Hashtag Generation

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරව පොලිසියේ නව වත්කම් අයකර ගැනීමේ ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කළාද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරව නැවත පොලිස් සේවය සඳහා බඳවා ගෙන ඇති බවට පුවතක් පසුගිය දා මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. 

ඒ අතර “පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් වසර තුනකට පසු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පොලිසියේ නව වත්කම් අයකර ගැනීමේ ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන ලදී” යනුවෙන් X සමාජ මාධ්‍ය සටහනක සඳහන් වී තිබුණි. එමෙන්ම ඔහුගේ ඊළඟ පියවර නියෝජ්‍ය පොලිස්පති තලයට උසස් වීමක් ලබා ගැනීම බවද සටහනේ වැඩිදුරටත් සඳහන් විය.

සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහනේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා බලා කරුණු පරීක්ෂා කිරීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

ඔහු විශ්‍රාම ගැනීමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන ලදී. එමෙන් ම පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයට එක්වෙමින් ජාතික ජන බලවේගයට සහය පළ කරන ලදී.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරව නැවත පොලිස් සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ඔක්තෝම්බර් මස 10 වෙනිදා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද වාර්තා කර තිබුණි. එම පුවත් තුළ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොන්ත්‍රාත් පදනම මත වසරක කාලයක් සදහා නැවත පොලිස් සේවයට පත් කිරීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමි වූ බවට තොරතුරු සඳහන් විය. 

මේ පිළිබඳව කරුණු පැහැදිලි කර ගැනීම සඳහා අප නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූවගෙන් විමසීමක් කළෙමු. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරව කොන්ත්‍රාත් පදනම මත වසරක කාලයක් සඳහා අපරාධ හා බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. එමෙන් ම ඔහුව නව වත්කම් අයකර ගැනීමේ ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර නොමැති බවත් තල්දූව මහතා විසින් තහවුරු කරන ලදී. 

පොලිස් කොමිසමේ අනුමැතිය හිමි වුවද තවම නව ධූරයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනට රාජකාරී කටයුතු ආරම්භ කර නොමැති බවත් මේ කාලසීමාව  ශ්‍රී ලංකාව තුළ මැතිවරණයක් ක්‍රියාත්මක වීම ඊට හේතුව බවත් නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව පැවසීය. 

තවද සමාජ මාධ්‍ය සටහනේ සඳහන් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස්වීම් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවාද යන්න අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමු. දැනට පවතින තත්ත්වය මත විශ්‍රාම යාමෙන් පසුව නැවත කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලබන අය සඳහා උසස් වීම් කාර්ය පටිපාටිය අනුව උසස්වීම් ලබා ගැනීමට නොහැකි බව තල්දූව මහතා එහිදී අප වෙත පැවසීය.

පවතින තත්ත්වය අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට නියෝජ්‍ය පොලිස්පති දක්වා උසස්වීමක් ලබා ගැනීමේ යම් හැකියාවක් ඇත්තේ උසස්වීම් සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමෙන් පමණි.

නිගමනය : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරව කොන්ත්‍රාත් පදනම මත වසරක කාලයක් සඳහා අපරාධ හා බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇත. ඒ අනුව ශානි අබේසේකර මහතාව පොලීසියේ නව වත්කම් අයකර ගැනීමේ ඒකකයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත්කළ බවත් ඔහුගේ මීළඟ පියවර නියෝජ්‍ය පොලිස්පති තනතුර බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහන මහජනතාව නොමඟ යවන බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.