Hashtag Generation

නව රජය ආනයනික වෙළඳ භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ බද්දක් පැනවූවාද?

ජාතික ජන බලවේගයේ නව රජය විසින් ආනයනික වෙළඳ භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළඳ බද්දක් පැනවූ බවට සටහන් සංසරණය විය. සැමන්, උම්බලකඩ සහ පරිප්පු සඳහා මෙලෙස බදු පනවා ඇති බව සටහන් තුළ අන්තර්ගත විය. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම වෙළඳ භාණ්ඩවල බදු පැනවීමට පියවර ගෙන ඇති බවද එම සටහන් තුළ වැඩිදුරටත් සඳහන් විය. විශේෂයෙන්ම මෙම සටහන් සමාජ මාධ්‍ය තුළ මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිපයක ද සංසරණය වී තිබෙණු දැකගත හැකි විය. 

එලෙස සමාජ මාධ්‍ය තුළ සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ සංසරණය වූ සටන් කිහිපයක තිර ඡායාරූප පහතින් දැක්වේ. 

මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා මෙහි සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

මෙලෙස පරිිප්පු, සැමන් සහ උම්බලකඩ සඳහා සිදු කළ බදු පැනවීම නව රජය විසින් සිදු කළ බදු පැනවීමක් නොවන බව මේ පිළිබඳව තොරතුරු විමසීමේදී අපට තහවුරු විය. එනම් මීට වසරකට පමණ පෙර පරිප්පු සැමන් සහ උම්බලකඩ සඳහා මේ ආකාරයෙන් ම බදු පනවමින් වසරකට බල පැවැතත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි. එම ගැසට් නිවේදනයේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2023 වර්ෂයේ ඔක්තෝබර් මස 14 වෙනිදා සිට වසරකට බල පැවැත්වෙන පරිදි ඉහත ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව 2024 වර්ෂයේ ඔක්තෝබර් 14 වෙනිදාට එම ගැසට් නිවේදනය කල් ඉකුත් වීමත් සමඟ නව රජය විසින් එම ගැසට් පත්‍රය 2024 දෙසැම්බර් 31 වෙනිදා දක්වා බලාත්මක කාලය දීර්ඝ කිරීමක් පමණක් සිදු කර ඇත.

නව රජය විසින් බලාත්මක කාලය දීර්ඝ කර නිකුත් කළ ගැසට් නිවේදන‌යේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

තවද මේ සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් ද අපට හමුවිය.

“රජය විසින් භාණ්ඩ වර්ග පහක් සඳහා අළුතින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනවා ඇති බවට සිදුකරන අසත්‍ය මාධ්‍ය ප්‍රචාරණයන් පිළිබඳවයි” යනුවෙන් මාධ්‍ය නිවේදනයේ ඉහතින් සඳහන් කර තිබුණි.

“ආනයනික භාණ්ඩ පහක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කර තිබූ 2023 ඔක්තෝබර් මස 14 දිනැති අංක 2353/77 දරන ගැසට් නිවේදනය වසරක් වූ වලංගු කාලය 2024 ඔක්තෝබර් මස 13 වන දිනයෙන් අවසන් වූ බැවින් එය නැවත 2024 දෙසැම්බර් මස 31 දින දක්වා එලෙසම දීර්ඝ කිරීමට 2024 ඔක්තෝබර් මස 14 දිනැති අංක 2406/02 දරන ගැසට් නිවේදනය මගින් කටයුතු කර ඇත” යනුවෙන් මාධ්‍ය නිවේදනයේ සඳහන් විය. මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

මේ අනුව නව රජය විසින් ආනයනික වෙළඳ භාණ්ඩ කිහිපයක් සඳහා නව විශේෂ බද්දක් පැනවූ බවට පළ වන සටහන් මහජනතාව නොමග  යවන බව පැහැදිලිය.

නිගමනය : නව රජය විසින් ආනයනික වෙළඳ භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ බද්දක් පැනවූ බවට සටහන් පළ වේ. මෙම ආනයනික භාණ්ඩ සඳහා 2023 වර්ෂයේ මේ ආකාරයෙන් බදු පනවා ඇති අතර එය 2024 ඔක්තෝබර් 13 වන දිනට කල් ඉකුත් වන බැවින් එම කාලය දීර්ඝ කිරීමක් පමණක් සිදු කර ඇත. මේ අනුව නව රජය විසින් ආනයනික වෙළඳ භාණ්ඩ කිහිපයක් සඳහා නව විශේෂ බද්දක් පැනවූ බවට පළවන සටහන් මහජනතාව නොමගයවන බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.