමින් අප මේ සම්බන්ධයෙන් විමසීමක් කරන ලදි. 

අදාළ ප්‍රතිශක්තිකරණ කාඩ්පත ලබාදෙන්නේ ඔවුන් සතුව ඇති ඖෂධයක් ලබාගැනීමෙන් පසු යැයි දුරකතන ඇමතුමට පිළිතුරු දුන් පුද්ගලයා පැවැසීය. 

මෙහිදි අදාළ ඖෂධය හෝ මෙම ක්‍රියාවලිය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත්දැයි විමසූ විට ඔහු “නැත” යනුවෙන් පිළිතුරු දුන්නේ ය. 

මීට අදාළ වෛද්‍යවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද ඔවුන් ඊට නිසි පිළිතුරු ලබානොදුන් අතර මේ සම්බන්ධයෙන් අප ඉදිරිපත් කළ ප්‍රශ්නවලට ද නිසි පිළිතුරු ලබා නොදුන්නේ ය. 

අප මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් විමසීමක් කරන ලදි. ඔහුගේ සම්පූර්ණ පිළිතුර පහතින් දැක්වේ. 

“යම් ආකාරයකට කාඩ් පතක් හෝ වෙන මොනවා හරි නිකුත් කරනවානම් එය සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම කටයුතු කළ යුත්තේ, එවැනි දෙයක් කිරීම සඳහා යම්කිසි අධිකාරියකින් බලධාරියකුගෙන් අනුමැතියක් තියෙනවා දැයි කවුරු හරි ගිහිල්ලා විමසන්න ඕනෑ. ඒ සම්බන්ධයෙන් ඉන්න බලධාරියෙක් එය කළ යුතු යි. 

අපි දන්නේ නෑ ඔය කියන දෙයක් සිද්ධ වෙනවාද කියලා. මේ සම්බන්ධයෙන් කටයුතු කරනකොට, මම හිතන විදිහට මෙහිදී වියයුතු දේ තමයි, මේක මට ආරංචි වෙලා තියෙනවා ආයුර්වේද දෙපාර්තමේන්තුව සම්බන්ධ බව. එහෙම නම් ආයුර්වේද දෙපාර්තමේන්තුව මැදිහත් වෙන්නට වුවමනායි. එක්කෝ ආයුර්වේද ඖෂධයක් විදියට නිකුත් වෙනවා නම් ආයුර්වේද දෙපාර්තමේන්තුව මැදිහත් වෙන්න අවශ්‍ය යි. එහෙම නැත්නම් වෙන මොනවා හරි ශරීරයට අහිතකර දෙයක් සිදුවෙනවා නම්, වෙනත් මොනවාහරි දෙයක් වෙනවා නම් හෝ ඒකට අදාළ පොලිසිය හෝ වෙනත් බලධාරියකු විසින් මේ කටයුත්තට විමර්ශනය කරලා ඇත්ත නැත්ත හොයල බලන්න ඕනෑ. මේ කටයුත්තේදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවශ්‍ය කරන තොරතුරක් හෝ අනුමැතියක් ගැන හෝ කතා වෙනවා නම් ඒ ගැන නිල වශයෙන් දැනුම් දුන්නොත් අපිට ඒකට පිළිතුරක් දෙන්න පුළුවන්.

එහෙම නැත්තං තුන්වෙනියට තමා අපේ රෝහලට හෝ අපේ සෞඛ්‍ය බල ප්‍රදේශයක් තුළ ජනතාව විසින් පළාතේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරියාට පැමිණිල්ලක් කරනවා නම්, ඒ අයට පුළුවන් ඒ පිළිබඳව විමසීමක් කරන්න. ඒත් අපි කරන්නේ පොලිසියට දැනුම් දීම. මොකද අපිට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න නීතියක් නැහැ. එතකොට පොලීසියට හෝ ආයතනයකට දැනුම් දීම තමයි අපිත් කරන්නේ.”

