“Everyone is entitled to his own opinion, but not to his own facts.”
අදට යෙදෙන ජාත්‍යන්තර කරුණු පිරික්සීමේ දිනය වෙනුවෙන්…
“සෑම අයකුටම ඕනෑම මතයක් දැරිය හැකි ය. එහෙත් කරුණු එසේ නොවේ”
ඩැනියෙල් පැට්‍රික් –
ඇමෙරිකානු සෙනට් සභික
එක්සත් ජාතීන්ගේ සහ ඉන්දියාවේ හිටපු ඇමෙරිකානු තානාපති
‘කරුණු පිරික්සීම’ එසේත් නොමැතිනම් ‘ෆැක්ට් චෙකින්’ (Fact Checking) වර්තාමනය වනවිට බෙහෙවින් කතාබහට ලක්වන මාතෘකාවකි. කරුණු පිරික්සීම තොරතුරුවල නිරවද්‍යතාව සාක්ෂාත් කරගැනීම යන අදහසයි. වර්තමානය වනවිට වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් වුව ද සියවසකට පෙර සිට ක්‍රියාවට නැංවෙන්නකි.
‘ෆැක්ට් චෙකින්’ එහෙමත් නොමැති නම් ‘කරුණු පිරික්සීම’ සාම්ප්‍රදායික ජනමාධ්‍ය සංස්කෘතිය තුළ කාලයක් තිස්සේ පැවැතුණි. වාර්තාකරුවකුගේ ලිපියක කරුණු නැවත පරීක්ෂා කිරීම සඳහා කර්තෘ මණ්ඩලවල හා ප්‍රවෘත්ති මැදිරිවල වෙනම පිරිසක් සිටියහ. නූතන ජනමාධ්‍ය තුළ ‘කරුණු පිරික්සීමේ’ අලුත් පිළිවෙත ආරම්භ වූයේ 1920 දශකයේ දී ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ සති අන්ත සඟරාවක් වන ‘ටයිම්’ සඟරාව කරුණු පිරික්සීම ආරම්භ කළේය.
කරුණු පිරික්සීමේ සරල අදහස තොරතුරුවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට ඇති හැකියාව. ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභිකයකු සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ඉන්දියාවේ හිටපු ඇමෙරිකානු තානාපතිවරයකු වන ඩැනියෙල් පැට්‍රික් වරෙක මෙසේ ප්‍රකාශ කළේය.
“සෑම අයකුටම ඕනෑම මතයක් දැරිය හැකි ය. එහෙත් කරුණු එසේ නොවේ” .
ඕනෑම පුද්ගලයකුට ඕනෑම මතයක් දැරීමටත් සිය අදහස ප්‍රකාශ කිරීමට නිදහස තිබේ. එක්සත් ජාතීන්ගේ විශ්වීය මානව හිමිකම් ප්‍රකාශනයට අනුව ද තමන්ට කැමැති මතයක් දැරීම මූලික අයිතිවාසිකමකි. මතයක් පුද්ගලානුබද්ධ විය හැකි මෙන්ම හැඟීම් බද්ධ විය හැකි ය. කරුණු එසේ නොවේ. කරුණක සත්‍ය අසත්‍යතාව තහවුරු කළ හැකි ය. කරුණක නිරවද්‍යතාව සාක්ෂාත් කළ හැකි ය.
විසි එක්වන සියවසේ ආරම්භයත් සමඟ කර්තෘමණ්ඩල/ප්‍රවෘත්ති මැදිරිවල සාම්ප්‍රදායික කරුණු පිරික්සන්නන්ගේ කාර්යභාරය අවසන් වූ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘නිව්යෝකර්’ පුවත් සඟරාව සහ ජර්මනියේ ‘ඩ ස්පීගල්’ (ඩෑර් ස්පීගල්) පුවත් වෙබ් අඩවිය කර්තෘමණ්ඩල කරුණු පිරික්සන්නන්ගේ සේවය ලබාගනී.
පසුගිය දශකයක කාලයේ දී කරුණු පිරික්සීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය. විශේෂයෙන්ම ‘අසත්‍ය පුවත්’ (‘ෆේක් නිව්ස්’ (fake news)) කරළියට පැමිණීමත් සමඟ කරුණු පිරික්සීමේ අවශ්‍යතාව වෙනදාටත් වඩා ඉස්මතු විය.
