වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා 2022 ජූලි 17 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් රට තුළ හදිසි නීතිය පැනවීය. හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් රට තුළ කතාබහක් ඇති වූ අතර ඊට අදාළව ඇතැම් පාර්ශව අධිකරණ ක්‍රියාමාර්ග ද ගත්තේ ය. ඊට අමතරව හදිසි නීතිය හේතුවෙන් LGBTIQ+ ප්‍රජාවට බලපෑමක් එල්ල වන බවට ද කතාබහක් සමාජය තුළ නිර්මාණය වී තිබිණි.
මීට අදාළව සමාජ මාධ්‍ය තුළ ද කතාබහක් ඇති වී තිබූ අතර විශේෂයෙන් ම ෆේස්බුක් (Facebook), ට්විටර් (Twitter) සහ වට්ස්ඇප් (Whatsapp) ඔස්සේ ද මේ සම්බන්ධයෙන් සංවාද සිදුවිණි. මීට අදාළ ව වට්ස්ඇප් (Whatsapp) ඔස්සේ පහත දැක්වෙන තිර ඡායාරූපය (Screenshot) සංසරණය වන අයුරු ද නිරීක්ෂණය විය.
ඊට අමතරව පහත දැක්වෙන ආකාරයේ සටහන් ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලය තුළ දක්නට ලැබිණි. ඊට අමතරව වෙබ් අඩවි ද මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබිණි.

රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාල සීමාව තුළ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 (1) ඈ ප්‍රකාරව අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් හදිසි නීතිය පැනවීය.
2022 ජූලි 17 දිනැති අංක 2288/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය. මෙතැනින්,
මේ සම්බන්ධයෙන් පළ වී තිබූ පුවත් වාර්තාවක්. මෙතැනින්,
හදිසි නීතිය සම්බන්ධයෙන් හෑෂ්ටැග් පරපුර මීට පෙර කරන ලද කෙටි පැහැදිලි කිරීම්, මෙතැනින්, මෙතැනින්
හදිසි නීතිය මහජනතාවට බලපාන්නේ කෙසේ දැයි නීතිඥ ජගත් ලියනආරච්චි මහතා ලියන ලද ලිපියක්. මෙතැනින්
LGBTIQ+ ප්‍රජාවට හදිසි නීතිය බලපාන්නේ කෙසේද ?
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ (1883) 365 සහ 365අ වගන්තිවලට අනුව “ස්වභාවධර්මයට එරෙහි ලිංගික සංසර්ගය” සාපරාධී වරදක් වන අතර ඒවා “තදබල අශෝභන ක්‍රියා” ලෙස හඳුන්වනු ලබයි. එම වගන්ති 3 යොදා ගෙන ඇති පදවලට දණ්ඩ නීති සංග්‍රහයේ පැහැදිලි නිර්වචනයක් ලබා දී නැත.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ අත්අඩංගුවට පත්වන LGBTIQ+ ප්‍රජාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම වගන්ති දෙක භාවිත කරයි.
එකඟතාවය මත ඇතිවන සමලිංගික සබඳතා සාපරාධීකරණය කිරීමට ප්‍රයෝගිකව මෙම වගන්ති දෙකම යොදාගෙන තිබේ. මෙම ‘අපරාධයට’ වරදකරු වන පුද්ගලයකු වසර දහයක් දක්වා වූ සිරදඬුවමකට යටත් කළ හැකිය.
දණ්ඩ නිති සංග්‍රහය හෝ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු තැනක LGBTIQ+ යනුවෙන් සෘජු ආමන්ත්‍රණයක් නොමැති අතර ඉහත සදහන් වගන්තියට එම ප්‍රජාව අයත් වේ.
හදිසි නීතියක් නොමැති අවස්ථාවක 365, 365අ වගන්තිය යටතේ ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා එම වගන්ති භාවිත කරන ලදි. නමුත් හදිසි නීතියක් බලපැවැත්වෙන අවස්ථාවක කිසිදු වරෙන්තුවක් නොමැතිව ඕනෑම අවස්ථාවක ඕනෑම පුද්ගලයෙකුව ඔහු හෝ ඇය සිටින ස්ථානයට බලෙන් හෝ ඇතුළු වී අත්අඩංගුවට පත් කිරීමේ හැකියාවක් තිබේ.
365 සහ 365 අ යන වගන්ති ගැසට් නිවේදනයෙන් ඉවත් කළා ද ?
LGBTIQ+ ක්‍රියාධරයන්, නීති විශාරදයන් සහ සිවිල් ක්‍රියාකාරීන් විසින් දිගින් දිගටම මෙයට දැඩි විරෝධයක් පළ කළ අතර ඉන් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට සිදුවන හානිය පිළිබඳව දැනුවත් කිරීමටත් පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වය සහ සම්මුතිගත වැඩිහිටියන් දෙදෙනෙකු අතර ඇතිවන ප්‍රේමණීය හෝ ලිංගික සබඳතාවක් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ කෙසේද යන්න පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න කිරීමට කටයුතු කරන ලදී. මෙතැනින්.