අප මේ සම්බන්ධයෙන් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ආචාර්ය ධම්මික අබේගුණවර්ධන මහතාගේ විමසීමක් කරන ලදි. 

ආයුර්වේද කොමසාරිස් වෙත අප ඉදිරිපත් කළ ප්‍රශ්න සහ ඔහු ඒවාට ලබාදුන් පිළිතුරු පහත දැක්වේ. 

ප්‍රශ්නය – දේශීය වෛද්‍ය හෝ ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිශක්තිකරණ කාඩ්පතක් නිකුත් කරනවා ද ? නැතිනම් වෙනත් පාර්ශවයකට එවැනි අවසරයක් ලබා දී තිබෙනවා ද ?

පිළිතුර – ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ‘කොවිඩ්-19’ ප්‍රතිශක්තිකරණයට අදාළ කාඩ් පතක් නිකුත් කරන්නට හෝ වෙන යම් ආකාරයකට වයිරසයෙන් ආරක්ෂාව ලබාදෙන බව තහවුරු කරන්නට කාටවත් බලය දීලා නැහැ. කිසිදු ආයතනයකට ඒ සම්බන්ධයෙන් අවසරයක් ලබා දී නැහැ. මේ වගේ ප්‍රවෘත්ති මාධ්‍යවල පළ වෙනවා මාත් දැක්කා. විශේෂයෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කිට්ටු තැනක කියෙනවා කියලත් ප්‍රවෘත්ති පළ වී තිබුණා. අපිටත් අභියෝග කරමින් තමයි ඒ කටයුත්ත කෙරෙන්නේ. ඒවාට ආයුර්වේද දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ කිසිදු සම්බන්ධයක් නැහැ. 

ප්‍රශ්නය – ප්‍රතිශක්තිකරණයට අදාළ බෙහෙතක් නිකුත් කර තිබෙනවා ද ? 

පිළිතුර – එහෙම විශේෂ ප්‍රතිශක්තිකරණ බෙහෙතක් නැහැ. ප්‍රතිශක්තිකරණයට අදාළ ඖෂධ වර්ග තියෙනවා නමුත් ඒ ඖෂධ ගත්තාම ‘කොවිඩ්-19’ හැදෙන්නේ නෑ කියලා නැහැ කොහේවත් කියලා නැහැ. පරීක්ෂණාත්මක හෝ වෙන යමක් හෝ වෙන යම් ක්‍රමවේදයකින් තීරණයක් දැනුවත් කිරීමක් හෝ නිර්දේශයකින් එවන්නක් දැනුම් දී නැහැ. 

ප්‍රශ්නය – යම් ඖෂධයකට අවසර දී තිබෙනවා ද ?

පිළිතුර – ‘කොවිඩ්-19’ වයිරසයට අදාළව ප්‍රතිශක්තිකරයට වර්ධනයට අදාළව අපි ඖෂධ දාහතරක් ලියාපදිංචි කරලා තියෙනවා. එයින් ආයතන 13ක් පෞද්ගලික අංශයේ. ආයුර්වේද සංස්ථාව ඇතුළුව 14ක් තිබෙනවා.  ඊට අමතරව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද කොමසාරිස් යටතේ සුවධරණී චූර්ණය, ගුඩුඡ්ජාදී කසාය සහ ඖෂධීය ප්‍රතිශක්ති වර්ධක කැඳ හඳුන්වා දී තිබෙනවා. ඒවායින් ද අපි අපේක්ෂා කරන්නේ පුද්ගලයාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය පවත්වාගෙන යෑම පමණයි. ‘කොවිඩ්-19’ වයිරසයට මෙය බෙහෙතක් යැයි ද මෙම ඖෂධ ලබාගැනීමෙන් ‘කොවිඩ්-19’ වැළඳෙන්නේ නෑ කියලා අපි කොතැනකවත් කියලා නැහැ. ‘කොවිඩ්-19’ රෝගයෙන් ආරක්ෂා වීමට නම් ප්‍රධාන සෞඛ්‍ය පුරුදු පිළිවෙත් අනුගමනය කරන අතරම මෙවැනි ඖෂධ ලබාගැනීම හෝ බටහිර සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ලබාදෙන එන්නත් ලබාගත යුතු යි. මේවායින් තමයි අපට ආරක්ෂාව සලසාගන්න පුළුවන් වෙන්නේ. 

