Hashtag Generation

‘ඇමසන් සමාගමෙන් රැකියා අවස්ථා’ කියන WhatsApp පණිවුඩ ව්‍යාජ යි.

ලොව ප්‍රකට බහුජාතික සමාගමක් වන ඇමසන් (Amazon) සමාගමෙන් රැකියා අවස්ථාවක් ලබා දෙන බව සඳහන් පණිවුඩ රැසක් ඉකුත් දිනවල බොහෝ පිරිසකට ලැබී තිබිණි. වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ ජාලය ඔස්සේත් සාමාන්‍ය කෙටි පණිවුඩ ලෙසත් බොහෝ දෙනකුට මෙම පණිවුඩ ලැබී තිබිණි.  

එලෙස හුවමාරු වූ වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ  කිහිපයක තිර ඡායාරූප (Screenshots) කිහිපයක් පහතින් දක්වා ඇත.

මෙම එකම පණිවුඩය විවිධ විදෙස් දුරකථන අංකවලින් එකම පුද්ගලයා වෙත බොහෝ වාර ප්‍රමාණයක් පැමිණ තිබුණු බව මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී දැනගන්නට ලැබිණි. අදාළ පණිවුඩ ව්‍යාජ පණිවුඩ යැයි සැක කිරීමට එය ද එක් හේතුවකි.

රැකියා අවස්ථාවකට සේවකයන් බඳවා ගැනීමේ දී ඒ සම්බන්ධ තොරතුරු අදාළ සමාගම්වල නිල වෙබ් අඩවිවල හෝ ඒවායේ සමාජ මාධ්‍ය ජාලවල හෝ ප්‍රසිද්ධියේ පළ කරයි. විශේෂයෙන්ම ඇමසන් වැනි විශාල බහුජාතික සමාගම් මෙන්ම කුඩා සමාගම් හෝ ආයතන හෝ පවා ඒවායේ නිල ක්‍රියාමාර්ග ක්‍රියා පටිපාටි අනුගමනය කරයි. 

ඇමසන්(Amazon) සමාගමේ රැකියා අවස්ථා සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරනු ලබන වෙබ් පිටුවේ ද මෙවැනි රැකියා අවස්ථාවක් පිළිබදව තොරතුරු දක්වා නොමැත. මෙතැනින්. 

එමෙන්ම ඇමසන් (Amazon) වැනි විශාල තාක්ෂණික සමාගම් කිසිවිටෙක වෘත්තීය නොවන ආකාරයකින් පණිවුඩ යැවීමක් සිදු නොකරයි. එමෙන්ම ඔවුන් අසාමාන්‍ය ආකාරයකින් ඔබෙන් තොරතුරු ඉල්ලා සිටින්නේ ද නැත. 

රැකියාවක් සඳහා පුද්ගලයකු බඳවා ගැනීමේ ක්‍රියාවලියේ දී බොහෝ විට එය සිදුවන්නේ දුරකතන ඇමතුමකින් හෝ විද්‍යුත් තැපැල් (ඊ-මේල්) පණිවුඩයක් හරහා ය. මේ ආකාරයෙන් පුද්ගලයන් විශාල පිරිසකට නොදන්නා ජාත්‍යන්තර දුරකතන අංකවලින් හෝ දේශීය අංකවලින් එවැන්නක් සිදු නොවේ. 

මෙම බොහෝමයක් පණිවුඩවල රැකියාව අවශ්‍ය නම් මෙතරම් මුදලක් ගෙවිය යුතු යැයි හෝ මෙතරම් මුදලක් ලබා දිය යුතු යැයි සඳහන් වේ. සාමාන්‍යයෙන් රැකියාවට අයදුම් කිරීමේ දී එවැනි මුදලක් ගෙවිය යුතු නොවේ. 

 

වංචනික පණිවුඩවලට හසුවුණොත් විය හැකි දේ?

වංචනික ක්‍රියා සිදු කරන්නන් ඉහත දැක්වෙන ආකාරයෙන්  ඉහළ වැටුප් ප්‍රතිලාභ ලබා දෙන බව පවසමින් සාමාන්‍ය ජනයා පොළඹවා ගැනීමට උත්සාහ කරයි. 

එවැනි වංචනික ක්‍රියා සිදු කරන්නන්, රැකියාව ලබාදීමේ එක පියවරක් ලෙස බැංකු ගිණුම් විස්තර, පරිශීලක නාම, මුරපද, හෝ ක්‍රෙඩිට් කාඩ් විස්තර වැනි ඔබගේ පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටිය හැකිය. කෙසේ වෙතත්, ඔවුන් ඉල්ලා සිටින තොරතුරු අප ලබා දීමෙන් හෝ අදාළ පණිවුඩවල දැක්වෙන පරිදි මූල්‍යමය ගෙවීමක් කිරීමෙන් පසු ඔබට මූල්‍ය අලාභ හෝ පාඩු සිදුවිය හැක. මෙම පණිවුඩවල ස්වභාවය එය වන අතර ජනතාව රවටා මුදල් ලබාගැනීම ඒවායේ අරමුණ වේ.  