‘අසත්‍ය පුවත්’ (‘ෆේක් නිව්ස්’ (fake news)) යන්න ද අලුත් විෂය ක්ෂේත්‍රයක් හෝ මාතෘකාවක් නොවේ. ඉතිහාසයේ පටන්ම විවිධාකාරයෙන් ‘අසත්‍ය පුවත්’ අප අතරේ පැවැතුණි. කෙසේ නමුත් 2016 වසරේ ඇමෙරිකානු ජනාධිපතිවරණයත් 2016 වසරෙන් පසුව අන්තර්ජාල තොරතුරු ව්‍යුහයට සිදු වූ බලපෑමත් යනාදිය මුල් කරගනිමින් ‘අසත්‍ය පුවත්’ සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇති විය.
අසත්‍ය පුවත් යන්නෙහි සරල අරුත වැරැදි/ව්‍යාජ හෝ නොමඟ යවන පුවත් යන්න යි. ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් දේශපාලනඥයන් මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ඉලක්ක කරගනිමින් ‘අසත්‍ය පුවත්’ හා අසත්‍ය පුවත් පතුරවන්නන් යනුවෙන් චෝදනා එල්ල කිරීමට පටන් ගත්තේ ය. ඇමෙරිකාවෙන් ආරම්භ වූ එම ප්‍රවණතාව ලොව පුරා වේගයෙන් පැතිර ගියේ ය.
ඉහත සඳහන් කළ අයුරින් ම ‘අසත්‍ය පුවත්’ අතීතයේ සිට විවිධාකාරයෙන් පැවැතුණි. සාම්ප්‍රදායික මාධ්‍ය තුළත් සාමාන්‍ය ජන ජීවිතයේදීත් අසත්‍ය පුවත් පැවැතුණි.
කෙසේ නමුත් සමාජ මාධ්‍යවල , විශේෂයෙන්ම ෆේස්බුක් හි ව්‍යාප්තියත් සමඟ අසත්‍ය පුවත් වේගයෙන් පැතිර යන්නට පටන් ගත්තේ ය.
‘ෆැක්ට් චෙකින්’ සාමාන්‍ය ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී ඇතැයි ඉන්ටර්නැෂනල් මීඩියා සපෝර්ට් (International Media Support) හි කලාපීය උපදේශක (ආසියානු) ආචාර්ය රංග කලන්සූරිය පවසයි.
“මීට අවුරුදු 15කට 20කට ශ්‍රී ලංකාවේ තිබුණේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පමණයි. ජනතාවට තොරතුරු ගියේ ජනමාධ්‍යවලින්. එහිදි මාධ්‍යකරණය කියන ක්‍රියාවලිය තුළින් ජනතාවට තොරතුරු ගියා. තොරතුරුවල නිරවද්‍යතාව සාක්ෂාත් කරගැනීම එහෙමත් නැතිනම් ‘ෆැක්ට් චෙකින්’ කියන්නේ මේ මාධ්‍යකරණය කියන ක්‍රියාවලියේ කොටසක්. ඒ නිසා තොරතුරුවල නිරවද්‍යතාව පරීක්ෂා කරගන්න අලුත් ක්‍රමවේද හෝ පද්ධතිවල අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ. කර්තෘමණ්ඩල/ප්‍රවෘත්ති මැදිරි ඇතුළෙම ඒ සඳහා අවස්ථාව තිබුණා. මාධ්‍යවේදියටත් ඒ සඳහා හැකියාවක් තිබුණා.