ජනාධිපති මාධ්‍ය අංශය අගෝස්තු මස 05 වැනිදා මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළේ ය. මෙතැනින්
අදාළ නිවේදනයේ ඡායාරූප පහතින් දැක්වේ.
එම නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.
“අද වන විට LGBTIQ+ ප්‍රජාව සම්බන්ධයෙන් හදිසි නීතිය මත ගැටලුකාරී තත්ත්වයක් පැන නගින බවට තමන් වෙත වාර්තා වී ඇති බවත් එය ඉවත් කිරීම සඳහා අවශ්‍ය නීති පසුබිම සකස් කරන ලෙස තමන් විසින් නීතිපතිවරයාව දැනුවත් කොට ඇති බවත් ජනාධිපතිතුමා පැවසීය.”
ඉන් අනතුරුව අගෝස්තු මස 5 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේ ය.
ඒ අනුව, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ 365 ( අ ) සහ 365 (ආ) වගන්ති ඉවත් කර එම සංග්‍රහයේ 408 සහ 410 සිට 420 දක්වා වගත්ති හදිසි නීති වලට අදාළව ඇතුළත් කර තිබුණි.
එම අති විශේෂ ගැසට් නිවේදනයට, මෙතැනින්.
මේ සම්බන්ධයෙන් පළ වී තිබූ පුවත් වාර්තා, මෙතැනින්, මෙතැනින්.
හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් නීතිඥ ඉෂාරා ජයසේන මහත්මියගෙන් විමසීමක් කළේ ය.
ඇය ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස් පහතින් දැක්වේ.
“මෙහි 360 සහ 365 ආ වගන්තිවලින් දණ්ඩ නීති සංග්‍රහයේ සදහන් වෙන්නේ අස්වාභාවික වැරැදි යන්නයි. එමගින් ඍජුව ඉලක්ක ගත වෙන්නේ LGBTIQ+ ප්‍රජාවයි. ඒ අනුව හදිසි අවස්ථා නීති රෙගුලාසි ගැසට් නිවේදනය මත LGBTIQ+ ප්‍රජාවගේ අයිතිවාසිකම්වලට තර්ජනයක් සහ බලපෑමක් එල්ල වුණා. එනම් පෞද්ගලිකත්වයට ඇති අයිතිය සහ ඕනෑම ලංකාවේ පුරවැසියකුට ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 ව්‍යවස්ථාවේ සදහන් වෙනවා “නීතිය ඉදිරියේ සමානාත්මතාවය” කියලා කරුණක්. LGBTIQ+ ප්‍රජාවගේ මේ නීතියට තියෙන සමානාත්මතාව තර්ජනයට ලක්වුණා වගේම උල්ලංඝනය වුණා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.2 ව්‍යවස්ථාවට අනුව වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුතු යි.
මේ අවස්ථාවේදී හදිසි අවස්ථා නීති රෙගුලාසි වල අරමුණෙන් බැහැරව LGBTIQ+ ප්‍රජාවට එරෙහිව හදිසි අවස්ථා නීති රෙගුලාසි භාවිත කළා යන අදහස ඇති වෙලා තිබුණා.
මේ සම්බන්ධයෙන් LGBTIQ+ ප්‍රජාවෙන් විරෝධයක් එල්ල වුණා. ඒ වගේම ඔවුන් ඊට එරෙහිව හඬ නැගුවා.
ඉන් පසුව 2022 අගෝස්තු 5 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනය හරහා LGBTIQ+ ප්‍රජාවගේ අයතිවාසිකම්වලට තර්ජනයක් වන හදිසි අවස්ථා නීති රෙගුලාසිවලින් 360 සහ 365 ඒ යන වගන්ති ඉවත් කිරීමක් සිදු විය.”
නිගමනය : ඉකුත් ජූලි මස 17 වැනිදා රට තුළ පැන වූ හදිසි නීතිය හේතුවෙන් LGBTIQ+ ප්‍රජාවට ඍජු බලපෑමක් වූ බව ඉහත කරුණු සැලකිල්ලට ගැනීමේ දී අපට නිගමනය කළ හැකි ය. ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඇති වූ කතාබහ සහ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස හදිසි නීතිය පැනවීම මඟින් දණ්ඩ නීති සංග්‍රයේ 365 සහ 365අ යන වගන්තිවලින් LGBTIQ+ ප්‍රජාවට වන බලපෑම සැලකිල්ලට ගනිමින් අදාළ නෛතික වෙනස්කම් කරමින් අගෝස්තු මස 5 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරන ලද බව අපට තහවුරු කළ හැකි ය.
ජූලි මස 20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.
අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.