Hashtag Generation

‘ඉශ්‍රායෙල් දේශය හා ලෝක සාමය වෙනුවෙන් නිරාහාරශීලීව යාච්ඤා කරන්න ; පාප් වහන්සේගේ ඉල්ලීමක්’ යන ප්‍රකාශය මහජනතාව නොමඟ යවයි

ඊශ්‍රායලය සහ පලස්තීනයේ හමාස් සටන්කරුවන් අතර යුද්ධය මේ වනවිට උග්‍ර අර්බුදයක් බවට පත්ව තිබේ. මෙම යුද්ධය හේතුවෙන් ඔක්තෝබර් 23 වැනිදා වනවිට 5,000කට වැඩි පිරිසක් මරණයට පත්ව තිබිණි.  ගැටුම් නවත්වා සටන් විරාමයකට යන්නැයි ද මානුෂීය ආධාරවලට ඉඩ දෙන්නැයි  ලෝක නායකයන් ද අවස්ථා කිහිපයකදී ඉල්ලා තිබිණි. මේ අතරවාරයේ දී සාමය වෙනුවෙන් කටයුතු කරන්නැයි අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා සියලු පාර්ශවවලින් අවස්ථා කිහිපයකදී ම ඉල්ලා තිබිණි. මෙතැනින්, මෙතැනින්, මෙතැනින්, මෙතැනින්, මෙතැනින්,මෙතැනින්,මෙතැනින්

මෙම යුද ගැටුම් තෙවැනි සතිය ද අවසන් කරමින් තිබෙන බැවින් පාප්තුමා ලෝ පුරා කතෝලික ප්‍රජාවගෙන් නැවත වරක් සාමය වෙනුවෙන් යාඥා කරන්නැයි ඉල්ලීමක් කර තිබිණි. පාප්තුමා සියලු ක්‍රිස්ත්‍රියානි ප්‍රජාවලින් මෙන්ම අනෙකුත් ආගමික ප්‍රජාවලින් ද මෙම ඉල්ලීම කර තිබිණි. පාප්තුමාගේ මෙම ඉල්ලීම මුල් කරගනිමින් ‘ඉශ්‍රායෙල් දේශය හා ලෝකයේ සාමය වෙනුවෙන් නිරාහාරශීලීව යාච්ඤා කරන්න’ යැයි දැක්වෙන ෆේස්බුක් සටහනක් (Facebook Post) ඉකුත් දින කිහිපයේ දී සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. එහි තිර ඡායාරූපයක් (screenshot) පහතින් දැක්වේ. 

‘ඉශ්‍රායෙල් දේශය හා ලෝක සාමය’ හා නිරාහාරශීලීව යාඥා කරන්නැයි අති උතුම් ශුද්ධෝත්තම පාප්තුමා ඉල්ලීමක් කර ඇත්දැයි හෑෂ්ටැග් පරපුර විමසා බැලීය. එහිදි අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා එවැනි ප්‍රකාශයක් කර නොමැති බව තහවුරු වූ අතර කෙසේ නමුත් ඔක්තෝබර් 27 වැනිදා යාඥා කරන්නැයි පාප්තුමා ලොව පුරා කතෝලික ප්‍රජාවගෙන් සියලු ක්‍රිස්තියානු බැතිමතුන්ගෙන් මෙන්ම අනෙකුත් ආගමික ප්‍රජාවලින් ද ඉල්ලීමක් කර තිබිණි. 

පාප්තුමා කතෝලික ප්‍රජාවට, සියලු ක්‍රිස්තියානි බැතිමතුන්ට, අනෙකුත් ආගමික ප්‍රජාවලට සහ සාමය වෙනුවෙන් ප්‍රාර්ථනා කරන සියලු දෙනාගෙන් මෙම ඉල්ලීම කර තිබූ අතර නිරාහාරව, මනස්තාපනයේ ක්‍රියා හා යාඥාවෙන් ගෙවන දිනයක් ලෙස නම් කරන බව ද ප්‍රකාශ කර තිබිණි. 

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩ (Twitter – දැන් X යනුවෙන් හඳුන්වයි) නිකුත් කර තිබිණි. 

ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් තැබූ X සටහනේ (Twitter) තිර ඡායාරූප (Screen Shots) පහතින් දැක්වේ. මෙතැනින්, මෙතැනින්

අති උතුම් ෆ්‍රැන්සිස් පාප්තුමෝ කිසිදු තැනක ‘ඉශ්‍රායෙල් හෝ ඊශ්‍රායලය’ යනුවෙන් සඳහන් කර නොමැත. කෙසේ නමුත් ඉකුත් දින කිහිපයේ සමාජ මාධ්‍යයේ සංසරණය වූ ප්‍රකාශයේ ‘ඉශ්‍රායෙල්’ යනුවෙන් සඳහන්ව තිබිණි. 

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරගැනීම සඳහා කොළඹ අගරදගුරු මැඳුරේ කතෝලික ජනමාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාගෙන් විමසීමක් කළේ ය. 

පාප්තුමා ලෝක සාමය වෙනුවෙන් යාඥා කරන්නැයි ඉල්ලීමක් කර ඇති බවත් කිසිදු අවස්ථාවක ඊශ්‍රායෙල් දේශය විශේෂ කොට දක්වා නැති බවත් සිරිල් ගාමිණි පියතුමා පැවැසීය. 

නිගමනය: ‘ඉශ්‍රායෙල් දේශය සහ ලෝකයේ වෙනුවෙන් නිරාහාරශීලීව යාච්ඤා කරන්න’ – පාප්තුමාගේ ඉල්ලීමක් යනුවෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන ප්‍රකාශය මහජනතාව නොමඟ යවයි. අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා කිසිදු තැනක ඊශ්‍රායෙල් දේශය යනුවෙන් විශේෂ කොට දක්වා නැත. සාමය වෙනුවෙන් කැප වෙන සියලු දෙනාගෙන් ලෝක සාමය වෙනුවෙන් යාඥා කිරීමට එක්වන්නැයි අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා ඉල්ලා ඇත. 

වත්මන් ඊශ්‍රායල රාජ්‍ය ය, සිංහල බසින් ලියැවෙන්නේ ‘ඊශ්‍රායලය’ යනුවෙනි. 

මූලාශ – සිංහල අක්ෂර වින්‍යාසය (සඳගෝමී කෝපරහේවා), සිංහල අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය (සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනය-සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව), මලලසේකර (ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය), . 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.