සමාජ මාධ්‍ය පැමිණීමත් සමඟ එය භාවිත කරන සෑම පුද්ගලයකුම අන්තර්ගත නිර්මාණය කරන්නෙක් (content creator) සංවර්ධනය කරන්නෙක් (content developer) බවට පත්වුණා. හැම පුද්ගලයෙක්ම මෙහෙම කරන්න ගියාම ඔවුන්ට තිබෙන අරමුණු වෙනස්, දැනුම් මට්ටම් වෙනස්. අරමුණු වෙනස් කිව්වාම ඊට ඇතුළත් වෙන දේවල් තියෙනවා. දේශපාලන, ව්‍යාපාරික වගේම පෞද්ගලික අරමුණු තියෙන්න පුළුවන්. තම තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්න ව්‍යාජ තොරතුරු, දුස් තොරතුරු භාවිත කරනවා/ ප්‍රචාරය කරනවා. සමාජය වැරැදි මගට ගන්න, නොමඟ යවන්න ව්‍යාජ (misinformation), දුස් (disinformation) සහ දුෂ්ට (malinformation) තොරතුරු නිෂ්පාදනය කරනවා. ඒ සඳහා ක්‍රමවේදත් තිබෙනවා. මේවා කොච්චර දුරට තියෙනවා ද කියනවා නම් ඒවා කර්මාන්තයක් බවට පත්ව තිබෙනවා. ඒවා වාණිජව නිෂ්පාදනය කරන මට්ටමට ඇවිත් තියෙනවා. ව්‍යාජ , දුස් සහ දුෂ්ට තොරතුරු නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ඇති වී තිබෙනවා.
ඒකට එරෙහිව පියවර ගන්න, ඒවා පාලනය කරන්න, හඳුනාගන්න, ඊට විරුද්ධව පියවර ගන්න එක සෑහෙන්න වෙහෙසක් දරන්න සිදුවෙන වැඩක් වෙලා තියෙනවා. මෙවැනි දේවල්වලට බොහෝ අය සම්බන්ධ වෙන්න පුළුවන් නිසා තවත් දුෂ්කරයි.
ෆැක්ට් චෙකින් කියන දේ වැදගත් අංගයක් බවට පත්වෙලා තියෙන්නේ මේ නිසයි. කරුණු පිරික්සීමත් මේ වනවිට කර්මාන්තයක් බවට පත්ව තිබෙනවා. එයත් ආයතනගත වෙලා තියෙනවා.
විශේෂයෙන්ම මැතිවරණ කාලසීමාවලදී රටක තිබෙන ෆේස්බුක් ප්‍රොෆයිල් (Facebook profiles/ ෆේස්බුක් ගිණුම්)/ ෆේස්බුක් පිටු (Facebook pages) ගණන ගණන සියයට 10කින් 15කින් වැඩි වෙනවා. මේ වැඩි වෙන්නේ ව්‍යාජ ගිණුම්වලින් (fake profile) මැතිවරණ ප්‍රචාරණ (කැම්පේන්/campaign) කරන්න යන නිසා. ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාව දක්වා සෑම භූදේශපාලන ප්‍රදේශයකම/රටාවකම මේ සමාජ මාධ්‍ය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර (social media campaign) කියන එක තියෙනවා. මේ ප්‍රචාරණ යටතේ ව්‍යාජ (misinformation), දුස් (disinformation) සහ දුෂ්ට (malinformation) තොරතුරු තුනම ප්‍රචාරණය කිරීමේ ලොකු කර්මාන්තයකුත් තියෙනවා. නැගෙනහිර යුරෝපීය රටවල් ඒවා කර්මාන්තයක් විදියට කරනවා. අපි ඒවා දැක්කා. ඇමෙරිකානු මැතිවරණයේදී අපි ඒවා දැක්කා සහ ඊට සාක්ෂි තියෙනවා.
