Hashtag Generation

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වූයේ නැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් යනු මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවකි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය (2023) තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලද අසාර්ථකත්වය මුල් කරගනිමින් මෙම කතාබහ ගොඩනැගෙන්නට විය.  ඒ සමඟම ක්‍රිකට් ආයතනය තුළ පැවැති අර්බුදකාරී තත්ත්වය සහ ක්‍රිකට් ආයතනයේ මුල් පුටුවල පවතින ගැටලු එකින් එක මතු වන්නට විය. මෙවැනි පසුබිමක නොවැම්බර් මස නවවැනිදා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට අදාළව පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වූ අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විවාදයක් ද පැවැත්විණි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට අදාළ යෝජනාව සමඟි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගොඩනැගී ඇත්තේ පවුල් කිහිපයක් මත පදනම් වී යැයි මෙම විවාදයේ දී අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසීය.  එමෙන් ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද දේශපාලන රැකවරණය හා හයිය මත ක්‍රියාත්මක වන සූදුවක් බවත්, එසේ නොමැති නම් මීට පෙර තීන්දු තීරණ ගන්නට හැකියාව තිබූ  බවත් මෙම විවාදයේ දී  අදහස් දැක්වූ විජිත හේරත් මහතා කීවේ ය. විජිත හේරත් මහතා කළ කතාවට මෙතැනින් පිවිසෙන්න.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමේ යෝජනාවට අදාළ විවාදයෙන් පසුව පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් පාර්ලිමේන්තුවේ ඒ අවස්ථාවේ සිටි සියලු දෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට එකඟත්වය පළ කිරීම නිසා ඡන්දයක් නොපැත්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළේ ය. ඡන්දයක් නොපැත්වීමට ගත් තීරණය පිළිබද කතානායක මහින්ද යාපා අබේවර්ධ මහතා කළ නිවේදනයට මෙතැනින් පිවිසෙන්න.

එම තීරණය ගන්නා අවස්ථාවේදී ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් (විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරිය) පාර්ලිමේන්තු සභා ගර්භය තුළ රැඳී නොසිටීම නිසා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විවිධ අදහස් පළ කර තිබිණි. පාර්ලිමේන්තුවේ ඡන්දයක් විමසීමට නියමිත අවස්ථාවක ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ රැඳී නොසිටීම සැක මතු කිරීමට හේතුවක් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ කතාවට මෙතැනින් පිවිසෙන්න. 

ශම්මි සිල්වා සහ ජාතික ජනබලවේගය අතර මුදල් හුවමාරුවක් සිදු වී ඇත් දැයි යන්න සැකයක් මතුවන්නේ යැයි පාර්ලිමේන්තු විවාදය අතරතුර දී නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසුවේ ය. නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තු විවාදයේදී සිදුකළ කතාවට මෙතැනින් පිවිසෙන්න.  

එමෙන්ම මෙම විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙස සඳහන් කරමින් සටහන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. “අපේ පක්ෂයේ ප්‍රවර්ධනය වෙනුවෙන් විශාල කැප කිරීමක් හා මූල්‍ය දායකත්වයක් ලබාදුන් ෂම්මි සිල්වා වැනි ප්‍රගතිශීලී මහත්මාවරුන්ට අපේ හෘද සාක්ෂියට අනුව විරුද්ධව ඡන්දයක් ලබා දෙන්න තරම් පහත් තත්ත්වයට වැටෙන්න අපිට බෑ. පක්ෂයේ නායකයා ගේ උපදෙස් අනුව ඡන්දයක් විමසන අවස්ථාව පැමිණීමට පෙර අපි සභාවෙන් පිටත් වූයේ එම නිසා – විජිත හේරත්ගෙන් පැහැදිලි කිරීමක්” යනුවෙන් ඒවායේ සඳහන්ව තිබිණි.

එලෙස සංසරණය වූ ෆේස්බුක් (Facebook) සටහනේ තිර ඡායාරූපයක් (Screenshot) පහතින් දැක්වේ.

පාර්ලිමේන්තු විවාදය අතරතුරදී මැති ඇමතිවරුන් ඉදිරිපත් කළ අදහස් මත ගොඩනැගුණු කුතුහලය නිසාත්, ෆේස්බුක් (Facebook) තුළ මේ ආකාරයේ සටහන් සංසරණය වීමත් සමඟ හෑෂ්ටැග් පරපුර මෙහි සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට තීරණය කළේය.

