Hashtag Generation

එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කළාද?

ශ්‍රී ලංකාවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරණය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලය සිදු කළ සමීක්ෂණයක් ලෙස සඳහන් කරමින් සටහනක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල සංසරණය විය. එම සටහනේ අදහස් දක්වන කොටසේ සටහනට අදාළ සමීක්ෂණ වාර්තාවක් ද ඉදිරිපත් කර තිබුණි.  

සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහනේ තිර ඡායාරූපයක් (screenshot) පහතින් දැක්වේ.

සටහනේ ශීර්ෂ පාඨය තුළ “ සජිත් – 36%, පොහොට්ටුව – 35%, එජාප – 16%, අනුර – 11%” යනුවෙන් දක්වා තිබුණි. තවද දීර්ඝ විස්තරයක් සහිතව සමීක්ෂණ වාර්තාවේ දත්ත වගුවක් සටහන තුළ අන්තර්ගත වී ඇත. සටහනේ දක්වා තිබූ දීර්ඝ විස්තරය පහත දැක්වේ.

“එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමිෂන් සභාව සරණාගතයන් වෙනුවෙන් තිබෙන මුදල් වියදම් කර ලංකාවේ ජනාධිපතිවරණය ගැන සමීක්ෂණ කරන්නට තිබෙන අයිතිය පිළිබඳ මට බරපතළ සැකයක් ඇත. එහෙත්, එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන යනු රාජ්‍ය නොවන සංවිධාන වලටත් වඩා දූෂණ අක්‍රමිකතා බහුල ආයතන බව මගේ අත්දැකීමයි. මෙම සමීක්ෂණ වාර්තා සත්‍යයක් ද ප්‍රබන්ධයක්ද යන්න මම නොදනිමි. ප්‍රබන්ධයක් මෙතරම් විධිමත් ලෙස ඉදිරිපත් කරන්නේ නම් එයද ලංකාවේ හැටියට සුවිශේෂ තත්ත්වයකි. මෙම ප්‍රතිඵලය නම් මා සිතන පරිදි යථාර්ථවාදී එකකි. සම්පූර්ණ වාර්තාවවේ සබැඳිය 1 කමෙන්ටුවේ” 

එමෙන් ම  සටහනේ අදහස් දක්වන කොටසේ දක්වා තිබූ සමීක්ෂණ වාර්තාව තුළ ශ්‍රී ලංකාවේ 2024  ජනාධිපතිවරණය පිළිබඳ සම්පූර්ණ සමීක්ෂන වාර්තාව යනුවෙන්  සටහන් වී තිබුණි. සමීක්ෂණය සිදු කළ ආකාරය, සමීක්ෂණයට අදාළ දත්ත සහ අවසාන වශයෙන්  ශ්‍රී ලංකාවේ ඒ ඒ පක්ෂ ලබාගනු ලබන මනාප ප්‍රතිශතයක් වශයෙන් වගු භාවිතයෙන් සාරාංශ කොට තිබුණි. එහි අවසානයේ “UNP – 16.35%, SJB – 36.21%, SLPP – 34.53%, NPP – 10.59%, Others – 2.32% යනුවෙන් මනාප පිළිබඳ සමීක්ෂණ දත්ත දක්වා තිබුණි. 

එක්සත් ජාතීන්ගේ සංගමයේ නියෝජිත ආයතනයක් වන එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලය  විසින් සිදු කළ බව සඳහන් මෙම සමීක්ෂණයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව විමසා බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

ඒ අනුව පළමුවෙන්ම මෙම සටහනේ දක්වා ඇති ආකාරයේ සමීක්ෂණයක් හෝ සමීක්ෂණ වාර්තාවක් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් පිටුව තුළ සඳහන් වී තිබේ දැයි විමසා බැලූ අතර මෙහි සදහන් ආකාරයේ සමීක්ෂණයක් හෝ සමීක්ෂණ වාර්තාවක් පිළිබඳ තොරතුරක් නිල වෙබ් පිටුවේ සඳහන් නොවීය.

එමෙන් ම මෙහි සඳහන් සමීක්ෂණ වාර්තාව නිරීක්ෂණයේදී  වැරදි කිහිපයක් ම හඳුනා ගැනීමට හැකි විය. සමීක්ෂණ වාර්තාවේ  දත්ත විශ්ලේෂණ කොටසේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාසයක් ලෙස කොලොන්නාව නම් කර තිබෙනු දැක ගත හැකි විය. 

කොලොන්නාව ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ඡන්ද කොට්ඨාසයක් නොවන අතර එය කොළඹදි දිස්ත්‍රික්කයට අයත් ඡන්ද කොට්ඨාසයකි.

තවද මෙම සමීක්ෂණයේ නියැදි වශයෙන් දස දහසක (10,000) ඡන්දදායකයින් ප්‍රමාණයක් සහභාගී කරගත් බව සඳහන් නමුත් එක් එක් දිස්ත්‍රික්කවලින් නියැදියේ සඳහන් ප්‍රමාණයට වඩා විශාල දත්ත ප්‍රමාණයක් ලබා ගෙන ඇති බව සමීක්ෂණ වාර්තාව නිරීක්ෂණයේදී පැහැදිලි විය.

එමෙන් ම මේ පිළිබඳව තවදුරටත් කරුණු විමසා බැලීමේදී මෙලෙස සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන සමීක්ෂණ වාර්තාව පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානය (ශ්‍රී ලංකාව) විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩයක් අපට හමුවිය.

“එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලය (UNHCR) වෙත ව්‍යාජ ලෙස ආරෝපණය කරන ලද මැතිවරණ ගැටලු සම්බන්ධයෙන් වංචනික වාර්තාවක් අන්තර්ජාලය හරහා සංසරණය වන බව ට්විටර් පණිවුඩයේ සඳහන් විය. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය⁣ හෝ එහි නියෝජිත ආයතනවලින් යැයි කියනු ලබන ඕනෑම පණිවිඩයක සත්‍යතාව විමසීමට විද්‍යුත් තැපැල් ලිපිනයක් ද ට්විටර් පණිවුඩයේ දක්වා තිබුණි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

මෙම සියලු කරුණු අනුව විමසා බැලීමේදී එක්සත් ජාතින්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලය විසින් ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සිදුකළ සමීක්ෂණයක් යැයි සඳහන් සටහන සහ සමීක්ෂණ වාර්තාව ව්‍යාජ බව පැහැදිලිය.

නිගමනය : එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සිදුකළ සමීක්ෂණ වාර්තාවක් පිළිබඳ සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අතර එය වංචනික වාර්තාවක් බවට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමිෂන් සභාව විසින් සිදුකළ ජනාධිපතිවරණ සමීක්ෂණ වාර්තාව සහ සටහන ව්‍යාජ බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.