මේ හේතුවෙන් කරුණු පිරික්සීම එහෙමත් නැතිනම් තොරතුරුවල නිරවද්‍යතාව සාක්ෂාත් කරගැනීමට ඉතා ඉහළ වටිනාකමක් ලැබී තිබෙනවා. ඒ වගේම එය ඉතා විශාල වැදගත්කමක් තිබෙන අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළත් මේ දේවල් දකින්න තියෙනවා. පරිසර විනාශය සම්බන්ධයෙන් ඇති වී තිබෙන කතාබහ තුළත් ව්‍යාජ තොරතුරු දුස් තොරතුරු මෙන්ම දුෂ්ට තොරතුරු රැසක් හුවමාරු වෙමින් තිබෙනවා. මේ බොහෝමයක් සිදුවෙන්නේ දේශපාලන අරමුණු එක්ක යි. මිනිස්සුන්ට ඇත්ත කියනවා වෙනුවට මිනිස්සුන්ට ලොකු අතිශෝක්තියක් එක්ක වැරැදි තොරතුරු ප්‍රචාරණය කරනවා. මේ නිසා අද වෙද්දි ‘ෆැක්ට් චෙකින්’ කියන දේ සාමාන්‍ය ජීවිතයේත් අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබෙනවා. තමන්ට ලැබෙන තොරතුරු කොච්චර දුරට නිවැරැදි ද කියලා සමාජ මාධ්‍ය භාවිත කරන කෙනෙක්, ජංගම දුරකතනයෙන් ෆේස්බුක් යන කෙනෙක් හැමතිස්සේම මේ ෆීඩ් (Facebook News Feed) එකේ උඩට පහළට යනකොට හැමතිස්සේම අනිවාර්යෙන්ම කල්පනා කරන්නේ වුවමනායි. ඒ වගේම ඒවායේ තිබෙන හරි වැරැද්ද තෝරා බේරාගැනීම, පෙරා මැන බලා සසඳා ගැනීම (filter/ෆිල්ටර් කරගැනීම) අත්‍යවශ්‍යයි. ඒ අත්‍යවශ්‍ය කාරණයේ ප්‍රධාන කොටස තමයි ‘ෆැක්ට් චෙකින්’ කියන්නේ.”
අසත්‍ය පුවත්වල ඇති භයානකකම වන්නේ ඕනෑම අයකුට පහසුවෙන් ඒවා ලබාගැනීමට ඇති හැකියාව. ලොවපුරා මාධ්‍ය ආයතන සිය ප්‍රවෘත්තිවල යම් කිසි මුදල් අය කිරීමක් කරයි. එසේ වුවත් අසත්‍ය පුවත්වලට එවැන්නක් නොමැත. ගුණාත්මක ජනමාධ්‍යවලට පිවිසීමට හැකියාවක් නොමැති සහ ස්වාධීන/පොදු මාධ්‍ය සේවා පහසුකම් නොමැති ඕනෑම අයකු පහසුවෙන්ම අසත්‍ය පුවත්වල ගොදුරු බවට පත්විය හැකි ය. වර්තමානය වනවිට ස්වාධීන/පොදු මාධ්‍ය සේවා ද අසත්‍ය පුවත් බෙදාහැරීම තවත් අභියෝගයකි.
අසත්‍ය පුවත් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වර්ග කර පෙන්විය හැකි ය. පළමුවැන්න ව්‍යාජ තොරතුරු ය, දෙවැන්න දුස් තොරතුරු ය. තෙවැන්න එසේත් නැතිනම් ප්‍රධාන අසත්‍ය පුවත් කාණ්ඩය වන්නේ දුෂ්ට තොරතුරු ය. ව්‍යාජ තොරතුරුවල ඇත්තේ වැරැදි අන්තර්ගතයක් ය. ඒවායේ අරමුණ මහජනතාව නොමඟ යැවීම ය. දුස් හා දුෂ්ට තොරතුරු යන දෙවර්ගයටම හානි කිරීමේ අරමුණක් තිබේ. දුස් හා දුෂ්ට තොරතුරු ව්‍යාප්ත කිරීම මඟින් හානි පැමිණවීමේ උත්සහායක් ගනී.
වැරැදි, වෙනත් යමකට සමාන බව පෙන්වන, ගොතන/ගලපන ලද, මෙහෙයවන/වෙනස් කරන ලද අන්තර්ගත තොරතුරු දුස් තොරතුරුවලට අයත් වේ. කාන්දු වූ තොරතුරු (leaks), හිරිහැර කිරීම් සහ වෛරී ප්‍රකාශ යනාදී අන්තර්ගත දුෂ්ට තොරතුරුවලට අයත් වේ.
අසත්‍ය තොරතුරු ඉතා භයානක ය. ඒවා ජීවිත අහිමි කිරීහට තරම් ප්‍රබල ය. ඒ සඳහා උදාහරණය වැඩි ඈතකට නොගොස් අපට ලබාගැනීමට හැකි ය. ශ්‍රී ලංකාව තුළ මෑතකාලීන වසර කිහිපය තුළ සිදු වූ ඇතැම් සිදුවීම් දෙස බැලීමේ ද අපට ඒ සඳහා උදාහරණ සොයාගත හැකි ය.