 මෙවැනි ඇතැම් වංචනික පණිවුඩවල අරමුණ අනන්‍යතා සොරකම් කිරීම යි. එමගින් ඔවුන්ට ඔබගේ පෞද්ගලික තොරතුරු එක්රැස් කරගත හැකි ය.  පරිශීලක නාම, ලිපින, හෝ උපන් දිනය වැනි සංවේදී තොරතුරු සැපයීමෙන්, මහජනතාවට බරපතළ මූල්‍ය ප්‍රතිවිපාකවලට පමණක් නොව මානසික බලපෑම්වලට ද ලක්විය හැකි ය.  

වංචනික අරමුණු ඇතිව එවන බොහෝ පණිවුඩ තුළ ඊමේල් ඇමුණුම් (Attachments) හෝ සබැඳි (Links) භාවිත කර ඇත.  එවැනි ඇමුණුම් හෝ සබැඳි හෝ මත ක්ලික් කිරීමෙන් ඔබේ ජංගම දුරකථනයේ හෝ පරිගණකයේ පෞද්ගලික දත්තවලට හානි සිදුවිය හැකි ය. ඒවා වෙනත් පාර්ශව සතු විය හැකි ය. එසේත් නැතිනම් මුරපද ඇතුළු ඔබේ පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශව සතුවිය හැකි ය. වංචනික ක්‍රියා සිදු කරන්නන්ට මේවා හරහා වෛරස වැනි අනිෂ්ට මෘදුකාංග (Malware) ඔබේ උපාංගවලට ඇතුළත් කළ හැකි ය. එවැනි මෘදුකාංග හරහා ඔබගේ විද්‍යුත් උපකාංග අවදානමේ හෙළිය හැකි ය. 

 

වට්සැප් වැනි පණිවුඩ ඡාල හරහා ලැබෙන මෙවැනි වංචනික පණිවුඩවලට හසු නොවී සිටීමට කළ හැකි දේ?

විශේෂයෙන් රැකියා දීමනා, ත්‍යාග ජයග්‍රහණ හෝ පෞද්ගලික තොරතුරු ඉල්ලමින් ඔබට ලැබෙන පණිවුඩ සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. සාමාන්‍යයෙන් මහ පරිමාණ සමාගම් පමණක් නොව කුඩා සමාගම් වුව ද ඔවුන්ගේ රැකියා පුරප්පාඩුවලට සේවකයන් බඳවා ගැනීමේ දී තනි තනි පුද්ගලයන්ට පණිවුඩ යැවීමක් සාමාන්‍යයෙන් සිදු නොවේ. ඒ නිසා එවැනි පණිවුඩ ලැබුණු අවස්ථාවක දී ඒ සම්බන්ධයෙන් බෙහෙවින් විමසිලිමත් වන්න. 

මෙවැනි වංචනික ක්‍රියා සිදු කරන පිරිස් බොහෝ විට ප්‍රසිද්ධ සමාගම් හෝ පුද්ගලයන් හෝ ආයතන ලෙස පෙනී සිටියි. 

එබැවින් ඔබට එවැනි පණිවුඩයක් ලැබුණු පසු එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීමට කාලය ගන්න.  කිසියම් සමාගමක් ආයතනයක් හෝ පුද්ගලයකු ලෙස පෙනී සිටිමින් පණිවුඩයක් ලැබුණහොත් අදාළ සමාගම්, ආයතන හෝ පුද්ගලයන්ට අදාළ වෙබ් අඩවි හෝ නිල සමාජ මාධ්‍ය ජාල පිටු පරීක්ෂා කර බලන්න.  

ඔබේ පරිශීලක නාම, බැංකු ගිණුම් විස්තර, හෝ මුරපද හෝ බැංකු කාඩ්පත්වල අංක ඇතුළු විස්තර යනාදී අතිශය පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශවවලට ලබා නොදීමටත් ඒවා වෙනත් අය සමඟ බෙදා නොගැනීමටත් වගා බලගන්න. නීත්‍යනුකූල සංවිධාන, සමාගම් හෝ ආයතන හෝ පමණක් නොව අදාළ බැංකු අදාළ පෞද්ගලික තොරතුරු ඔබෙන් විමසන්නේ නැත. 

