Hashtag Generation

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ජා.ජ.බ නීතිඥ සුනිල් වටගල මහතා කිසිවක් පවසා නැත.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නොවැම්බර් පස්වැනිදා වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින්  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිට වීමට පියවර ගත්තේ ය. එම ගැසට් නිවේදනය මඟින් ම හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ සභාපතීත්වය යටතේ සාමාජිකයන් හත්දෙනකුගෙන් සමන්විත නව අතුරු පාලක කමිටුවක් පත් කරන ලදී. 

එම නව අතුරු පාලක මණ්ඩලය පත්කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර එම පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය දින දාහතරකට බලපැවැත්වෙන පරිදි ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු කමිටුව සහ අදාළ ගැසට් නිවේදනය තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. 

මෙම ගැටලු සහගත තත්ත්වය හේතුවෙන් මේ පිළිබඳව බොහෝ පාර්ශව අදහස් ප්‍රකාශ  කළහ. පාර්ලිමේන්තුවේ ද මේ සම්බන්ධයෙන් වාද විවාද රැසක් පැවැත්විණි.

එවැනි පසුබිමක ‘ජාතික ජන බලවේගයේ නීතිඥයෝ’ සංගමයේ උප සභාපති නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළා යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා ප්‍රවෘත්තියක් හුවමාරු වන අයුරු දක්නට ලැබිණි. 

එහි තිර ඡායාරූපයක් (Screenshot) පහතින් දැක්වේ. 

“ශම්මි සිල්වලාගේ වැරදි ඇති. ඒත් ඒ අය පත් උනේ නීතියානුකූල ක්‍රමවේදයකින්” – “ අර්ජුනට එරෙහිව මේ ලැබුනු නියෝගය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයක්”යනුවෙන් සමාජ මාධ්‍යවල හුවමාරු වන සටහන්වල (Facebook Posts) දැක්විණි.  

එසේ හුවමාරුවන සමාජ මාධ්‍ය සටහන් කිසිවක මූලාශ්‍රයක් සොයාගැනීමට නොහැකි විය.

 අදාළ ෆේස්බුක් සටහන්වල (Facebook Posts) Mawurata – මවුරට වෙබ් අඩවිය යනුවෙන් දැක්වුණ ද මවුරට වෙබ් අඩවියේ හෝ ඔවුන්ගේ නිල ෆේස්බුක් හෝ පිටුවේ මෙවැනි කිසිදු ප්‍රවෘත්තියක් වාර්තා කර නොතිබිණි.   

එමෙන්ම මෑතකදී ඔහු මාධ්‍යයට කළ ප්‍රකාශ සියල්ල ම වාගේ නිරීක්ෂණය කළ අතර ඒවායේ ද ඔහු මෙවැනි ප්‍රකාශයක් කර තිබුණේ නැත.

තවද ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉකුත් නොවැම්බර් පස්වෙනිදා අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පසු සුනිල් වටගල මහතා ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නොමැති අතර ඒ ආකාරයේ ප්‍රවෘත්තියක් ද කිසිදු මාධ්‍යයක පළ වී නොතිබිණි. 

නීතිඥ සුනිල් වටගල මහතාගේ නිල ෆේස්බුක් පිටුවද නිරීක්ෂණය කළ අතර එහි ද මෙවන්නක් සොයාගැනීමට නොලැබිණි. 

නීතිඥ සුනිල් වටගල මහතාගෙන් අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතරතමන් එවැනි කිසිදු ප්‍රකාශයක් නොකළ බවත්   එම සටහන් සම්පූර්ණයෙන්ම ව්‍යාජ ඒවා බවත් ඔහු පැවැසීය. 

නිගමනය: ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුව හෝ ක්‍රිකට් ආයතනය ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර ඇති බවට කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි විය. ඒ අනුව ක්‍රිකට් අතුරු කමිටුව ගැන ඔහු සඳහන් කළා යැයි සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන සටහන් ව්‍යාජ යැයි නිගමනය කළ හැකි ය. 

හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.