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කුමන හෝ අවස්ථාවකදී  එවැනි ප්‍රකාශයක් කර ඇත්දැයි අප මුලින්ම විමසා බැලීය. එවැනි ප්‍රකාශයක් සිදු කළ බවට කිසිදු තොරතුරක් අප වෙත නොලැබිණි. එමෙන් ම ඔහු පාර්ලිමේන්තු විවාදය තුළ ඉදිරිපත් කළ කතාවේද එවැනි ප්‍රකාශයක් සදහන් ව නොතිබිණි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට ගෙනා යෝජනාවට අදාළව පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේ දී ජාතික ජනබලවේගයට එල්ල කළ චෝදනාවලට හෝ ඉහත සටහනේ සඳහන් ප්‍රකාශයට  හෝ  පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊට පසු දින පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දක්වා නොතිබිණි.

ඒ වෙනුවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වීය. පාර්ලිමේන්තුවේ ඡන්දයක් නොපැවැත් වූ නිසා ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් පිටව ගිය බව දිසානායක මහතා එහිදි පැවැසීය. අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවට මෙතැනින් පිවිසෙන්න.  

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සටහන පිළිබදව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළේය. 

තමන් එවැනි ප්‍රකාශයක් කිසිදු තැනකදී සිදු නොකළ බවත් එය සම්පූර්ණයෙන්ම වැරැදි ප්‍රකාශයක් බවත් ඔහු එහිදි පැවසීය. තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව ඡන්ද විමසීමක් පාර්ලිමේන්තුව තුළ සිදු නොවූ බවත් විපක්ෂය ගෙනා යෝජනාව ආණ්ඩු පක්ෂය ස්ථිර කර දෙපක්ෂයම ඡන්ද විමසීමකින් තොරව යෝජනාව ඒකමතිකව සම්මත කළ බවත් හේරත් මහතා පැවැසීය. 

තම පක්ෂය ෂම්මි  සිල්වාගෙන් කිසිදු මුදලක් ලබාගෙන නොමැති බවත් ෂම්මි  සිල්වා සමඟ කිසිදු පෞද්ගලික දැන හැඳුනුම්කමක් නොමැති බවත් හේරත් මහතා තවදුරටත් කීය. 

ක්‍රිකට් තරග පරාජය වීමට පෙර සිටම ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කළ බවත් එය අද ඊයක සිදුවූ දෙයක් නොවන බවත් පැවැසූ විජිත් හේරත් මන්ත්‍රීවරයා මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ මඩ ප්‍රචාරයක් යැයි වැඩිදුරටත් පැවැසීය. 

ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට අදාළ පාර්ලිමේන්තු විවාදය අවසානයේදී කතානායකවරයා  “විපක්ෂ නායකතුමා ඉදිරිපත් කළ ඒකමතික යෝජනාව සභාව සම්මත කරනවාද” යනුවෙන් විමසීය. ඒ අවස්ථාවේ දී “ඡන්දයක් ඕනෑ” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත. එය හැන්සාඩ් වාර්තාවේ සඳහන් වේ. 

ක්‍රිකට් ආයනය විසුරුවා හැරීමට ගෙනා යෝජනාව සම්මත ද යනුවෙන් කතානායකවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකගෙන් විමසා සිටි අතර විපක්ෂය විසින් ගෙනා යෝජනාව ආණ්ඩු පක්ෂය ස්ථිර කළා යැයි ඒ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය. ඉන් අනතුරුව අදාළ යෝජනාව සම්මත යැයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. වැඩිදුර විස්තර සදහා මෙතැනින් පිවිසෙන්න.

නිගමනය : ‘අපේ පක්ෂයේ ප්‍රවර්ධනය වෙනුවෙන් විශාල කැප කිරීමක් හා මූල්‍ය දායකත්වය ලබාදුන් ෂම්මි සිල්වා වැනි ප්‍රගතිශීලි මහත්මාවරුන්ට’ යනාදී වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කිසිදු ප්‍රකාශයක් කර නොමැති බව තහවුරු කළ හැකි ය. එමෙන්ම ඔහුට විරුද්ධව ඡන්දය නොදුන් බවට පළ වන වාර්තා අසත්‍ය වන අතර ශ්‍රී ලංකා ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමක් නොපැවැත්විණි. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.