Hashtag Generation

“නිපා වෛරසය” ආසාදනය වු දරුවන් දෙදෙනකු රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වේ” යැයි කියන පණිවුඩ අසත්‍ය යි.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන බවට වාර්තා වන නිපා (Nipah) වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ද කතාබහක් ඇති වී තිබේ. නිපා (Nipah) යනු සතුන්ගෙන් මිනිස්සුන්ට ආසාදනය වන (Zoonotic) වෛරසයකි. එය මුල්වරට වාර්තා වී ඇත්තේ 1999 වසරේ දී වන අතර මැලේසියාවේ ගොවීන් පිරිසක් අතර මෙය පැතිර ගොස් තිබේ. ඉන් පසුව බංගලාදේශයෙන් සහ ඉන්දියාවෙන් ද වාර්තා වී ඇත. මෙවැනි පසුබිමක ශ්‍රී ලංකාව තුළ ද මේ සම්බන්ධයෙන් කතාබහක් නිර්මාණය වී තිබූ අතර රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ආසාදිතයන් හමු වී ඇතැයි කතාබහක් ද නිර්මාණය වී තිබිණි. 

එලෙස ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍යවලත් සහ වට්ස්ඇප් (WhatsApp) ඇතුළු පණිවුඩ ජාලවලත් සංසරණය වූ පණිවුඩ කිහිපයක තිර ඡායාරූප (Screenshots) පහතින් දැක්වේ.සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පණිවුඩ වල තිර ඡායාරූප පහතින් දැක්වේ. 

මෙවැනි ප්‍රවෘත්තියක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර ඇත්දැයි විමසා බැලූ අතර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය එවැනි ප්‍රවෘත්තියක් පළ කර ඇති බව තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි හමු නොවීය. එමෙන්ම මේ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කරගැනීම සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිල වෙබ් අඩවියද පරික්ෂා කර බැලූ අතර එහි ද මේ සම්බන්ධයෙන් කිසිවක් පළ කර නොතිබිණි.

මෙහි සත්‍ය තොරතුරු දැන ගැනීම සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩී. විජේසූරිය මහතා දුරකථන ඇමතුමක් මාර්ගයෙන් සම්බන්ධ කරගත්තේ ය. රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිට දරුවන් දෙදෙනකු ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔවුන් දෙදෙනා වෙනත් රෝගයකින් පෙළෙන බවත් වෛද්‍ය විජේසූරිය මහතා කීවේය. එමෙන්ම ඔවුන්ට නිපා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ද ඔහු පැවැසීය. 

‘නිපා’ වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලිපියක් පළ කර තිබිණි. එය මෙතැනින්

නිගමනය: මේ අනුව ‘රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන් දෙදෙනකුට ‘නිපා’ වෛරසය ආසාදනය වී තිබේ, ප්‍රවේසම් වන්න’ යනුවෙන් සමාජ මාධ්‍ය සහ පණිවුඩ ජාලවල සංසරණය වන පණිවුඩය අසත්‍ය යැයි නිගමනය කළ හැකි ය. දරුවන් දෙදෙනකු රිජ්වේ ආර්යා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔවුන් වෙනත් රෝගයකින් පෙළෙන බවත් තහවුරු කළ හැකි ය. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.