මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන සාකච්ඡාව අලුත් වටයකින් ආරම්භ වී තිබේ. පනත් කෙටුම්පත ජනවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා ජනවාරි මස මුල් සතියේ දී පැවැසීය. කුමන පීඩනයක් එල්ල වුවත් කවුරුන් එපා කීවත් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ඔහු පවසා තිබිණි.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පත ඉකුත් සැප්තැම්බර් මාසයේ දී ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කෙරුණු අතර ඔක්තෝබර් 3 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ දී ම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු කෙරුණු අතර අවසානයේ දී පනත් කෙටුම්පතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් ව තිබූ පෙත්සම් ගණන 46කි. මෙය වාර්තා ගත සංඛ්‍යාවක් යැයි ද පනත් කෙටුම්පතක් අභියෝගයට ලක් කරමින් මෙතරම් පෙත්සම් ගණනක් ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය යැයි ද පෙත්සම් විභාගයට ගන්නා අවස්ථාවේ දී අධිකරණයේ දී කියැවිණි.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මාධ්‍ය විවිධාකාරයෙන් අර්ථ දක්වා තිබූ අතර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජනතාව නොමඟ යවන ආකාරයේ අර්ථකථන ද ලබා දී තිබිණි. මේ සම්බන්ධයෙන් නීති ක්ෂේත්රයේ විද්වතුන් අවස්ථා ගණනවකදීම පැහැදිලි කිරීම් කර තිබිණි. මෙතැනින්, මෙතැනින්,
මෙම පනත් කෙටුම්පත බරපතළ ලෙස අසමත් සහ අසාර්ථක පනත් කෙටුම්පතක් බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කියවා ගැනීමේ දී පැහැදිලි වන ප්‍රධානම කරුණකි. ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත් කරන ලද පනත් කෙටුම්පත වගන්ති 57කින් සමන්විත අතර පනත් කෙටුම්පත් විභාගයට ගත් අවස්ථාවේ දී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉදිරිපත් වූ අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා නීතිඥවරයා පනත් කෙටුම්පතට කමිටු අදියරේදී කෙටුම්පතට එක් කිරීමට නියමිත සංශෝධන ඉදිරිපත් කළේ ය.
මෙලෙස සංශෝධන ඉදිරිපත් කළ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරුන්ගෙන් ඊට බරපතළ විරෝධයක් එල්ල විය. ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ තීන්දුවට අනුව පනත් කෙටුම්පත සම්මත කරගැනීමට අවශ්‍ය නම් සංශෝධන 31ක් කළ යුතු ව තිබේ.
ඒ අනුව පනත් කෙටුම්පතේ වගන්ති 57න් 31ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කියවා ගැනීමේ දී පැහැදිලි වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නිගමන දෙකකින් සමන්විත විය.
එහි පළමුවැන්නට අනුව පනත් කෙටුම්පතේ 3,5,7,9,11,12,13,14,15,16,17,18,19,20,21,22,23,25,26,27,28,29,30,31,32,36,37,42,45,53 සහ 56 වගන්ති සම්මත කරගැනීමට අවශ්‍ය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 (2) වගන්තිය ප්‍රකාරව විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කරගත යුතු ය.
අදාළ වගන්ති පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේ දී සංශෝධනය කරන්නේ නම් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි යි යන්න ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දෙවැනි නිගමනය යි.
අදාළ සංශෝධන සිදු කරන්නේ නම් පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබිණි.
නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී මෙලෙස සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පුරවැසියාට දැඩි අසාධාරණයක් සිදුවන බව පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ අධිකරණයේ දී ප්‍රකාශ කළ හ. මෙලෙස පෙත්සම් විභාගයට ගන්නා අවස්ථාවේ දී සංශෝධන ඉදිරිපත් කිරීම තුළින් මේ සංශෝධනවලට හෝ එක් සංශෝධනයක් හෝ අභියෝගයට ලක් කරමින් පුරවැසියකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට තිබෙන අයිතිය සීමා වන බව ද ඔවුහු පෙන්වාදුන්හ.
පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු මෙහිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78(3) වගන්තිය ගෙනහැර දක්වමින් කරුණු ඉදිරිපත් කළ හ. අදාළ වගන්තියට අනුව පනත් කෙටුම්පතකට පාර්ලිමේන්තුව තුළ දී යෝජනා කරනු ලබන යම් සංශෝධනයක් ඒ පනත් කෙටුම්පතේ හරයට සහ මූලධර්මවලට පරිබාහිර සංශෝධනයක් නොවිය යුත්තේ ය යනුවෙන් සඳහන් වේ. පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් විභාගයට ගත් මුල් දිනයේදී ම නීතිපතිවරයා පැය තුනකට ආසන්න කාලයක් ගනිමින් සංශෝධන ඉදිරිපත් කිරීම අසාධාරණ යැයි පෙත්සම්කාර පාර්ශවවල නීතිඥවරු අවධාරණය කළහ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඉදිරිපත් වූ සංශෝධන කොතරම් දුරට පනත් කෙටුම්පතට ඇතුළත් කරන්නේ ද යන්න සහ එය පරීක්ෂා කර බලන්නේ කවුරුන් ද යන වග නීති විශාරදයන් පෙන්වා දෙන මෙහි අනෙක් බරපතළ කාරණය යි.
මෙම පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ගත් කළ භාෂාණයේ නිදහස සහ පුරවැසියන්ට විසම්මුතියට ඇති අයිතිය උල්ලංඝණය කරන හෝ සීමා හෝ කරන පනතක් බව ජනමාධ්‍යවේදීන්, නීතිඥයන්, සිවිල් සමාජය, වෘත්තීය සමිතිය සහ මාධ්‍ය සමාජය පසුගිය කාලය මුළුල්ලේ ම අවධාරණය කළේ ය.
එපමණක් නොව මෙය තනි පනත් කෙටුම්පතක් ලෙස නොගත යුතු බව ද සක්‍රීය පුරවැසි ප්‍රජාවේ අදහස විය.
වත්මන් ආණ්ඩුව මහජනතාවගේ, ඉන් ඔබ්බට ගොස් සක්‍රීය පුරවැසියන්ගේ අයිතිවාසිකම්, විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් සීමා කරන ආකාරයේ පනත් කෙටුම්පත් කිහිපයක් ම ඉදිරිපත් කළේ ය.
වත්මන් ජනාධිපතිවරයාට සහ වත්මන් ආණ්ඩුවට මේ ආකාරයෙන් පනත් කෙටුම්පත් ගෙන ඒමට කිසිදු ජන වරමක් නැත යන්න වත්මන් ජනාධිපතිවරයාටත් වත්මන් ආණ්ඩුවටත් එරෙහිව නැගෙන බරපතළ සහ ප්රබලතම චෝදනාවකි. යම් කාලයක මහජනත අවශ්‍යතා, පුරවැසි අවශ්‍යතා, රටේ දේශපාලන, සාමාජයීය සහ ආර්ථික යනාදී අවශ්‍යතා සලකා බලමින් පනත් කෙටුම්පත් ගෙනෙමින් නීති සම්පාදනය කිරීම ආණ්ඩුවක ප්රමුඛ කාර්යයකි. කෙසේ නමුත් ආර්ථික අර්බුදයකින් පසු පත් වූ අන්තර්වාර ජනාධිපතිවරයකු සහ මහජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ ආණ්ඩුවක් සහ පාර්ලිමේන්තුවකට මෙවැනි පනත් කෙටුම්පත් ගෙන ඒමට ඇති සදාචාරමය අයිතිය කුමක් ද යන්න මෙහි ප්‍රධානම ගැටලුව යි. එය පුරවැසියා සහ ව්‍යවස්ථාදායකය, මෙන්ම විධායක ය අතර තිබෙන සමාජ කොන්ත්‍රාත්තුව උල්ලංඝණය කිරීම කි. විශේෂයෙන්ම මේ ආකාරයේ බරපතළ සහ මහජනතාවගේ විසම්මුතියේ අයිතිය, භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස ඇතුළු ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර තිබෙන මූලික අයිතිවාසිකම් ඇතුළු අනෙක් අයිතිවාසිකම් සීමා කරන සහ ඒවා උල්ලංඝණය කරන නීති ගෙන ඒම කොතරම් බරපතළ කාරණයක් ද යන්න අමතක නොකළ යුතු ය.
විශේෂයෙන්ම පසුගිය කාලයේ දී පුරවැසිය සක්‍රීය දේශපාලනයේ යෙදෙමින්, මහජන නියෝජිතයන් ප්‍රශ්න කරමින් සිය පුරවැසිය කාර්යභාරය ඉටු කළ සහ ඉටු කරන මොහොතක මහජනතාව නිහඬ කරවීමේ ප්රයන්තයක් ලෙස මෙම පනත් ගෙන එන බව සක්‍රීය පුරවැසියන්ගේ අදහස වී තිබේ.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. එනම් රටේ පරමාධිපත්‍යය බලය ඇත්තේ මේ රටේ පුරවැසියන්ට ය. පුරවැසියන් කැමැති වුවත් අකැමැති වුවත් එය අත්හළ නොහැකි ය. එවැනි පසුබිමක පුරවැසියා සිය පරමාධිපත්‍යය බලය අත්හදා බලන, එය භුක්ති විඳින ආකාරය අපට පසුගිය කාලයේ දී දක්නට ලැබිණි. එවැනි අවස්ථාවක කිසිදු වග විභාගයකින් තොරව, මහජන අදහස් විමසීමකින් තොරව කඩි මුඩියේ මෙවැනි පනත් ගෙන එන්නේ මහජනතාවගේ පරමාධිපත්‍යය බලය උදුරා ගැනීමට යන්න නම් නොරහසකි.
– හර්ෂණ තුෂාර සිල්වා