Hashtag Generation

පාර්ලිමේන්තුව⁣ට විපක්ෂයක් අවශ්‍ය නොවන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර නැත.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඇත්තේ මසකටත් වඩා අඩු කාලයකි. මේ කාල සීමාවේදී විවිධ පක්ෂවල අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමේ මහජන රැළි රටපුරා පැවැත්වේ. 

ඒ අතර තනි පක්ෂ පාලන ක්‍රමයක් අවශ්‍ය බව සහ පාර්ලිමේන්තුවට විපක්ෂයක් අවශ්‍ය නොවන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළ බව සඳහන් කරමින් පසුගිය ඔක්තෝබර් 22 වෙනිදා ද අයිලන්ඩ් (The Island) පුවත්පතේ පුවත් වාර්තාවක් පළ විය. 

ද අයිලන්ඩ් පුවත්පතේ පළ වූ පුවත් වාර්තාවේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

“තනි පක්ෂ පාලන ක්‍රමයක් AKD ට අවශ්‍යයි” යන සිරස්තලය සහිතව ශාමින්ද්‍ර ෆෙර්දිනන්ඩෝ විසින් රචිත වර්තාවක පාර්ලිමේන්තුවට විපක්ෂයක් අවශ්‍ය නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළ බවත් මේ බව ඔක්තෝම්බර් 20 වෙනිදා ගම්පහ කටුනායක 18 කණුව ද්‍රාවින්ද මෙන්ඩිස් ක්‍රීඩාංගණයේදී පැවති මහජන රැළියකදී ප්‍රකාශ කළ බවත් සඳහන් විය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙවැනි ප්‍රකාශයක් සිදු කළාද යන්න පිළිබඳව කරුණු විමසා බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය. 

ඒ අනුව ඔක්තෝබර් 20 වෙනිදා කටුනායක පැවති මහජන රැළියෙදී ජනාධිපති අනුර කුමාර දිසානායක සිදුකළ කතාවේ මෙවැනි ප්‍රකාශයක් සඳහන් වනවාද යන්න විමසා බැලිණි.

කටුනායක මහජන රැළිය අමතමින් අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව JVP Sri Lanka යූ ටියුබ් නාලිකාවේ සහ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ෆේස්බුක් පිටුවේ අන්තර්ගත වී තිබුණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක කටුනායක මහජන රැළිය අමතා සිදු කළ කතාවේ කිසිඳු ස්ථානයක තනි පක්ෂ පාලන ක්‍රමයක් අවශ්‍ය බව හෝ පාර්ලිමේන්තුවට විපක්ෂයක් අවශ්‍ය නොවන බවට ප්‍රකාශයක් සඳහන් වී නොතිබුණි.

“පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයකගේ වැරැද්දක් මහජනතාව දකින බවත් මෙතෙක් පාර්ලිමේන්තුවේ සිටි ජනතා නියෝජිතයින් පාර්ලිමේන්තුවේදී අත ඔසවන්නේ ජනතාවගේ පැත්තට නොව ජනතාවට විරුද්ධ පැත්තට බවත්” සිය කතාවේදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. තවද පාර්ලිමේන්තුවට බලවත් ආණ්ඩුවක් අවශ්‍ය බවත් ඒ සඳහා පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන ලෙසට ඉල්ලීමක් ද ඒ මහතා සිය කතාව අවසානයේදී පැවසීය. 

මෙම කරුණු අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තනි පක්ෂ පාලන ක්‍රමයක් අවශ්‍ය බව හෝ පාර්ලිමේන්තුවට විපක්ෂයක් අවශ්‍ය නොවන බවට කටුනායකදී ප්‍රකාශ කළ බව සඳහන් ද අයිලන්ඩ් පුවත්පතේ සිරස්තලය සහ පුවත් වාර්තාව මහජනතාව නොමග යවයි.

නිගමනය : ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, තනි පක්ෂ ක්‍රමයක් හෝ පාර්ලිමේන්තුවට විපක්ෂයක් අවශ්‍ය නොවන බව ප්‍රකාශ කර නැත. ඒ අනුව පාර්ලිමේන්තුවට විපක්ෂයක් අවශ්‍ය නොවන බවට අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළ බව සඳහන් කරමින් ඔක්තෝබර් 22 ද අයිලන්ඩ් පුවත්පතේ පළ වූ පුවත් වාර්තාව මහජනතාව නොමග යවන බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.