Hashtag Generation

ඉන්ධන QR ක්‍රමවේදය අප්‍රේල් 10 වනදා සිට ඉවතට ?

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉන්ධන ලබා දීම සදහා දැනට පවත්වාගෙන යනු ලබන QR කේත ක්‍රමවේදය අප්‍රේල් 10 වැනිදා වන විට ඉවත් කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන් කරමින් 27 වැනිදා උදයවරුවේ සමාජ මාධ්‍යවල කතාබහක් ඇති වී තිබිණි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළ බව පවසමින් මේ ප්‍රවෘත්තිය පළ වී තිබූ අතර ඇතැම් වෙබ් අඩවි ද එය එලෙස වාර්තා කර තිබිණි.

ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත්, කේත (QR) ක්‍රමවේදය අවසන් කිරීමට මෙතෙක් කිසිදු තීන්දුවක් ගෙන නැති බව මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කාංචන  විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

මෙතැනින්.

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතාගෙන් විමසීය.

QR ක්‍රමවේදය අප්‍රේල් මාසයේදී අහෝසි කිරීමට කිසිදු තීරණයක් ඛනිජ තෙල් නිතීගත සංස්ථාව ගෙන නොමැති බවත් අද(27) උදෑසන එවැනි පුවතක් මාධ්‍යට මුදා හැරුණේ කෙසේ දැයි තමන් නොදන්නා බවත් ඔහු පැවැසීය.

එමෙන්ම අප්‍රේල් 10 වැනිදා වනවිට මෙම ක්‍රමවේදය අවසන් කිරීම සඳහා කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව සඳහන් කරන කාංචන විජේසේකර අමාත්‍යවරයා දැනට ලබාදෙන ‘කෝටා’ ප්‍රමාණ වැඩි කිරීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතියේ දත්ත විශ්ලේෂණය කරන බව ද සඳහන් කර ඇත. ඊට අමතරව මෙම ක්‍රමවේදය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශව සමඟ සාකච්ඡා කර ඉදිරි මාස කිහිපයේදී තීන්දු තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

නිගමනය : මේ අනුව ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළ QR ක්‍රමවේදය අවසන් කළා යැයි දැක්වෙන් ප්‍රවෘත්ති අසත්‍ය යැයි නිගමනය කළ හැකි ය. බලශක්ති අමාත්‍යවරයාට සහ අදාළ බලධාරීන්ට අනුව මෙතෙක් (2023 පෙබරවාරි 27) එවැනි තීරණයක් ගෙන නොමැත. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.