සමාජ මාධ්‍ය සහ තාක්ෂණය උපකරණයක් කරගනිමින් අසත්‍ය තොරතුරු ඉතා වේගයෙන් ව්‍යාප්ත වනු අපට පසුගිය කාලයේ දී දිගින් දිගටම දක්නට ලැබිණි. සමාජය තුළ වෛරය ඇති කිරීමට ද අසත්‍ය පුවත් ඉතා ප්‍රබල බලපෑමක් කරයි. සමාජ මාධ්‍ය තුළ ක්‍රියාත්මක ඇල්ගොරිතම (algorithm) ක්‍රියාකරන ආකාරය භාවිත කරමින් අසත්‍ය පුවත් වේගයෙන් ව්‍යාප්ත වන ආකාරය අපට පසුගිය කාලයේ දී අපට දක්නට ලැබිණි.
අසත්‍ය පුවත්වල ප්‍රධාන අංග වන ව්‍යාජ (misinformation), දුස් (disinformation) සහ දුෂ්ට (malinformation) තොරතුරු භාවිත කරමින් ශ්‍රී ලංකාව තුළ අසමගිය හා බෙදීම් ඇති කරන ආකාරයත් වෛරය ව්‍යාප්ත කරන ආකාරයත් අපට පසුගිය කාලයේ දී දක්නට ලැබිණි. මෙය ශ්‍රී ලංකාවට පමණක් පොදු තත්ත්වයක් නොව ලොවපුරා දක්නට ලැබෙන තත්ත්වයකි.
කරුණු පිරික්සීමේ අවශ්‍යතාව පැන නැගීමත් සමඟ ලොවපුරා ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන කරුණු පිරික්සීමේ කාර්යභාරයක් ආරම්භ කරන ලදි. එය සාම්ප්‍රදායික කරුණු පිරික්සීමට එහා ගිය කාර්යභාරයක් වන අතර ක්‍රමවේදයකට අනුව එය සිදු කෙරේ. මෙම කර්තව්‍යය ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරයෙන් තරමක් ඔබ්බට ගිය එහෙත් ජනමාධ්‍යයේම අංගයක් යැයි කිව හැකි කාර්යභාරයකි. දේශපාලනඥයන්ගේ ප්‍රකාශවල සිට බොහෝ ආකාරයේ ප්‍රවෘත්ති මෙලෙස පිරික්සීමට ලක්‌වේ. ද නිව්යෝක් ටයිම්ස්, ද වොෂින්ටන් පෝස්ට්, සී.එන්.එන්, ඒ.පී. පුවත් සේවය, ප්‍රංශ පුවත් සේවය (ඒ.එෆ්.පී.) යනාදී ලොව ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන, පුවත්පත් හා ප්‍රවෘත්ති ආයතන ( News Agencies) කරුණු පරික්ෂාවේ/පිරික්සීමේ යෙදෙයි. ඇතැම් ඒවා තෙවැනි පාර්ශවවල සහාය ද ලබාගනී.
කරුණු පිරික්සන්නන් මහජනතාවගේ විශ්වාසය දිනාගත යුතු බවත් ඒ සඳහා ප්‍රතික්ෂේප කළ නොහැකි අයුරින් මහජනතාවට සත්‍ය තොරතුරු ලබාදිය යුතු බවත් ‘සිටිසන් ෆැක්ට් චෙක් (Citizen Fact Check) හි සහකාර කර්තෘ මනෙෂ්කා බෝරම් පවසයි.
