Hashtag Generation

“අරගලයේ සිටි තරුණයින් පුනුරුත්ථාපනය කළ ‌යුතුයි.” යනුවෙන් විශේෂඥ මනෝවෛද්‍ය එස්.පී. කඳපොළ ආරච්චිගේ මහතා ප්‍රකාශයක් කර නැත.

ගාලු මුවදොර කේන්ද්‍ර කරගනිමින් ඉකුත් වසරේ පැවැති විරෝධතා ව්‍යාපාර සම්බන්ධයෙන් නිරන්තර කතාබහ ඇති වේ. එම විරෝධතා ව්‍යාපාර අවසන් වුව ද ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළත් සමාජ මාධ්‍ය තුළත් ඒ සම්බන්ධයෙන් නිරන්තර කතාබහ ඇති වන අතර දේශපාලනඥයන්, සමාජ ක්‍රියාකාරීන්, ආදී බොහෝ දෙනා තවමත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වති. එම අදහස් දැක්වීම් අතර විරෝධතාවලට පක්ෂ විපක්ෂ අදහස් මෙන්ම විරෝධතාකරුවන්, අරගල ව්‍යාපාර හෑල්ලුවට හෝ පහත් කරන ආකාරයේ ප්‍රවෘත්ති සහ අදහස් ද දැකිය හැකි ය. 

ඒ ආකාරයේ කතාබහක් ඉකුත් දිනෙක සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබිණි. 

“අරගලයේ සිටි තරුණයින් අතර  මානසික ව්‍යාකූලතා ඉතා ඉහළයි. හීනමානය නිසා යතාර්ථය වැසි ගිහින් ඔවුන්ව පුනුරුත්ථාපනය කළ යුතුයි” යැයි දැක්වෙන පණිවුඩයක් ඉකුත් දින කිහිපයේදී සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අයුරු දක්නට ලැබිණි.

එය කැප්ෂනයක් සහිතව සංසරණය වූ අතර ඒ සමඟ හුවමාරු වූ ඡායාරූපයේ විරෝධතාවලට සම්බන්ධ වූ පිරිස් ද සිටිනු දක්නට ලැබිණි. 

පණිවුඩය සංසරණය වු ෆේස්බුක් පිටුවට පිවිසීමට මෙතැනින්.

අදාළ ෆේස්බුක් සටහනේ තිර ජායාරූපයක් පහතින් දැක්වේ.

විශේෂඥ මනෝ වෛද්‍ය එස්.පී. කඳපොළ  ආරච්චිගේ මහතා මෙවැනි ප්‍රකාශයක් කර ඇත්ද යන්න තහවුරු කරගැනීම සඳහා ඔහුගේ පෞද්ගලික ෆේස්බුක් (Facebook) ගිණුමක්  ඇත්දැයි අප සොයා බැලු අතර ඔහුට ගිණුමක් තිබුණ ද අපට ෆේස්බුක් හි පෞද්ගලික ආරක්ෂණ සැකසුම් (Privacy Settings) හේතුවෙන් එම ගිණුමට ප්‍රවේශ වීමට හැකියාවක් නොමැති විය. 

අප මේ පිළිබදව තව දුරටත් කරුණු විමසීම සදහා විශේෂඥ වෛද්‍ය කඳපොළ ආරච්චිගේ මහතා කුමන හෝ රූපවාහිනි නාලිකාවට එසේත් නොමැතිනම් කුමන හෝ පුවත්පතක ලිපියකට මේ පිළිබදව තම අදහස් දක්වා ඇත්දැයි යන්න සොයා බලන ලදි. අන්තර්ජාලය තුළ යූටියුබ් ( YouTube) ඔස්සේ පවත්වන ලද පැරැණි විඩියෝ පට (අරගලයට පෙර) කිහිපයක් දැක ගැනීමට හැකි වු අතර තවද 2012 වර්ෂයේ ලංකාදීප පුවත්පතේ පළ වු ලිපියක් පමණක් දැක ගැනිමට හැකි විය. එම සාකච්ඡාවලදී ද ඔහු මේ අදහස හෝ මීට සමාන අදහසක් නොදැක්වූ බව අපට නිරීක්ෂණය විය.  

ඒ අනුව ඔහු මෙවැනි ප්‍රකාශයක් කර ඇත්ද යන්න විමසීම සඳහා අප විශේෂඥ වෛද්‍ය කඳපොළ  ආරච්චිගේ මහතාගෙන් විමසීමක් කළේ ය. 

ඒ අනුව තමන් කිසිදු අවස්ථාවකදී එවැනි ප්‍රකාශයක් නොකළ බව විශේෂඥ වෛද්‍ය කඳපොළ ආරච්චි මහතා තහවුරු කළේය. වෛද්‍යවරයා මේ  ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන නිසා තමාට සිදුවූ අපහසුතාවය හේතුවෙන්  Whatsapp කෙටි පණිවුඩයක් ද නිකුත් කර ඇති අතර ඒ ඔස්සේ ද තමන් මෙවැනි ප්‍රකාශයක් නොකළ බව තහවුරු කර ඇත. ඒ පණිවුඩයේ  තිර ඡායාරූපයක් පහතින් දැක්වේ. 

වෛද්‍ය කඳපොළ ආරච්චිගේ මහතා සමාජ මාධ්‍ය තුළ ද මේ කරුණ ප්‍රතික්ෂේප කරමින් අදහස් දක්වා තිබිණි. එහි තිර ජායාරූපයක් පහතින් දැක්වේ

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු විමසා බැලු අතර විරෝධතා ව්‍යාපාර සම්බන්ධයෙන් වර්තමානයේ දී පමණක් නොව පසුගිය කාලසීමාවලදීත් විවිධ අසත්‍ය පණිවුඩ හුවමාරු වී ඇති බව එහිදි දැනගැනීමට හැකිවිය. 

ඒ අකාරයටම විශේෂඥ වෛද්‍ය එස්.පී.  කඳපොළ ආරච්චිගේ මහතා ප්‍රකාශ කළා යැයි කියන ව්‍යාජ ප්‍රකාශක් වෙනත් පුද්ගලයකු එම පුද්ගලයාගේ ෆෙස්බුක් (Facebook) ගිණුමේ වෛද්‍ය කඳපොළ ආරච්චිගේ මහතාගේ නම අවභාවිත කරමින් පළ කර තිබෙන අයුරු ද දක්නට ලැබිණි. 

නිගමනය: “අරගලයේ සිටි තරුණයින් පුනුරුථාපනය කළ යුතුයි” යැයි ප්‍රකාශයක් විශේෂඥ වෛද්‍ය එස්.පී. කඳපොළ ආරච්චිගේ මහතා කර නොමැත.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.