Hashtag Generation

ඉන්දීය චිත්‍රපටයක් රූගත කිරීමට ඇල්ල ප්‍රදේශයෙන් ඉදිරියට දුම්රිය ගමන් නවතා දමන ලෙස ජනාධිපති අනුර දිසානායක නියෝග කළාද?

ශ්‍රී ලංකාව යනු ස්වභාව සෞන්දර්යෙන් පිරිපුන් රටක් වීම හේතුවෙන් අතීතයේ සිට විවිධ ජාත්‍යන්තර චිත්‍රපට රූගත කිරීම් මෙහි සිදු වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සහ දොමෝදර අතර පිහිටි ආරුක්කු 9 පාලම දර්ශන තලයක් ලෙස භාවිතා කර ඉන්දීයානු චිත්‍රපටයක් රූ ගත කිරීමද මේ දින වල සිදුවේ. එම නිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය සීමා කිරීමට සිදු වී ඇති බව වර්තා විය.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ වී තිබීම නිරීක්ෂණය විය. එවැනි එක් සටහනක තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

අප ඉහත සටහනේ දැක්වෙන පරිදි ඇල්ල මාර්ගයේ දුම්රිය ගමන් නවතා දැමීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත්ද යන්න සොයා බැලීමට කටයුතු කළේය.

ඒ සඳහා අප මුලින්ම සිදු කරනු ලැබුවේ ඉහත සටහන පුවත්පතකින් උපුටා ගත් කොටසක් ලෙස පළ කර ඇති නිසාවෙන් 2024 ඔක්තෝම්බර් 09 වන දින මුද්‍රණය වී ඇති සියලු පුවත්පත් පරික්ෂා කර බැලිමයි. නමුත් එවැනි පළ කිරීමක් කිසිදු පුවත්පතක සොයා ගැනීමට නොහැකි විය. ඒ අනුව අප අනුමාන කරනු ලැබුවේ එම සටහන පුවත්පතක පළ වූ පුවතක් ලෙස හුවා දැක්වීමට ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති බව යි. 

මේ සම්බන්දයෙන් දුම්රිය මුලස්ථානයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එස්.ජේ.ඉඳිපොලගේ කියා සිටියේ චිත්‍රපටියේ රූගත කිරීම් සම්බන්දව හිටපු අග්‍රාමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන මහතා සමග එම කණ්ඩායම සැප්තැම්බර් මාසයේ සාකාච්ජා කර තිබු බවත් දුම්රිය දෙපාර්තමේන්තුව ද එම මාසයේම දැනුවත් කල බවත්ය. අදාළ රුපියල් මිලියන 23 ක ගෙවීම් සිදු කල පසුව නිර්මාණ කාර්ය සඳහා දුම්රිය මාර්ගය භාවිතා කිරීමට අවසර දුන් බවත් ඔහු තහවුරු කරන ලදී. 

අදාළ කාර්යය සඳහා මුලික අවසරය වර්තමාන ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉන් පෙර ලබා දී තිබුණු බවත් ගමනාගමනය සීමා කිරීමට අදාළ තීරණ ගනු ලැබුවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් බවත් ඔහු කියා සිටියේය. 

දුම්රිය ධාවනය වීම නිසා රූපගත කිරීම සාර්ථකව ඉක්මනින් සිදු කර ගැනීමට නොහැකි නිසා , දුම්රිය කෙටි කාලයකට සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කළා,” යැයි ඔහු තවදුරටත් පැවසීය. 

ඒ අනුව 2024 ඔක්තෝම්බර් 10 වෙනිදා සිට 15 වෙනිදා දක්වා උදෑසන කොළඹ කොටුවෙන් ආරම්භ වන දුම්රියේ සිට සවස 5.30 දක්වා ධාවනය වන දුම්රියන් පමණක් සිමා කිරීම සිදු කළ බවත් සවස 5.30 පසු සමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වන බවත්  ඔහු තහවුරු කරන ලදී. 

තවද එම දින වල ඇල්ල ප්‍රදේශයෙන් සහා බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් ගමන් අවසන් කරන දුම්රියන් ඔස්සේ පැමිණෙන මගීන්ට බදුල්ල වෙත ළගා වීමට බස්රථ යොදා ඇති බව ඔහු පැවසීය. එම සියලු විස්තර ඇතුළත් ලිපියක් දුම්රිය මුලස්ථානය මගින් මාධ්‍යයට ලබා දී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියේද මේ සම්බන්ධයෙන් පැහැදිලි ලෙස විස්තර පළ කර ඇති බවත් ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේය

තවද ජනාධිපති මාධ්‍ය ඒ්කකයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික මේ සම්බන්ධයෙන් කියා සිටියේ දුම්රිය ගමන් ගන්නා කිසිදු මාර්ගයක් වසා දැමීමට ජනාධිපතිවරයා නියෝග නොකළ බවයි.

මෙම කටයුත්ත පසුගිය ආණ්ඩුව සමයේ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිව සිටියදී 2024 සැප්තැම්බර් 15 වෙනිදා මේ සම්බන්ධයෙන් එම චිත්‍රපටයේ නිර්මාණකරුවන් සමග සාකාච්ජා කර තිබු බවත්, ප්‍රවාහන අමාත්‍යාංශය පවා අවසර ලබා දී තිබු බවත්, දුම්රිය දෙපාර්තමේන්තුවද එකඟ වී තිබීමෙන් පසුගිය දිනක එම ආයතනය මුදල් ගෙවිමෙන් පසු එම රූගත කිරීම ආරම්භ වු බව ඔහු අපට පවසා සිටියේය. මේ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ කිසිදු නියෝගයකට දුම්රිය ගමන් මග නවතා නොදැමු බව ඔහු තහවුරු කර සිටියේය.

නිගමනය : ඉන්දීය චිත්‍රපටයක් රූගත කිරීමට දුම්රිය ගමනාගමනය ඇල්ල ප්‍රදේශයෙන් නවතා දැමීමට ජනාධිපතිවරයා නියෝග කර නැත. මෙම රූගත කිරීමට එකඟතාවයට පැමිණ ඇත්තේ පසුගිය ආණ්ඩුව සමයේ 2024 සැප්තැම්බර් 15 වෙනිදා බවත් අදාළ අවසරයන් ලබා දී ඇත්තේ ප්‍රවාහන අමාත්‍යංශය හා දුම්රිය දෙපාර්තමේන්තුව බවත් තහවුරු වී ඇත. ඒ අනුව ජනාධිපතිවරයා දුම්රිය ගමනාගමනය නවතා දැමීමට නියෝග කල බවට පළ වන සටහන් පාඨකයින් නොමග යවයි.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න