“අපි අද ජීවත් වෙන්නේ සමාජ තාක්ෂණ නිසා තොරතුරු ශීඝ්‍ර වේගයකින් ව්‍යාප්ත වන යුගයක. හරි හෝ නිවැරැදි තොරතුරක් තත්පර ගණනක් තුළ භූ දේශසීමා ඉක්මවමින් සිය දහස් ගණනක ජනතාවකට ළඟා වෙයි. එම තොරතුරු වැරැදි නම් ඉන් සමාජයට වෙන්න පුළුවන් හානිය ඉතා බරපතළයි. මහනුවර දිගන ප්‍රදේශයේදී 2018 වසරේ සිදු වූ මුස්ලිම් විරෝධී කලකෝලහල ඊට කදිම උදාහරණයක්. සමාජ මාධ්‍ය ඇතුළු විවිධ වේදිකා තුළින් වැරැදි තොරතුරු රැසක් ප්‍රචාරය වුණා. මේ හේතුවෙන් ඒ වනවිටත් පැවැති භයානක තත්ත්වයක් තවදුරටත් උග්‍ර අතට හැරුණා. එම තත්ත්වය පාලනය කිරීම සඳහා සමාජ මාධ්‍ය අවහිර කිරීමට එවකට රජය පියවර ගත්තා. මේ තත්ත්වය දැන් ලොව පුරා දකින්න තියෙනවා. දියුණු සහ සංවර්ධිත රටවල ද මේ තත්ත්වය දකින්න තියෙනවා.
තොරතුරු වේගයෙන් ව්‍යාප්ත වන වත්මන් යුගය තුළ ව්‍යාජ හා දුස් තොරතුරු පාලනය කිරීමට අන් කවරදාකටත් වඩා කරුණු පිරික්සීමේ (ෆැක්ට් චෙකින්) අවශ්‍යතාව පැන නැගී තිබෙනවා.
එක දිගට වෙඩි තබනාවක් මෙන් තොරතුරු වාර්තා පැමිණෙද්දි කරුණු පිරික්සීමේදී කිරීම තොරතුරුවල නිරවද්‍යතාව සාක්ෂාත් කරගැනීම පහසු දෙයක් නෙමෙයි. කෙසේ නමුත් ජනතාවට තොරතුරු ලබාදීම සඳහා කරුණු පිරික්සීම ඉදිරියට ගෙන යා යුතු වෙනවා.
කරුණු පිරික්සීම එසේත් නැතිනම් තොරතුරුවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීම ජනමාධ්‍යයෙන් ඔබ්බට ගිය වෙනම රාජකාරියක් බවට පත්ව තිබෙනවා. අද වෙද්දි පිළිගත් හා සම්මත මාධ්‍ය ආයතන ද දැනුවත්ව හෝ නොදැනුවත්ව අසත්‍ය ප්‍රවෘත්ති ව්‍යාප්ත කරන අය බවට පත්ව තිබෙනවා. මේ නිසා ජනතාව කරුණු පිරික්සන්නන් විශ්වාස කළ යුතු යි. එසේ විශ්වාසය ඇති කරගැනීමට නම් කරුණු කරුණු පිරික්සන්නන් ජනතාවට ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍ය ලබා දිය යුතුයි. ඒ නිසා ආචාරධර්ම පිළිපදින්න ඕනේ. තොරතුරුවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමේදී කරුණු පිරික්සීමේ ආචාරධර්ම වගේම ජනමාධ්‍ය ආචාරධර්මත් පිළිපදින්න ඕනේ. ඒවා සියයට සියයක්ම පිළිපදින්න අවශ්‍යයි. එය ඉතා වැදගත් සහ අත්‍යවශ්‍යයි”.
කරුණු පිරික්සීමේ ආරම්භය වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරීඩා ජනපදයේ පිහිටි ‘ටැම්පා බේ ටයිම්ස්’ පුවත්පත (Tampa Bay Times – කලින් St Petersburg Times නමින් හැඳින්විණි) ‘පොලිටිෆැක්ට්’ (PolitiFact) යනුවෙන් කරුණු පිරික්සීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි. එම ව්‍යාපෘතියට 2009 වසරේ දී ඉතා ඉහළ පිළිගැනීමක් තිබෙන හොඳම ජාතික වාර්තාකරණයට හිමි පුලිට්සර් සම්මානය හිමිවිය. ‘ටැම්පා බේ ටයිම්ස්’ පුවත්පතේ හිමිකාරීත්වය දරන්නේ මාධ්‍ය අධ්‍යයනය සඳහා වූ පොයින්ටර් ආයතනය යි (The Poynter Institute for Media Studies). පොයින්ටර් ආයතනයේ මැදිහත් වීමෙන් 2015 වසරේ දී ජාත්‍යන්තර කරුණු පිරික්සීමේ ජාලය (The International Fact-Checking Network). එම ආයතනය විසින් කරුණු පිරික්සීම සඳහා ආචාරධර්ම සංග්‍රහයක් ද හඳුන්වා දී තිබේ.
