Hashtag Generation

නතාෂා එදිරිසූරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරීස් මහතා පෙනී සිටියා යැයි කියන ප්‍රකාශ අසත්‍ය යි.

ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය, ප්‍රහසන වැඩසටහනකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඇය මැයි මස 29 වැනිදා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඇය රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි. මෙරට සිංහල පුවත්පත් සියල්ලම පාහේ මුල් ප්‍රවෘත්තිය ලෙස මෙය වාර්තා කර තිබිණි.

නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම, කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නියෝගය යනාදිය සම්බන්ධයෙන් මැයි 29 වැනිදා ප්‍රවෘත්ති පත්‍ර වාර්තා කර තිබිණි.

නතාෂා එදිරිසූරියගේ නීතිඥවරයා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේ යැයි පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබිණි.

ලංකාදීපදිනමිණ සහ ඩේලිනිව්ස් (DailyNews) යන පුවත්පත් මැයි 29 වැනිදා සිය පුවත් වාර්තාවල එලෙස වාර්තා කර තිබිණි.

ලංකාදීප පුවත්පත – මැයි 29 වැනිදා 06 වැනි පිටුව

දිනමිණ පුවත්පත – මැයි 29 වැනිදා, 3 වැනි පිටුව

ඩේලිනිවුස් (Daily News) පුවත්පත – මැයි 29 වැනිදා 04 වැනි පිටුව

මේ පුවත්පත් වාර්තා උපුටා දක්වමින් දෙරණ අරුණ වැඩසටහනේ දී ද නතාෂා එදිරිසූරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේ යැයි වාර්තා කළේ ය. වීඩියෝවේ 3.30 මිනිත්තුව

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගෙන් විමසීමක් කළ අතර තමන් නතාෂා එදිරිසූරිය ශිල්පිනිය සිය සේවය ලබාගෙන නැති බවත් ඇය වෙනුවෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේ වෙනත් නීතිඥ මහතකු බවත් සාලිය පීරිස් මහතා පැවැසීය.

සාලිය පීරිස් මහතා සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුම ඔස්සේත් සිය ෆේස්බුක් පිටුව ඔස්සේත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් දක්වා තිබිණි.

ඒවායේ තිර ඡායාරූප (Screenshots) පහතින් දැක්වේ.

මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත මැයි 30 වැනිදා පුවත්පතේ 06 වැනි පිටුවේත් දිනමිණ සහ ඩේලිනිව්ස් (Daily News) පුවත්පත් මුල් පිටුවලත් සාලිය පීරිස් මහතාගේ නම සඳහන් වූයේ ප්‍රමාද දෝෂයකින් යැයි සඳහන් කර තිබිණි. මැයි මස 30 දෙරණ අරුණ වැඩසටහනේ දී ද ඒ සම්බන්ධයෙන් නිවැරැදි කිරීමක් කළේ ය. විඩියෝව 13.27 වැනි මිනිත්තුවේ සිට.

නිගමනය : ප්‍රහසන ශිල්පී නතාෂා එදිරිසූරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී නොසිටි බවත් එමෙන් ම ඔහු නතාෂා එදිරිසූරිය වෙනුවෙන් කොටුවේ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී නොසිටි බවත් තහවුරු කළ යුතු ය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.