Hashtag Generation

එම්.සී.සී. මූලික ගිවිසුමේ මුදල් ජනාධිපතිවරණයට වියදම් කළා යැයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කිව්ව ද?

අඩු ආදායම්ලාභී රටවලට සංවර්ධන ආධාර ලබා දීමේ අරමුණින් පිහිටුවන ලද එම්.සී.සී. ආයතනය (MCC – Millennium Challenge Corporation) ශ්‍රී ලංකාව සමඟ වසර පහක කාලයක් සඳහා ගිවිසුම්ගත වන බව 2019 වසරේ අප්‍රේල් මාසයේ දී නිවේදනය කළේ ය. (මෙතැනින්, මෙතැනින්, මෙතැනින්)

මේ සම්බන්ධයෙන් එම සමයේ දී විශාල කතාබහක් ඇති වූ අතර 2019 වසරේ ජනාධිපතිවරණයට මාසයක් තිබියදී එම්.සී.සී. ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

එම්.සී.සී.  මූලික ගිවිසුමෙන් ලැබුණු මුදල් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ වියදම් සඳහා දුන්නේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පැවසූ බව සඳහන් කළ සටහන් (Posts) ඉකුත් දින කිහිපයේ දී  ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අයුරු දක්නට ලැබිණි.  

එලෙස හුවමාරු වූ සටහනක තිර ඡායාරූපයක් (Screenshot) පහතින් දැක්වේ.


මෙම සටහන මේ ආකාරයටම මේ වසරේ ජූලි මාසයේ ද ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණි. එමෙන්ම මෙය 2020 වසරේ ඔක්තෝබර් මාසයේ දී ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබිණි. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා මෙම ප්‍රකාශය කළේ යැයි සඳහන් කරමින් මෙම සටහන් (Posts) සමාජ මාධ්‍ය තුළ විශේෂයෙන්ම ෆේස්බුක් (Facebook) තුළ සංසරණය වී තිබිණි. 

ඉහත කී සටහන් නැවත වරක් ෆේස්බුක් තුළ සංසරණය වීමත් සමඟ හෑෂ්ටැග් පරපුර මෙහි සත්‍ය අසත්‍යතාව විමසා බැලීය. 

එම්.සී.සී ගිවිසුම සම්බන්ධව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රසිද්ධ මාධ්‍යය වෙත කුමන හෝ ප්‍රකාශයක් සිදු කර ඇත්දැයි පළමුවෙන් ම විමසා බැලීය. එහිදී එම්.සී.සී ගිවිසුම සම්බන්ධව අදහස් දැක් වූ කිසිදු මූලාශ්‍රයක් හෝ සාක්ෂික් සොයා ගැනීමට නොහැකි විය.

තවදුරටත් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා එවැනි ප්‍රකාශයක් කර ඇත්දැයි සොයා බැලීම සඳහා ඔහුගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළේ ය. ඔහු එවැනි ප්‍රකාශයක් කළ බවට එහි දි කිසිදු ප්‍රමාණවත් සාක්ෂියක් නොලැබුණු අතර මේ සම්බන්ධයෙන් ඔහු තැබූ සටහනක් සොයාගැනීමට හැකියාව ලැබිණි. මෙලෙස සංසරණය වන ෆේස්බුක් සටහන් (Facebook Posts) අසත්‍ය යැයි සඳහන් කරමින් ඔහු සිය ෆේස්බුක් සහ එක්ස් (මින් පෙර ට්විටර් ලෙස හැඳින්වූ)  ගිණුම් හරහා ප්‍රකාශයක් කර තිබිණි. 

ඒවායේ තිර ඡායාරූප (Screenshots) පහතින් දැක්වේ. 

මේ පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කරගැනීම සඳහා ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළේ ය. 

තමන් මෙවැනි ප්‍රකාශයක් කළේ යැයි සඳහන් කරමින් සිය නම සහ ඡායාරූප භාවිත කරමින් මීට පෙරද  සමාජ මාධ්‍ය තුළ සටහන් සංසරණය වූයේ යැයි ද එම අවස්ථාවේදී සිය ෆේස්බුක් ගිණුමේ මේ සම්බන්ධයෙන් සටහනක් තැබූ බවත් වික්‍රමරත්න මහතා පැවැසීය. තමන් කිසිදු අවස්ථාවකදී මෙවැනි ප්‍රකාශයක් නොකළ බවත් මෙය සම්පූර්ණයෙන් ම අසත්‍ය ප්‍රකාශයක් බවත් ඔහු අවධාරණය කළේ ය. 

නිගමනය : එම්.සී.සී. මූලික ගිවිසුමෙන් ලැබුණු මුදල් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා.ප. යේ සහ ජ.වි.පේ. ජනාධිපතිවරණ වියදම් සඳහා දුන් බවට ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා කිසිදු ප්‍රකාශයක් කර නොමැත. වික්‍රමරත්න මහතා එවැනි ප්‍රකාශයක් කළේ යැයි සඳහන් කරමින් 2020 වසරේ දීත් මේ වසරේ ජූලි මාසයේදීත් සමාජ මාධ්‍ය තුළ සටහන් සංසරණය වී ඇත. මෙය මුලින් ම සංසරණය වූ අවස්ථාවේ දී මෙය අසත්‍යයක් යැයි සඳහන් කරමින් වික්‍රමරත්න මහතා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කර ඇති අතර තමන් කිසිදු අවස්ථාවකදී එවැනි ප්‍රකාශයක් කළේ නැතැයි අප කළ විමසීමකදී වික්‍රමරත්න මහතා තහවුරු කළේ ය. ඒ අනුව මෙම ෆේස්බුක් සටහන් අසත්‍ය යැයි නිගමනය කළ හැකි ය. 

හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.