කරුණු පිරික්සීම සඳහා භාවිත කරන සරල ක්‍රමවේදයක් තිබේ. කරුණු පිරික්සීම සඳහා විවිධ ආයතන එකිනෙකට වෙනස් ක්‍රමවේද භාවිත කරයි. කෙසේ නමුත් එහි මූලික ආකෘතිය බොහෝවිට සමාන වේ.
කරුණු පිරික්සීම කළ හැකි යම් ප්‍රකාශයක්/සිදුවීම් හෝ අන්තර්ගතයක් සොයාගැනීම සරල ක්‍රමවේදයේ පළමුවැන්නයි. දෙවැන්න ඒ සම්බන්ධයෙන් තිබෙන නිරවද්‍ය කරුණු සොයාගැනීමයි. තෙවැන්න සාක්ෂි හා නිරවද්‍ය කරුණු මත පදනම් වී අදාළ ප්‍රකාශය නිවැරැදි කිරීමයි.
කිසිම පක්ෂපාතීත්වයකින්, නැඹුරුවකින් හා පූර්ව විනිශ්චයවලින් තොරව කරුණු විමසීම ඉතාමත් වැදගත් සහ අත්‍යවශ්‍ය යැයි ද කරුණු පිරික්සන්නන් අඩු වැඩි කිරීමකින් තොරව කතන්දර නිර්මාණය කිරීමෙන් තොර වී සම්පූර්ණ සත්‍ය විස්තරය ඉදිරිපත් කළ යුතු යැයි ද මාධ්‍යවේදිනි/’ෆැක්ට් චෙකර් – ඒ.එෆ්.පී (Fact-Checker – AFP) ලක්නා පරණමාන්න කියයි.
“ව්‍යාජ තොරතුරු වේගයෙන් ව්‍යාප්ත වෙනවා. ඒවායින් හානි හා මතභේද වෙන්න පුළුවන්. එම නිසා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ සාවද්‍ය සහ ව්‍යාජ තොරතුරු වැළැක්වීම අත්‍යවශ්‍ය කරුණක්. ප්‍රංශ පුවත් සේවයට සෑම විටම කරුණු පිරික්සීම ඉතා වැදගත් වුණා. අන්තර්ජාලය තුළ ව්‍යාප්ත වන ව්‍යාජ තොරතුරුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රංශ පුවත් සේවය 2017 වසරේ දී ඩිජිටල් මාධ්‍ය තුළ තිබෙන තොරතුරුවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීම සඳහා කණ්ඩායමක් පත් කළා. කරුණු පිරික්සා කිරීම සහ සිදුවීම්වල නිරවද්‍යතාව පරීක්ෂා කිරීම පමණක් ප්‍රමාණවත් නෑ කියලා අපි තීරණය කළා. ඒ පමණක් ප්‍රමාණවත් නැහැ. අන්තර්ජාලය තුළ ව්‍යාප්ත වෙන අසත්‍ය හා ව්‍යාජ තොරතුරු අනාවරණය කළ යුතු වෙනවා.
ප්‍රබන්ධවලින් කරුණු වෙන් කර කියවා තේරුම් ගන්න එය මහජනතාවට වගේම අපගේ මාධ්‍ය සේවාදායකයන්ටත් ප්‍රයෝජනවත් වෙනවා කියලා අපි හිතනවා. එක සිදුවීමකින් නොමඟ යවන විදියේ කතා ගොඩක් නිර්මාණය වෙන්න පුළුවන්. ඉන් පස්සේ ඒවා අන්තර්ජාලය තුළ හුවමාරු වෙනවා. ඒත් සමඟ අන්තර්ජාලය භාවිත කරන්නන් සත්‍ය සොයාගැනීමේ ගැටලුවකට මුහුණ දෙනවා.