සැක සහිත සබැඳි (Links) ක්ලික් කිරීමෙන් හෝ නොදන්නා හෝ විශ්වාස කළ නොහැකි මූලාශ්‍රවලින් ලැබෙන   ඇමුණුම් (Attachments) බාගත(Download) කිරීමෙන් වළකින්න. මේවා ඇතැම් විට ඡායාරූප හෝ විඩියෝ ද විය හැකි ය. ඒවායේ අනිෂ්ට මෘදුකාංග (Malware) අඩංගු විය හැකි ය. ඒවා මඟින්, ඔබේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම සඳහා නිර්මාණය කර ඇති තතුබෑම් (Phishing) වෙබ් අඩවි වෙත යොමු විය හැකිය. එම ලින්ක් මත ක්ලික් කිරීමට හෝ ඒවායේ ඇති ඇමුණුම් බැලීමට පෙර ඒවායේ සත්‍ය අසත්‍යතාව විමසා බලන්න. 

ඔබේ දුරකතනයට, විද්‍යුත් ලිපිනයට (ඊ-මේල්), අන්තර්ජාල බැංකු ගිණුම්වලට, පණිවුඩ යැවීමේ යෙදුම් (messaging apps) හෝ අනෙකුත් පෞද්ගලික තොරතුරු ඇතුළත් දුරකතන යෙදුම් (mobile applications/apps) යනාදියට ද්වි සාධක සත්‍යාපනය (Two Factor Authentication– 2FA)’ වැනි ආරක්ෂක විශේෂාංග පහසුකම් යොදාගන්න. මෙමඟින් ඔබේ ගිණුම්වලට අමතර ආරක්ෂාවක් ලබාදෙන අතර ඔබේ ගිණුම්වලට පිවිසීමේදී ද්විත්ව සහතිකයක් ලබාදෙයි. 

ඔබ භාවිත කරන පණිවුඩ ජාල යෙදුම් (Messaging Apps – උදාහරණ – WhatsApp) සහ සහ ස්මාර්ට්ෆෝන් මෙහෙයුම් පද්ධතිය (System) නිතිපතා යාවත්කාලීන කරන්න. ඔබේ දුරකතනයේ හෝ පරිගණකයෝ වෙනත් උපාංගවල මෘදුකාංග යාවත්කාලීන නොමැති නම් ඒවා ගොඩාක් පැරැණි නම් ඒවායෙන් වංචනික පුද්ගලයන්ට ප්‍රයෝජන ගත හැකි දුර්වලතා තිබිය හැක. 

ඔබ‌ට මෙවැනි වංචනික පණිවුඩ ලැබෙන්නේ නම් ඒවා අදාළ සමාජ මාධ්‍ය ජාලයට හෝ පණිවුඩජාලයට හෝ වාර්තා කරන්න. උදාහරණයකට ඔබට වට්ස්ඇප් ඔස්සේ වංචනික පණිවුඩ ලැබෙන්නේ ඒවා සම්බන්ධයෙන් වට්ස්ඇප් පණිවුඩ ජාලයට පැමිණිලි/වාර්තා කළ හැක. මෙතැනින්

බොහෝ පණිවිඩ යෙදුම්වලට අපයෝජන, හිරිහැර, වදහිංසා  සහ වංචනික ගිණුම් හෝ එවැනි සිදුවීම් වාර්තා කිරීමටත් එවැනි පණිවුඩ ලැබෙන අංක අවහිර කිරීමටත් අවස්ථාව සලසා ඇත.  

මහජනතාව රවටන වංචනික සිදුවීම්, හෝ එවැනි ප්‍රවණතා සම්බන්ධයෙන් දැනුවත්ව සිටින්න. රජයේ වෙබ් අඩවි, පාරිභෝගික ආරක්ෂණ ආයතන, සහ සයිබර් ආරක්ෂණ සංවිධාන බොහෝ විට ඔබට වංචා හඳුනා ගැනීමට සහ වළක්වා ගැනීමට උපකාර කිරීමට සම්පත් සහ තොරතුරු සපයයි. ශ්‍රී ලංකා මහ බැංකුව යනු මේ සම්බන්ධයෙන් නිරන්තර තොරතුරු සපයන ආයතනයකි. 

නිගමනය:  ‘නිවසේ රැදී සිටිමින් කළ හැකි අර්ධ කාලීන රැකියාවක් සදහා ඔබටත් ආරාධනා’ යන අදහස ඇතිව  ඇමසන් (Amazon) ආයතනයේ කළමනාකරුවකු බව කියමින් වට්ස්ඇප් ඔස්සේ සංසරණය වන පණිවුඩය ව්‍යාජ යැයි නිගමනය කළ හැකි ය. එමෙන්ම මෙය මූල්‍ය වංචා සිදු කිරීමේ අරමුණින් යවන ලද පණිවුඩයක් යැයි ද නිගමනය කළ හැකි ය. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.