Hashtag Generation

“උද්ධමනය ගැටලුවක් නොවේ, එය පරිපූර්ණ විසදුමයි” යැයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා ද ?

ශ්‍රී ලංකාව මේ වනවිට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියි. එහි එක් ප්‍රධාන කරුණක් වනුයේ ඉහළ උද්ධමන තත්ත්වය යි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කළ පරිදි මේ වසරේ ජූලි මාසයේ දී මෙරට උද්ධමනය (මතුපිට උද්ධමනය) සියයට 60.8 දක්වා ඉහළ ගොස් තිබේ. ඊට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනය, මෙතැනින්. මෙවැනි පසුබිමක “ඉතිහාසයේ කවරදාකවත් මුහුණ නොදුන් ආකාරයේ ඉහළ උද්ධමනකාරී තත්ත්වය ඇති වීමට හේතු මොනවාද?, මේ හරහා සිදුවිය හැකි බලපෑම් මොනවාද?, අනාගත උද්ධමන පුරෝකථන  කෙසේද?” ආදී කරුණු ඇතුළුව ආර්ථිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැකුවේ අධිපතිවරයා ද ඇතුළුව, ආර්ථික විද්වත්හු ගෙවුණු කාලයේ ම අදහස් පළ කළහ.

එවැනි වාතාවරණයක් තුළ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉංග්‍රීසි භාෂාවෙන් ලියා පළ කරන ලද ලිපියක සිංහල පරිවර්තනයක් යැයි සඳහන් කරමින්  ෆේස්බුක් සටහන් (Facebook Posts) සහ වට්ස්ඇප් පණිවුඩ(Whatsapp Messages) සංසරණය වන අයුරු ඉකුත් දින කිහිපයේදී අප වෙත නිරීක්ෂණය විය.

එලෙස සංසරණය වන ෆේස්බුක් සටහන් (Facebook Posts) හා වට්සැප් පණිවුඩ (WhatsApp Messages) කිහිපයක තිර ඡායාරූප (Screenshots) කිහිපයක් පහතින් දක්වා ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එවැන්නක් ප්‍රකාශ නොකළ බව, මහ බැංකුවේ නිලධාරියෙක් අප වෙත තහවුරු කළේ ය.

එමෙන්ම, මෙම සටහන් සහ පණිවුඩවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව අවධාරණය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව අගෝස්තු මස 16 වැනිදා නිවේදනයක් නිකුත් කළේ ය. මෙතැනින්. එම මාධ්‍ය නිවේදනයේ ඡායාරූපයක් පහතින් දක්වා ඇත.

“උද්ධමනය ගැටලුව නොව පරිපූර්ණ විසඳුමයි…….මේ ආර්ථික අර්බුදය අපට වූ හොඳම දෙයයි…….. මහ බැංකු අධිපති ඓතිහාසික දෙසුමක” යන මාතෘකා හෝ ඊට සමාන මාතෘකා යටතේ මේ දිනවලද සමාජ මාධ්‍ය  තුළ සංසරණය වන සටහන්වල අඩංගු කරුණු සම්බන්ධයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හෝ ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු වගකීමක් නොදරන බව ද අදාළ නිවේදනය මඟින් අවධාරණය කර ඇත.

එමෙන් ම මෙම සටහන්වල සදහන් වන ඉංග්‍රීසි භාෂාවෙන් ලියා පළ කර ඇති “inflation is not a problem, but a solution” යනුවෙන් සදහන් වෙබ් ලිපිය; මෙතැනින්, සම්බන්ධයෙන් ද මහ බැංකු මාධ්‍ය නිවේදනය මගින් දන්වා ඇත්තේ වෙනත් පුද්ගලයෙකු විසින් එලෙස වෙබ් අඩවියක ලිපියක් පළ කර ඇති බවත් එහි අඩංගු කරුණු සම්බන්ධයෙන් ද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හෝ ශ්‍රී ලංකා මහ බැංකුව වගකීමක් නොදරනන බවයි.

මෙය තවදුරටත් තහවුරු කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා මෑතකදී සහභාගී වූ රූපවාහිනි වැඩසටහන් සහ සම්මුඛ සාකච්ඡා කිහිපයක් ද පරීක්ෂා කළ අතර මහ බැංකු අධිපතිවරයා ඉහත දැක්වෙන ආකාරයේ කරුණක් ඒවායේ දී ද ප්‍රකාශ නොකරන බව අපට නිගමනය කළ හැකි විය.

“ආර්ථිකය ගොඩනගන්න රජය සුබසාධනයෙන් ඉවත් විය යුතුයි” ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා පැවැසූයේ යැයි සඳහන් කරමින් මේ මස මුල දී මහජනතාව නොමග යවන ආකාරයේ පුවතක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.

ඊට අදාළව හෑෂ්ටැග් පරපුර කළ කරුණු පරීක්ෂාවට (Fact Check)  මෙතැනින් පිවිසෙන්න.

නිගමනය- “උද්ධමනය ගැටලුවක් නොවේ, එය පරිපූර්ණ විසදුමයි” යනුවෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවා යැයි දක්වමින් සමාජ මාධ්‍ය ජාලා හා පණිවුඩ ජාලා තුළ සංසරණය වන පුවත් සාවද්‍ය යි අපට නිගමනය කළ හැකි ය. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.