ප්‍රංශ පුවත් සේවය තුළ අපි කරුණු පිරික්සීම වෙනම ජනමාධ්‍යයෙන් වෙනස් දෙයක් විදියට සලකන්නේ නැහැ. අපේ කරුණු පිරික්සීමේ කණ්ඩායම කර්තෘමණ්ඩලයේම කොටසක්. අපි අපේ කර්තෘමණ්ඩල මූලධර්ම කරුණු පිරික්සීමටත් භාවිත කරනවා. එහෙම වුණත් ඇතැම් අවස්ථාවල යම් අයකු නිර්මාණය කරන දෙයක් විශේෂයෙන්ම ඩිජිටල් මාධ්‍ය තුළ ජනනය වන තොරතුරුවල නිරවද්‍යතාව කෙරෙහි අපි විශේෂ අවධානයක් යොමු කරනවා.
කිසිම පක්ෂපාතීත්වයකින්, නැඹුරුවකින් හා පූර්ව විනිශ්චයවලින් තොරව කරුණු විමසීම ඉතාමත් වැදගත් සහ අත්‍යවශ්‍යයි. කරුණු පිරික්සන්නන් අඩු වැඩි කිරීමකින් තොරව කතන්දර නිර්මාණය කිරීමෙන් තොර වී සම්පූර්ණ සත්‍ය විස්තරය ඉදිරිපත් කළ යුතු යි. ඒ නිසා ආචාරධර්මවලට අනුව කටයුතු කිරීම ඉතාම වැදගත්. කරුණු පිරික්සීමේ දී එය මූලික අවශ්‍යතාවක්. එයට සම්බන්ධ වීමත් අවශ්‍යයි. ප්‍රංශ පුවත් සේවය (AFP) ජාත්‍යන්තර කරුණු පිරික්සීමේ ජාලයේ (International Fact-Checking Network (IFCN)) අත්සන්කරුවෙක්.
ජාත්‍යන්තර කරුණු පිරික්සීමේ ජාලය (The International Fact-Checking Network) ප්‍රකාශයට පත් කර තිබෙන ආචාරධර්ම කෙටියෙන් මෙසේ ය. අපක්ෂපාතීත්වයට හා සාධාරණත්වයට කැපවීම, මූලාශ්‍රවල විනිවිදභාවය තහවුරු කිරීම (මූලාශ්‍රවල ආරක්ෂාවට තර්ජනයක් නොවන අවස්ථා හැර), ආයතනයේ සහ අරමුදල්වල විනිවිදභාවය, ක්‍රමවේදයේ විනිවිදභාවය, නිවැරැදි කිරීම් සහ විවෘතභාවයට ඇති කැපවීම එම මූලික ආචාරධර්ම ය.
ඩියුක් විශ්වවිද්‍යාලයේ දත්ත ගබඩාවේ පසුගිය වසරේ දත්තවලට අනුව මේ වනවිට රටවල් 84ක 308 දෙනෙක් කරුණු පිරික්සීමේ නිරත වෙති.
‘කොවිඩ්-19’ වසංගතයත් සමඟ අසත්‍ය පුවත් දහස් ගණනින් ලොවපුරා ව්‍යාප්ත වීමට පටන් ගැනිණි. මෙම ව්‍යාජ පුවත් මැඩ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර කරුණු පිරික්සීමේ ජාලය (The International Fact-Checking Network) මැදිහත්වීමෙන් කරුණු පිරික්සීමට ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණි. ඊට රටවල් 70කට වැඩි සංඛ්‍යාවක 100කට වැඩි පිරිසක් එක්වූහ. විශේෂයෙන්ම එය සිහිපත් කිරීම සඳහා අප්‍රේල් 2 වැනිදා කරුණු පිරික්සීමේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කර තිබේ.
අන්තර්ජාලය විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ තිබෙන තොරතුරු ලබාගැගනීමේ දී සහ තීරණාත්මක තීන්දු තීරණ ගැනීමේ දී කරුණු පිරික්සීම සහ ඉහත කී කරුණු සම්බන්ධයෙන් සැලකිලිමත් වීම ඉතා වැදගත්.