Hashtag Generation

භාෂණයේ නිදහස සහ ‘අනාරක්ෂිත’ පනත් කෙටුම්පත

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සැප්තැම්බර් මස 18 වැනිදා ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත් කෙරුණි. මෙම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත්වීමට පෙර ම ඒ සම්බන්ධයෙන් අන්තර්ජාලය හා භාෂාණයේ නිදහස පිළිබඳ උනන්දු බොහෝ දෙනා අතර සාකච්ඡාවක් ඇති විය. ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ සැප්තැම්බර් 4 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය යි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට සැප්තැම්බර් මස 4 වැනිදා පැවැති කැබිනට් හමුවේ දී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්විණි. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මුල් කතාබහ ඇති වන්නේ එවිට ය. 

ගෙවුණු කාලය සලකා බැලීමේ දී මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් වීමට ප්‍රධාන හේතුවක් ලෙස චැනල් 4 නාලිකාවේ විඩියෝ පටය සැලකිය හැකි ය. ඉකුත් 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව විඩියෝ පටයක් නිකුත් කරන බව ප්‍රකාශ කර තිබියදී මෙම පනත් කෙටුම්පත හදිසියේ ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූයේ සිතිය හැකි ය. චැනල් 4 නාලිකාව නිෂ්පාදනය කළ විඩියෝ ඊට පසුදින ප්‍රචාරය කෙරුණි. 

මෙම පනත් කෙටුම්පත ප්‍රසිද්ධියට පත් කළ ගැසට් පත්‍රයේ දිනය සැප්තැම්බර් මස 15 යැයි සඳහන් වුව ද එය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත් කෙරුණේ සැප්තැම්බර් මස 18 වැනිදා ය. මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරුණේ සැප්තැම්බර් 27 වැනිදා නමුත් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කෙරුණේ ඔක්තෝබර් මස 3 වැනිදා ය. 

ඒ අනුව මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කිරීමට මහජනතාවට දින 14ක කාලයක් ලැබුණි. දින 14 ගණනය කරන්නේ සැප්තැම්බර් 27 වැනිදා සිට ද එසේත් නැතහොත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ සිට ද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විවාදයක් ද පැන නැඟුණු අතර දින 14 ගණනය කරන්නේ ඔක්තෝබර් 3 වැනිදා සිට යැයි එහිදි ප්‍රකාශයට පත් කෙරුණි. අදාළ දින 14, ඔක්තෝබර් මස 17 වැනිදායින් අවසන් විය. 

කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන් පරිදි ඔක්තෝබර් 18 වැනිදා වනවිට පෙත්සම් 46ක් ඉදිරිපත් වී තිබිණි. මෙම පෙත්සම් විභාගයට ගැනීම ඔක්තෝබර් 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ආරම්භ වූ අතර නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා පැය තුනකට ආසන්න කාලයක් වැය කරමින් පනත් කෙටුම්පතට කමිටු අදියරයේදී ඇතුළත් කිරීමට නියමිත නව සංශෝධන රැසක් ඉදිරිපත් කළේ ය. මෙය පෙත්සම්කාර පාර්ශවවල නීතිඥයන්ගේ දැඩි අප්‍රසාදයට හේතු වූ අතර මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 (3) වගන්තිය උල්ලංඝණය කරන්නේ යැයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කරුණු දැක්වූහ. 

අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය හා ද්වේශ සහගත හැසිරවීම මඟින් සිදුවන හානිවලින් පොදු සමාජය ආරක්ෂ කිරීම අරමුණු කරගනිමින් මෙම පනත් කෙටුම්පත සකස් කළේ යැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්විණි. 

අසත්‍ය ප්‍රකාශ හෝ තර්ජනාත්මක, බියගන්වනසුළු හෝ පීඩාකාරී ප්‍රකාශ සන්නිවේදනය කිරීම මඟින් ඇති වන අලාභයකින් තැනැත්තන් ආරක්ෂා කිරීම, අධිකරණයට අපහාස වන්න වූ හෝ අධිකරයේ බලය සහ අපක්ෂපාතීත්වය පවත්වාගෙන යාමට අගතිගාමී වන්න වූ ප්‍රකාශ සන්නිවේදනය කිරීමෙන් ආරක්ෂ වීම තහවුරු කිරීම, මේ පනත යටතේ වූ වැරැදි සිදු කිරීම සඳහා මාර්ගගත ගිණුම් සහ බොට් (bot) අවභාවිත කිරීම හඳුනාගැනීම, වැළැක්වීම සහ එයට එරෙහිව ආරක්ෂාව සැලසීම සඳහා වූ පියවර හඳුන්වාදීම සහ ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ නැවත නැවතත් සන්නිවේදනය කරන්නා වූ මාර්ගගත ස්ථාන සඳහා මුදල් සැපයීම, එකී ස්ථාන ප්‍රවර්ධනය කිරීම සහ එම ස්ථානවලට වෙනත් ආධාර ලබාදීම වැළැක්වීම යනාදිය මෙම පනත් කෙටුම්පතේ අරමුණු ලෙස හඳුන්වා දී ඇත. 

