Hashtag Generation

කිරිඳි ඔය ආසන්නයේ ස්ථානයකින් හමු වූ අලියා ඝාතනය කළ පුද්ගලයන් යැයි සඳහන් ඡායාරූප නිවැරැදි නොවේ.

කිරිඳි ඔයේ තෙළුල්ල ජනපදයේ ‘පන්සල් මංකඩ’ අසලදී කඳින් වෙන් කරන ලද අලියකුගේ හිසක් හමු ව තිබිණි. ඉකුත් 14 වැනිදා මෙම කඳින් වෙන් කරන ලද අලි හිස සොයාගෙන තිබූ අතර ඉකුත් 15 වැනිදා ඒ සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කර තිබිණි.  එම අලි හිසේ හිසෙහි හොඬවැල සහ කනක් කපා දමා තිබිණි.  එම සිදුවීම වාර්තා කළ ප්‍රවෘත්තියක් වෙත, මෙතැනින්. මෙතනින්.

වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත මෙම වන අලියාගේ ඝාතනය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට වැල්ලවාය වනජීවී කාර්යාලය පියවර ගෙන තිබිණි. ඒ අනුව එම මරණ පරීක්ෂණය අවසන් කර ඇති බවත් එහි වාර්තාව වැල්ලවාය මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කර ඇති බවත් මරණ පරීක්ෂණය සිදුකළ වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතා අප කළ විමසීමකදී පැවැසීය. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ දී සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබිණි. ඒ අතරතුර නොවැම්බර් 20 වැනිදා වෙල්මා සහ කොටියා Tiger යන ෆේස්බුක් පිටු දෙකක (Facebook Pages) “සැකකරුවන් සොයා ගැනීමට පරිසරවේදීන්ට සහාය වන්න” යනුවෙන් ඡායාරූපයක් හුවමාරු වනවා දක්නට ලැබිණි. 

එසේ හුවමාරු වූ ෆේස්බුක් සටහන්  කිහිපයක තිරඡායාරූප (Screenshots) පහතින් දැක්වේ.

එම ෆේස්බුක් සටහන්වල (Facebook posts) මෙසේ ද දැක්විණි.

පසුගියදා රටම කම්පා කළ අලියෙකුගේ හිස වෙන් කරමින් කළ මහා අපරාධය කර ඇත්තේ විදේශීය දඩයම්කරුවන් පිරිසක් සමග ශ්‍රී ලාංකික දඩයම්කරුවෙක් බව හෙළිවී තිබේ.  කුඩා අලි පැටවුන් සහ ඇතුන් ඝාතනය කරමින් රට පුරා ඇත් දළ ජාවාරමේ නිරත මොවුන් සොයා ගැනීමට මහජන සහාය පතයි.

නම – විමුක්ති මොරටු සුද්දා 

පදිංචිය – පිළියන්දල 

අවසන් වරට දුටු තැන විදේශිකයන් පිරිසක් සමඟ කිරිඳිඔය “

මේ සම්බන්ධයෙන් හෑෂ්ටැග් පරපුර කරුණු සොයාබැලීය. 

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කරන කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති සී.අයි. රියාස් මහතාගෙන් අප විමසීමක් කළේ ය. ඊට පිළිතුරු දෙමින් රියාස් මහතා මෙසේ කීය. 

“අපි තවමත් විමර්ශන කටයුතු කරමින් ඉන්නේ. කිසිම සැකකරුවෙක් තවමත් හඳුනාගෙන හෝ අත්අඩංගුවට අරගෙන නෑ. අපිට අමතරව තවත් කණ්ඩායම් කිහිපයක්ම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරනවා. ඒ අතර වැල්ලවාය වනජීවි කාර්යාලයේ විශේෂ කණ්ඩායමකුත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු දියත් කරමින් ඉන්නවා.”

සමාජ මාධ්‍යවල හුවමාරු වන ඡායාරූපය සම්බන්ධයෙන් හෝ එහි සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව ද රියාස් මහතා කීවේ ය. 

වැල්ලවාය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි ආරක්ෂක නිලධාරී නිශාන්ත ප්‍රේමලාල් මහතාගෙන් ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළේ ය. 

“අපි තවමත් පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. කුඩාඔය පොලිසියෙනුත් කරනවා. බුද්ධි අංශයත් හොයනවා. හැබැයි තවමත් කිසිම තොරතුරක් හොයාගන්න නෑ. ඒ වගේම සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන එම ඡායාරූපය සම්බන්ධයෙන් මම බුද්ධි අංශයට  දැනුම් දීමට කටයුතු කරනවා.”

ෆේස්බුක් තුළ හුවමාරු වන ඡායාරූපයේ සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලූ අතර එම ඡායාරූපවල සිටින්නේ පරිසරවේදී විමුක්ති ප්‍රතාප් බව එහිදි සොයාගැනීමට හැකියාව ලැබිණි. 

ඒ අනුව පරිසරවේදී විමුක්ති ප්‍රතාප් මහතාගෙන් ගෙන් මේ පිළිබදව විමසීය. 

“ඒ ඡායාරූපයේ සිටින්නේ මමයි,  ජේම්ස් කියන බ්‍රිතාන්‍ය ජාතිකයයි. ජේම්ස් කියන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යන අංශයේ වන හා පාරිසරික කළමනාකරණය ගැන විද්‍යාපති (MSc) උපාධියක් හදාරන ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේම තිරසරත්වය උදෙසා වන කේන්ද්‍රයේ (Centre for Sustainability) පර්යේෂණ ශිෂ්‍යයෙක් විදිහට කටයුතු කරන කෙනෙක්. ඒ අතර තමයි, 2023 ඔක්තෝබර 25 වැනිදා අපි ඒ ඡායාරූපය ගත්තේ.”

ඉකුත් ඔක්තෝබර් මස 28 වැනිදා ෆේස්බුක් හි පළ කර ඇති විමුක්ති සහ ජේම්ස් දෙදෙනා සිටින ඡායාරූපය, මෙතැනින්. ජේම්ස් සම්බන්ධයෙන් විමුක්ති ප්‍රතාප් මහතා 2022 ජනවාරි මස 22 වන දා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ  තබා ඇති සටහනට, මෙතැනින්. 

ඊට අමතරව විමුක්ති ප්‍රතාප් මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ද මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ෆේස්බුක් සටහනක් පළකර තිබුණි. මෙතැනින් 

නිගමනය: කිරිඳි ඔයේ තෙළුල්ල ජනපදයේ ‘පන්සල් මංකඩ’ අසලින් කඳින් වෙන් කළ අලි හිසක් හමු ව තිබිණි. එම ඝාතනය සිදු කර ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍යවල ඡායාරූපයක් සංසරණය වූ අතර එම සමාජ මාධ්‍ය සටහන් සියල්ල අසත්‍ය යැයි නිගමනය කළ හැකි ය. එම ඡායාරූපවල සිටින්නේ පරිසරවේදී විමුක්ති ප්‍රතාප් සහ පර්යේෂණ ශිෂ්‍යකු වන බ්‍රිතාන්‍ය ජාතික ජේම්ස් ය. මෙම ඝාතනයට අදාළව මෙතෙක් කිසිදු සැකකරුවකු හඳුනාගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වේ. අලියාගේ ඝාතනයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව වැල්ලවාය මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කර ඇත. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.