Hashtag Generation

ඔක්තෝබර් 13 හෝ ඒ අවට දිනවල ඇති වූ වර්ෂාපතනය නිසාවෙන් රාවණා ඇල්ල රළු වීමක් සිදු වුවාද?

ඔක්තෝබර් මස තුල රට පුරා විවිධ ප්‍රදේශවල වර්ෂාපතනය ඇද හැලීම දැක ගැනීමට හැකි කාරණයක් වී ඇත. එම වර්ෂාපතනය නිසාවෙන් බොහෝ පිරිසක් විවිධ ප්‍රදේශ වල අවතැන් වීමක්ද සිදු වී ඇත. තවද ස්වාභාවික විපත් සිදු වීමක්ද දැක ගැනීමට හැකි වේ. 

එවැනි කාලවකවානුවක බදුල්ල ප්‍රදේශයේ ඇති රාවණා ඇල්ල රළු වීමක්  සිදු වී ඇති බවට පුවතක් වාර්තා විය. එම පුවතෙහි තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

ඉහත ඡායාරූපයේ ඇති පුවත 2024 ඔක්තෝම්බර් 13 වැනිදා මොනරා පුවත් පතෙහි වාර්තා වි තිබුණි. නමුත් වෙනත් කිසිදු පුවත්පතක මෙවැනි පුවතක් වාර්තා නොවීම හේතුවෙන් අප මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කළෙමු.

ඒ සඳහා අප මුලින්ම සිදු කරනු ලැබුවේ මෙවැනි පුවතක් ප්‍රධාන රූපවාහිණි මාධ්‍ය වල ප්‍රවෘත්ති විකාශනයන් තුළ විකාශනය වී ඇත් ද යන්න සොයා බැලීමයි. නමුත් එවැනි පුවතක් කිසිදු රූපවාහිණි මාධ්‍යක විකාශනය වී නොතිබුණි.

ඉන් පසුව අප ඡායාරූපය පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම සඳහා ගූගල් රිවස් ඉමේජ් (Google Reverse Image) හරහාද කරුණු සොයා බැලුවේය. එහිදී අපට තහවුරු කර ගැනීමට හැකි වුවේ මෙම ඡායාරූපය 2019 සැප්තැම්බර් 24 වෙනි දින Daily Mirror වෙබ් අඩවියේ පළ වී තිබු ඡායාරූපයක් ලබා ගනිමින් එය සමීප කර සංස්කරණය කර මෙම මොනරා පුවත්පතෙහි පළ කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කරුණු තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට දුරකතන ඇමතුමක් ලබා ගත්තේය. එහිදී කාලගුණ විද්‍යාඥය ප්‍රබෝධනි කරුණාපාල අපට  සම්බන්ධ කර ගැනීමට හැකි විය. 

එතුමිය අපට පවසා සිටියේ වර්ෂාපතනය නිසාවෙන් බදුල්ල ප්‍රදේශයෙන් 2024 ඔක්තෝම්බර් 15 වෙනි දින වන තෙක් එවැනි සිදු වීමක් වාර්තා නොවූ බවයි. තවද බදුල්ල බණ්ඩාරවෙල ප්‍රදේශයන් වලට ගංවතුර නාය යෑම් සිදු වීමට තරම් වර්ෂාපතනයක් එම පුවත් වාර්තා වූ දින වල සිදු නොවූ බවට එතුමිය තහවුරු කර සිටියාය. තව දුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2024 ඔක්තෝම්බර් 12 වෙනිදා ඉදිරි පැය 24 සඳහා වලංගු පරිදි නිකුත් කළ තද වැසි පිළිබඳ අවදානාත්මක නිවේදනයක් ඇය අපට ලබා දුන්නාය. එම නිවේදනය පහතින් දැක්වේ.

ඉහත නිවේදනය තුළ කොලඹ, ගම්පහ, කළුතර, රත්නපුර කෑගල්ල, ගාල්ල, කුරුණෑගල හා නුවර එළිය යන දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිවේදන නිකුත් කර තිබුණද බදුල්ල දිස්ත්‍රිකය එහි අන්තර්ගත නොවීය.

ඉන් පසුව අප මේ පිළිබඳව තව දුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර දුරකතන ඔස්සේ සම්බන්ධ කර ගත්තේය. 

එම විමසීමේදි ඔහු තහවුරු කර සිටියේ රාවණා ඇල්ලෙහි ජල පෝෂක ප්‍රදේශයන්ට ඒ දිනවල සැලකිය යුතු මට්ටමක වර්ෂාපතනයක් නොලැබූ බවත් එම නිසා රළු වීමක් හෝ පිටාර ගැලීමක් සිදු නොවූ බවයි. තව දුරටත් ඔහු පවසා සිටියේ  ඇල්ල – වැල්ලවාය ප්‍රදේශයේ කිසිදු ගල් පෙරළීමක් හෝ පස් කඳුකඩාවැටීමක් මෙතෙක් වාර්තා නොවූ බවයි.

නිගමනය : ඔක්තෝබර් මස 13 වන දින හෝ අවට දිනයක ඇති වූ වර්ෂාපතනය නිසාවෙන් බදුල්ල ප්‍රදේශයේ රාවණා ඇල්ල රළු වීමක් හෝ ආපදා අවදානම් තත්ත්වයක් වාර්තා නොවූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අප කළ විමසීමේදි තහවුරු කළේය. මොනරා පුවත්පත ඔස්සේ පළ කර ඇත්තේ ව්‍යාජ පණිවුඩයකි. යොදාගෙන ඇති ඡායාරූප ද පැරණි ඡායාරූපයක් බව අප කළ කරුණු පරීක්ෂාවේදි  තහවුරු විය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න