මෙම පනත් කෙටුම්පත බැලූ බැල්මටම මහජනතාවගේ භාෂණයේ නිදහස ඉලක්ක කරගනිමින් ගෙනා පනත් කෙටුම්පතක් යැයි හඳුනාගත හැකි ය. එපමණකින් නොනැවතී විරෝධාකල්ප සහ විසම්මුතියට මහනජතාවට ඇති අයිතිය, මෙන්ම නීත්‍යනුකූලව රැකියාවකට නිරත වීමට ඇති අයිතිය යනාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති බොහෝ අයිතිවාසිකම් උදුරාගන්නා පනතක් ලෙස මෙම පනත් කෙටුම්පත හැඳින්විය හැකි ය. 

මෙම පනත් කෙටුම්පත මඟින් යෝජිත කොමිසම සහ එහි කාර්යභාරය සැලකිල්ලට ගැනීමේ දී මෙම පනත් කෙටුම්පතේ ඇති භයානක ම කරුණ වනුයේ මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (1), 13 (3) සහ 13 (5) යන වගන්ති උල්ලංඝණය කිරීමකි. එතැකින් නොනැවතී මෙම පනත් කෙටුම්පත ස්වභාවික නීති යුක්තිය ද උල්ලංඝණය කරයි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (1) ට අනුව “ නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේ ය. යම් තැනැත්තකු සිරභාරයට ගනු ලබන්නේ නම් යම් හේතුවක් මත ද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේ ය.”

වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතෙන් යෝජිත කොමිසම මෙම වගන්තිය උල්ලංඝණය කෙරෙන බලයක් හිමි ව තිබෙන අතර නීතියෙන් නියම කරන ක්‍රියාවලිය අනුකූලව නොව කොමිසමට සිතැඟි පරිදි තීන්දු තීරණ දීමට බලයක් ලබා දී තිබේ. එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම්වල ද මෙම කරුණ පෙන්වා දී තිබේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (3) හි මෙසේ දැක්වේ. “වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තකුට විරුද්ධව චෝදනා නගනු ලැබ ඇත්තේ ද, ඒ තැනැත්තාට, නිසි අධිකරණයකින් විසින් පවත්වනු ලබන සාධාරණ නඩු විභාගයක දී පෞද්ගලිකව ම හෝ නීතිඥවරයකු මගින් හෝ කරුණු කියා සිටීමට හිමිකම් ඇත්තේ ය.”

යෝජිත පනත් කෙටුම්පත පුරවැසියාට ඇති මෙම අයිතිය උල්ලංඝණය කර ඇති අතර කොමිසමට කිසිදු වග විභාගයකින් හෝ කරුණු විමසීමක්න හෝ සාධාරණ නඩු විභාගයකින් හෝ තොරව කටයුතු කිරීමට අවස්ථාව සහ බලය සලසා දී තිබේ. 

එපමණකින් නොනැවතී වරදකරු යයි ඔප්පු කරන තෙක් මනුෂ්‍යයකුට ඇති නිර්දෝෂීත්වයේ පූර්ව නිගමනය ද අමු අමුවේ උල්ලංඝණය කර තිබේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (5) ට අනුව “වරදකරු යයි ඔප්පු කරනු ලබන තෙක් සෑම තැනැත්තකු ම නිර්දෝෂී යයි පූර්වානුමාන කළ යුත්තේ ය.” 

මෙම පනත් කෙටුම්පත සමස්තයක් වශයෙන් භාෂාණයේ නිදහස ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන බව පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අදහස් දැක්වූ නීතිඥයන් බොහෝමයකගේ අදහස විය. 

 

~ හර්ෂණ තුෂාර සිල්වා ~

Leave a Reply

Your email address will not be published. Required fields are marked *