FACT CHECK : උප්පැන්න සහතික වෙනුවට මරණ සහතික අයදුම්පත් නිකුත් කළා ද?

“උප්පැන්න සහතික අයදුම්පත් අවසන් වී ඇති බැවින් මරණ සහතික අයදුම්පතෙහි උප්පැන්න බව සඳහන් කොට අවශ්‍ය තොරතුරු පුරවන්න”  යනුවෙන් සඳහන් කළ දැන්වීමක ඡායාරූපයක් ගෙවුණු පැය කිහිපයේදී සමාජ මාධ්‍යවල හුවමාරු වන ආකාරය දක්නට ලැබිණි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ ද ප්‍රවෘත්ති පළ කර තිබිණි. 

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ අතර මෙම ඡායාරූපය උමංග නමැති සමාජ මාධ්‍ය පරිශීලකයකු ජනවාරි 16 වැනිදා රාත්‍රී 10.44‌ට පමණ ෆේස්බුක් ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති බව නිරීක්ෂණය විය. “තමන් මෙම ඡායාරූපය සමාජ මාධ්‍යයෙන් ලබාගත් බවත් මේ දැන්වීම ප්‍රසිද්ධ කර ඇත්තේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බවත්” මේ සම්බන්ධයෙන් හෑෂ්ටැග් පරපුර කළ විමසීකදී ඔහු පැවැසීය. 

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් ජී.එස්.පී. අබේවර්ධන මහතාගෙන් විමසීමක් කළේ ය. 

තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුවත් කර ඇති බවට කිසිදු සාක්ෂියක් නැති බවත් තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩදාසී සැපයීමේදී යම් ප්‍රමාදයක් සිදුව ඇති බවත් අබේවර්ධන මහතා කීවේ ය. 

එමෙන්ම උප්පැන්න සහ මරණ සහතික අයදුම්පත් පිරවීමේදී ක්ෂණික ක්‍රියාමාර්ගයක් ලෙස මෙලෙස උප්පැන්න සහතික අයදුම්පත වෙනුවට මරණ සහතික අයදුම්පත පිරවීම කාලයක සිට සාමාන්‍යයෙන් සිදුවන බවත් හෙතෙම කීය. 

රෙජිස්ට්‍රාර් ජනරාල් ජී.එස්.පී. අබේවර්ධන‌ මහතා තවදුරටත් මෙසේ ද කීය. 

“තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉහළ නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කර ඇති බවට කිසිදු සාක්ෂියක් මේ වන තෙක් ඔවුන්ට කියාගන්නට බැරි වෙලා තියෙනවා. තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කොළ සැපයීමේදී යම් ප්‍රමාදයක් සිදු වෙලා තියෙනවා. එච්චරයි. ඊළඟ කාරණාව ඉස්සර ඉදන්ම උප්පැන්න මරණ සහතික අයදුම්පත් පිරවීමේදී මෙම ක්‍රියාව කරනවා. ක්ෂණික ක්‍රියාමාර්ගයක් විදිහට මෙහෙම සාමාන්‍යයෙන් ෆෝම් එක පුරවනවා. ඒ කියන්නේ ඒ අයදුම්පත්වල  උඩ තියෙන උපත මරණය කියන කෑල්ල විතරයි වෙනස් වෙන්නේ. ඇතුළාන්තය සම්පූර්ණයෙන්ම එකයි. අපි කවදාවත් උප්පැන්න සහතිකයය වෙනුවට මරණ සහතිකය හෝ මරණ සහතිකය වෙනුවට උප්පන්න සහතිකය දීලා නෑ. නමුත් මං හිතන්නේ පළවෙනි වතාවට දැන්වීමක් මගින් ඒක ප්‍රදර්ශනය කරලා තියෙනවා තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඉතිං ඒක කවුරු හරි ෆොටෝ එකක් අරන් සමාජ මාධ්‍ය වෙත මුදා හැරලා තියෙනවා. මේ සේවාවේ ප්‍රධානතම අරමුණ හරි කොළේ පුරවන එක නෙමෙයි මිනිස්සුන්ට ඉක්මනට ඒ සේවය කරලා දෙන එක”

“තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුව ඇති උප්පැන්න සහතික අයදුම්පත් අවසන් වෙලා. අපිට දිනකට අයදුම්පත් 150ක් පමණ අවශ්‍ය වෙනවා. මිනිස්සු ඇවිල්ලා කොළ නැතුව විවිධ අපහසුතාවලට මුහුණ දෙනවා. අපි ගාව මරණ සහතික අයදුම්පත් දහස් ගණනක් තිබුණ නිසා එම අයදුම්පතේ මරණය කියන ස්ථානය කපලා උප්පැන්න කියලා ලියලා බාරදෙන්න කියලා අපි එන ජනතාවට කිව්වා. ඒ වගේම අපි මේ ගැන ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැනුවත් කළා. ඔවුන්ට මේ සම්බන්ධයෙන් වාචිකව දැනුම් දුන්නා. මේ මොහොත වෙනකොටත් අපිට අවශ්‍ය ප්‍රමාණයට උප්පැන්න සහතික ලැබිලා නෑ, තවමත්. මේ කාර්යාලයට එන මිනිසුන්ව රස්තියාදු කරන්න බැරි නිසා තමයි අපි එහෙම කරේ” යැයි හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනියක් ජනවාරි 18 වැනිදා ප්‍රකාශ කළා ය. 

එමෙන් ම රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සිවිල් කටයුතු ලියාපදිංචි භාර අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් ජී.ඒ.එල්.ඩී. ගනේපොල මහත්මියගෙන් හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් විමසීමක් කළේ ය. 

“මීට කලින් කොළ හිඟයක් තිබුණා. දැනට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ආකාරයට එවැනි වැඩපිළිවෙළක් මීට මාස 6කට පෙර අනුගමනය කළා. මේ වෙද්දි එහෙම කිසිදු කොළ හිඟයක් නෑ. ඒ වගේම මේ වෙද්දි ලක්ෂ හතරකට ආසන්න වෙන්න, අවශ්‍ය මුද්‍රණය කළ ලියකියවිලි අප සතුව තිබෙනවා. තවත් ලක්ෂ පහක් මුද්‍රණය සඳහා ලබා දී තිබෙනවා. අවුරුද්දකට තුන් ලක්ෂ විසි දාහක් පමණ ලියකියවිලි අවශය වෙනවා. සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන ඡායාරූපය නිලධාරියකුගේ අත්වැරැදීමකින් ප්‍රසිද්ධියට පත් කළ ඡායාරූපයක්” යැයි ද ගනේපොල මහත්මිය අප වෙත සඳහන් කළා ය. 

නිගමනය: “උප්පැන්න සහතික අයදුම්පත් අවසන් වී ඇති බැවින් මරණ සහතික අයදුම්පතෙහි උප්පැන්න බව සඳහන් කොට අවශ්‍ය තොරතුරු පුරවන්න”  යනුවෙන් සඳහන් කර ඇති දැන්වීමේ ඡායාරූපය තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගන්නා ලද ඡායාරූපයකි. එම කාර්යාලයේ මේ වනවිට උප්පැන්න සහතික අයදුම්පත්වල හිඟයක් පවතී. ඊට විකල්පයක් ලෙස උප්පැන්න සහතික අයදුම්පත වෙනුවට මරණ සහතික අයදුම්පත වෙනුවට මරණ සහතික අයදුම්පත තාවකාලිකව යොදාගැනීමට තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පියවර ගෙන ඇත. 

කෙසේ නමුත් උප්පැන්න සහ මරණ සහතික අයදුම්පත් පිරවීමේදී හදිසි සහ තාවකාලිකව ගන්න ක්ෂණික ක්‍රියාමාර්ගයක් ලෙස උප්පැන්න සහතික අයදුම්පත් වෙනුවට මරණ සහතික අයදුම්පත පිරවීම කලක පටන් සිදුවන්නක් බව රෙජිස්ට්‍රාර් ජනරාල් ජී.එස්.පී. අබේවර්ධන මහතා පැවැසීය. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …