Hashtag Generation

අඹ කෑමෙන් පසු සිසිල් බීම පානය කළහොත් මිය යනවාද?

අඹ පලතුර ආහාරයට ගැනීමෙන් පසු සිසිල් බීම පානය කළහොත් මිය යන බව සඳහන් පණිවුඩයක් පසුගියදා ෆේස්බුක් මාධ්‍ය තුළ සංසරණය විය. ඉන්දියාවේ චන්දිගාර් ප්‍රදේශයෙන් මෙවැනි සිදුවීමක් වාර්තා වූ බවත් පුද්ගලයින් කිහිප දෙනෙකු රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බවත් එම පුවතේ වැඩිදුරටත් සඳහන් වී තිබුණි. අඹ වාරය ආරම්භ වී ඇති බැවින් මේ පණිවුඩය තම ආදරණීයයන් වෙත බෙදා හරින ලෙස ද එහි සඳහන් විය.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල සංසරණය වූ පණිවුඩයේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

“අඹ කෑමෙන් පසු සිසිල් බීම බොන්න එපා ! චන්දිගාර් වෙත ගිය සංචාරකයින් අඹ කෑ සැණින් සිසිල් බීම පානය කළහ. ඔවුන් සියල්ලෝම අසනීප වී ක්ලාන්ත විය. රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටියහ. අඹ ආහාරයට ගැනීමෙන් පසු සිසිල් බීම පානය නොකළ යුතු බව වෛද්‍යවරු පවසති. අඹවල ඇති සිට්‍රික් අම්ලය සහ සිසිල් බීම වල ඇති කාබනික අම්ල එකතු වී විෂක් නිර්මාණය වේ. කරුණාකර මෙම පණිවිඩය ඔබගේ සියලු ආදරණීයන් වෙත යොමු කරන්න. දැන් අඹ වාරය ආරම්භ වී ඇත” යනුවෙන් පණිවුඩයේ සඳහන් වී තිබුණි. එමෙන් ම බහුතරයක් ප්‍රතිචාර තුළ මෙම දැනුවත් කිරීමේ පණිවුඩයට ස්තූතිය ද පළ කර තිබුණි. 

මෙම පණිවුඩය තුළ සඳහන් තොරතුරු සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් හෝ වෛද්‍ය විද්‍යාත්මක පදනමක්  නොතිබුණු නිසා මේ පිළිබඳව තොරතුරු විමසා බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

ඒ අනුව පළමුවෙන් ම මෙම පණිවුඩය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ විමසා බැලිණි. එහිදී මීට වසරකට පමණ පෙර ඉන්දියාවේ ද මෙම පණිවුඩය මේ ආකාරයෙන් ම හුවමාරු වී තිබෙණු සහ ඊට අදාළව ඉන්දියන් එක්ස්ප්‍රස් (The Indian Express) සිදු කළ  කරුණු පරීක්ෂාවක් ද අපට හමුවිය. 

එම කරුණු පරීක්ෂාවේ  පෝෂණවේදිනියකගෙන් ලබා ගත් තොරතුරු අන්තර්ගත වී තිබූ අතර මෙම පණිවුඩය මහජනතාව නොමඟ යවන සුළු බවද සඳහන් විය. පුද්ගලයින්ගේ ශරීර හැඩ ගැසීම් මත ඒ ඒ පුද්ගලයින්ට ආසාද්මිකතා ඇතිවිය හැකි බව වැඩිදුරටත් එම කරුණු පරීක්ෂාවේ සඳහන් විය.

තවද ප්‍රංශ පුවත් ඒජන්සිය (AFP) විසින් ද මීට වසරකට පමණ පෙර මෙම පුවත සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් කර තිබුණි. අඹ ආහාරයට ගැනීමෙන් පසු සිසිල් බීම පානය කිරීමෙන් මරණයට පත් නොවන බව විශේෂඥ ⁣අදහස් ඇසුරින් එම කරුණු පරීක්ෂාවේ දක්වා තිබුණි. සමාජ මාධ්‍ය පණිවුඩයේ සඳහන් ආකාරයට චන්දිගාර්හි අඹ කෑමෙන් පසු සිසිල් බීම පානයෙන් මිය ගිය මරණ පිළිබඳ නිල වාර්තා හමු නොවූ බවත් මෙම පුවත සම්පූර්ණයෙන් ම මහජනතාව නොමඟ යවන බව සඳහන් වී තිබුණි. 

මෙලෙස සමාජ මාධ්‍යවල සංසරණය වන පණිවුඩය මීට වසරකට පෙර ඉන්දියානු සමාජ මාධ්‍යවල හින්දි භාෂාවෙන් හුවමාරු වී ඇති අතර එය සිංහලයට පරිවර්තනය වී මේ දිනවල ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යවල හුවමාරු වන බව ඉහත කරුණු අනුව පැහැදිලි ය.

තවද මේ පිළිබඳව තවදුරටත් තොරතුරු දැනගැනීම සඳහා ජයවර්ධනපුර මහ රෝහලේ පෝෂණවේදිනී මාලා අබේගුණවර්ධන මහත්මියගෙන් විමසීමක් කළේය. එවැනි පුවතක් සම්බන්ධයෙන් ඇය දැනුවත් නැති බවත් අඹ ආහාරයට ගැනීමෙන් පසු සිසිල් බීම පානය කළ පසු මරණයට පත් වීමක් සිදු නොවන බවත් ඇය පැවසුවාය. යම් යම් පුද්ගලයින්ට පවතින ආසාද්මිකතා නිසා ඇතැම් අවස්ථාවන්වල විවිධ ආහාර විෂ විය හැකි නමුත් සෑම විටම අඹ කෑමෙන් පසු සිසිල් බීම පානය කළහොත් මිය යන බව සඳහන් එම පුවත මහජනතාව නොමඟ යවන බව ද ඇය වැඩිදුරටත් අප වෙත පැවසුවාය.

නිගමනය : අඹ කෑමෙන් පසු සිසිල් බීම පානය කළහොත් මිය යන බව සඳහන් සමාජ මාධ්‍ය පණිවුඩය මීට වසරකට පෙර ඉන්දියාවේ සමාජ මාධ්‍ය තුළ ද සංසරණය වී ඇත. එමෙන් ම පුද්ගලයින්ගේ ශරීර හැඩ ගැසීම් අනුව අසාද්මිකතාවයක් හෝ විෂ වීමක් සිදු විය හැකි අතර අඹ කෑමෙන් පසු සිසිල් බීම පානය කිරීමෙන් මිය යාමක් සිදු නොවන බව අප කළ විමසීමේ දී තහවුරු විය. ඒ අනුව අඹ කෑමෙන් පසුව සිසිල් බීම පානය කිරීමෙන් මිය යන බව සඳහන් සමාජ මාධ්‍ය පණිවුඩය මහජනතාව නොමඟ යවන බව නිගමනය කළ හැකිය.
අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.