Hashtag Generation

ඩුබායිහි වෙළෙදසැල්වල ඇති හැපි කව් චීස් (Happy Cow Cheese) ලංකාවේ විකීණීමට තහනම් ද?

ඔස්ට්‍රියාවේ නිෂ්පාදනය කර ලංකාවට ආනයනය කරන හැපි කව් නැමැති චීස් වෙළෙද නාමය ලංකාවේ තුළ ඉතා ජනප්‍රිය වෙළෙද භාණ්ඩයකි. කෙසේනමුත් ඩුබායිහි වෙළෙදසැල්වල විකිණීමට ඇති හැපි කව් චීස් ලංකාව තුළ විකිණීම තහනම් කර ඇති බවට සටහන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ නිරීක්ෂණය විය. එවැනි සටහන් කිහිපයක් පහතින් දක්වා ඇත. 

 මේ සම්බන්ධයෙන් විවිධ අදහස් සහ මත සමාජ මාධ්‍ය තුළ පළ කර තිබුණි. ඒ අතරින් බොහෝ දෙනාගේ මතය වී තිබුණේ ඩුබායිහි වෙළෙදසැල්වල ඇති හැපි චීස්වලට වඩා ලංකාවට ආනයනය කරන චීස්වල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය අඩු නිසා චීස් ඇසුරුම්හි මෙවැන්නක් සදහන් කරන බවයි.

මේ පිළිබදව හෑෂ්ටැග් පරපුර අප  කරුණු පරීක්ෂණයක්  සිදු කළේය. පළමුව  Happy Cow Cheese සමාගම පිළිබදව කරුණු සොයා බැලීමේ දී අනාවරණය වූයේ මෙම සමාගම ඔස්ට්‍රියාවේ පිහිටා ඇති අතර එහි නිෂ්පාදනය කරන නිෂ්පාදිත  ඩුබායි ඇතුළු ලෝකයේ රටවල් 70කට අධික සංඛ්‍යාවකට ආනයනය කරන බවයි. 

පසුගිය දිනවල ෆේස්බුක් තුළ සංසරණය වූ සටහන්වල දැක්වෙන චීස් ඇසුරුමෙහි පිටුපස සදහන් කර තිබුණේ “Sales in Sri Lanka is prohibited!” (ලංකාවේ විකිණීම තහනම්!) යනුවෙන් ය. ඒ අනුව ලංකාවේ වෙළෙදසැල්  තුළ ඇති චීස් ඇසුරුම්හි පිටුපස ද මෙවැනි සටහනක් දැක්වෙන්නේ ද යන වග සොයා බැලීමේ දී නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත් විමේ දිනයට අමතර වෙනත් සටහනක් දක්නට ලැබුණේ නැත.  

ඉන් අනතුරුව  ලංකාව තුළ හැපි කව් චීස් (Happy Cow Cheese) ආනයනය කර බෙදා හරිනු ලබන  ස්ටැසන් ෆුඩ්ස් (Stassen Foods) සමාගමේ සාමාන්‍යාධිකාරී විග්නා නඩරාජා මහතාව දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් අප මේ පිළිබදව කරුණු විමසා සිටියේය. 

එහිදී එතුමා අපට දැක් වූ අදහස් මෙසේය.  

“ඩුබායිහි වෙළෙදසැල්වල අලෙවි කිරීමට ඇති හැපි කව් චීස්හි (Happy Cow Cheese) ඇසුරුම්වල පිටුපස  “Sales in Sri Lanka is prohibited!” යනුවෙන් සටහන් කර ඇති බවට කියැවෙන තොරතුර සත්‍යක් බව ඔහු කියා සිටියේය.

එවැනනක් ඇසුරුම්වල සටහන් කිරීමට හේතුව කුමක්දැයි අප තවදුරටත් එතුමාගෙන් විමසුවේය.  

ඔස්ට්‍රියාවේ නිෂ්පාදනය කරන චීස් ලංකාවට සහ ඩුබායිවලට ආනයනය කරන අතර රටවල් දෙකටම ආනයනය කරන චීස්වල රස සහ ගුණාත්මකභාවය එක හා සමාන බව ද එතුමා පැවසුවේය.

ඩුබායි සිට ලංකාවට පැමිණෙන පුද්ගලයන් ඩුබායිහි වෙළෙසදැල්වල විකුණන චීස් ගමන්මලුවල දමාගෙනැවිත් ලංකාවේ වෙළෙදපලට නිකුත් කරන බව එතුමා පැවසුවේය.  ඒ ආකාරයට නිසි ප්‍රමිතියකින් තොරව චීස් ලංකාවට ගෙන එන නිසාවෙන් ඒවාහි ගුණාත්මකභාවය පහළ ගොස් පාරිභෝගිකයන්ගෙන් ගැටලු මතු වන බවත් එතුමා පැවසුවේය. මේ  හේතුව මත පදනම් ව ඩුබායිවල වෙළෙදසැල්වල තිබෙන චීස් ඇසුරුම්වල පිටුපස ඒ ආකාරයේ සටහනක් සදහන් කරන්න යනුවෙන් ඉල්ලීමක් ඔවුන් සිදු කළ බව ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.”

අප මේ පිළිබදව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සදහා පාරිභෝගික සේවා අධිකාරියේ වගකිව යුතු නිලධාරියෙකු දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තේය.

ඩුබායිහි වෙළෙදසැල්වල විකිණීමට ඇති හැපි කව් චීස්හි ඇසුරුම්වල මෙවැන්නක් සටහන්  කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඩුබායි සිට ලංකාවට පැමිණෙන පුද්ගලයින් ඩුබායි වෙළෙදසැල්වල විකිණීමට තිබෙන  හැපි කව් චීස් රැගෙනවිත් ලංකා‌වේ වෙළඳපළේ විකුණා තිබීම බවයි. 

එවිට මෙම හැපිකව් චීස් වල ගුණාත්මකභාවය  පහළ ගොස් ඒවා මිලදී ගත් පුද්ගලයින් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කර ඇති නිසාවෙන් එලෙස රැගෙන ඒම වැළැක්වීම අරමුණු කරගනිමින් මෙවැනි තීරණයකට පැමිණි බව එතුමා එහිදී ප්‍රකාශ කළේය.

නිසි උෂ්ණත්වයක් සහිත බහාලුම්වල ක්‍රමවත්ව අසුරා නිසි ප්‍රමිතියට අනුව ලංකාවට රැගෙන එන හැපිකව් චීස්හි ගුණාත්මකභාවයට ඒ අනුව කිසිදු හානියක් නොවන බව එතුමා පැවසුවේය.”

ඩුබායි වෙළෙදපල තුළ ඇති හැපි කව් චීස් ඇසුරුම්හි පිටුපස ‘ලංකාවේ වෙළදාම් කිරීම තහනම්’(‘sale in sri lanka in prohibited!’)යනුවෙන් සදහන් කර ඇති බවට සමාජ මාධ්‍ය තුළ පළ වන පුවත් සත්‍යයි. එවැන්නක් සදහන් කීරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ නිෂ්පාදිතයේ ගුණාත්මකභාවය හා ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීමට බව හැපි කව් චීස් ලංකාවට ආනයනය කර බෙදා හරිනු ලබන ස්ටැසන් ෆුඩ්ස් (Stassen Foods) සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා සහ පාරිභෝගික සේවා අධිකාරියේ වගකිව යුතු නිලධාරියෙක් තහවුරු කළහ.

 අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.