මේ අතර නව කොරෝනා වයිරසයට අදාළව (කොවිඩ්-19 වසංගතය) ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ප්‍රතිශක්ති වර්ධක ඖෂධීය නිෂ්පාදන 14ක් තිබේ. එම ප්‍රතිශක්ති වර්ධක ඖෂධීය නිෂ්පාදන ආයුර්වේද දෙපාර්තමේන්තු විසින් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කර තිබිණි. 

එම නිවේදනය පහතින් දැක්වේ. 

ප්‍රශ්නය – එන්නත්කරණයෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරන එන්නත් කාඩ්පත හැර ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් හෝ දේශීය වෛද්‍ය ආයතනයකින්/වෛද්‍යවරයකු ලියවිල්ලක් නිකුත් කරනවා ද ? 

පිළිතුර – එන්නත සම්බන්ධයෙන් වගකීම දරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්. ඒ වගේම දේශීය වෛද්‍ය අංශයෙන් යමක් නිකුත් කරනවා නම්, එහි වගකීම දරන්න ඕනෑ ආයුර්වේද කොමසාරිස්. ආයුර්වේද කොමසාරිස් මේ වන තෙක් එවැනි කාඩ්පතක් නිකුත් කිරීමට හෝ එවැනි දෙයකට රජයේ ආයතනයකට හෝ පෞද්ගලික ආයතනයකට, බලයක් හෝ නෛතික අවසරයක් හෝ ලබා දී නැහැ. 

අප මීට පෙර ආයුර්වේද දෙපාර්තමේන්තුව/දේශීය වෛද්‍ය/ඖෂධ ආදිය ගැන කරුණු ඇතුළත් කරුණු පරීක්ෂා කරන ලදි. 

ඊට අදාළ සබැඳිය (Link) පහතින් දැක්වේ. 

නව කොරෝනා වයිරසයට ප්‍රතිකාර යනුවෙන් සමාජ මාධ්‍ය පළ වන බෙහෙත් වට්ටෝරු පිළිගත් ඒවා නොවේ. / අත්දුටු නොවේ.

අපගේ නිගමනය

ශ්‍රී ලංකා රජය ‘කොවිඩ්-19’ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරයි. 

සෞඛ්‍ය අමාත්‍යාංශය, වසංගත රෝග විද්‍යා අංශය, ‘කොවිඩ්-19’ පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය යනාදී රාජ්‍ය ආයතන එක්ව එන්නත්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරයි. 

ශ්‍රී ලංකාව තුළ කොවිෂීල්ඩ්/ඇස්ට්‍රාසෙනකා, සයිනෝෆාම්, ස්පුට්නික් V, ෆයිසර් (ෆයිසර්/බයෝඇන්ටෙක්), සහ මොඩර්නා යන එන්නත් ලබාදෙයි. 

එම එන්නත්වල පළමු මාත්‍රාව ලබාදීමෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරීන් අදාළ එන්නතේ නම, එන්නත ලබාදුන් දිනය, කී වෙනි මාත්‍රවාද යන කරුණු ඇතුළත් කාඩ්පතක් නිකුත් කරයි. 

එය හැර වෙනත් කිසිදු නිල එන්නත් කාඩ්පතක්/ලියවිල්ලක් රජය මඟින් නිකුත් නොකරයි. 

එන්නත්කරණයට අදාළ සියලු තොරතුරු වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. මෙතැනින්

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …