Hashtag Generation

“පාසල් ළමුන්ට වැළදෙන රෝගයක් ප්‍රවේසම් වන්න” යැයි කියන වට්ස්ඇප් (WhatsApp) පණිවුඩය මහජනතාව නොමග යවයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති වී තිබිණි. ඒ අතරවාරයේ දී ඖෂධ හිඟය සම්බන්ධයෙන් මෙන්ම විවිධ ලෙඩ රෝග සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය තුළ සැලකිය යුතු කතාබහක් නිර්මාණය වී තිබිණි. එවැනි පසුබිමක පාසල් දරුවන්ට වැළඳෙන රෝගයක් සම්බන්ධයෙන් ද පසුගිය දිනවල කතාබහක් ඇති වී තිබිණි.  

වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ එම පණිවුඩය හුවමාරු වී තිබිණි. එම පණිවුඩයේ මෙසේ සඳහන් විය. හඬ පණිවුඩයක් (Voice Note/Voice Message) ලෙස මෙය සංසරණය වී තිබිණි. එම පණිවුඩය පහතින් දැක්වේ. 

“මේක විශේෂ පණිවුඩයක් දෙමාපියන්ට ලබාදෙන විශේෂ පණිවුඩයක් මේ දිනවල පාසල් දරුවන් අතර රෝගයක් බෝවෙමින් පවතිනවා ලූ අතේ වගේ ශරිරයේ වතුර බුබුළු වගේ එන එක තමයි මූලික රෝග ලක්ෂණ වෙන්නේ, ඒක අපේ අත් බෙහෙත් ඒ කියන්නේ වෙනිවැල් ගැට වතුර, කොහොම වතුර, වගේ දේවල් වලින් සේදුවට සුව වෙන්නේ නැහැයිලු, ඒ නිසා ඒ වගේ රෝගයක් තියෙනවනම් දරුවන්ට වහාම රිජ්වේ එකට අරන් එන්න කියලා වෛද්‍යවරු දැනුවත් කරලා තියෙනවා.

දැන් අත්වල වගේ පෙනුනට දැන් රිජ්වේ එකට ගෙනිහල්ලා ඒ ඩොක්ඩර්ස්ලා චෙක් කරනකොට දරුවන්ගේ කන් ඇතුළේ ඇඟේ ඒ වගේ බිබිලි ගොඩක් පැතිරිලා තියෙනවා. ඒක මේ රෝගයේ ස්වභාවය ලු, මේක බෝ වෙනවා වෛද්‍යවරු කියන විදිහට. මේක හොරි විශේෂයක්, මේකේ තියෙන භයානක තත්ත්වය තමයි මේක ශරීරය පුරා පැතිරුණොත් වකුගඩු දෙකම, දරුවගේ විනාශ වෙනවා.

දැන් දරුවෙක්ට තියෙනවනම් නිවසේ අයටත් බෝ වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාලේ රිජ්වේ එකට ගොඩක් දරුවෝ එනවලු මේ රෝගේ බෝ වෙලා. ඒ නිසා,  අපේ පාසල් දරුවෝ ටික රැක ගන්න ඔනි නිසා ඒ වගේ තියෙනවනම් වතුර බුබුළු වගේ ඇගේ දාලා තියෙනවනම් හැකි ඉක්මනින් රිජ්වේ එකට දරුව ව රැගෙන ගිහින් ප්‍රතිකාර කටයුතු ආරම්භ කරන්න. මේක ඒ  වෛද්‍යවරුන් විසින් පාසල් දරුවන් දැනුවත් කරන්න කියලා විශේෂ ඉල්ලීමක් ඉල්ලිමක් කරලා තියෙනවා.ඒ නිසයි දෙමාපියන් දැනුවත් කළේ.

මොකද එක දරුවෙක්ට පැතුරුනොත් පන්තියේ අනිත් දරුවන්ටත් බෝ වෙන්න අවදානමක් එක පැත්තකින් තියෙනවා,අනිත් එක ඒක දරුවාගේ ජිවිතයට අවදානම් ඒ නිසා මේ වගේ රෝග ලක්ෂණ තියෙනවනම් ඒ දරුවන්ව වහාම රිජ්වේ රෝහල වෙත රැගෙන යන්න ඔබ දන්න අනිත්  දරුවන්වත් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න.”

ඉහත සදහන් කර තිබු පණිවුඩය විශේෂයෙන්ම වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ ජාලය තුළ හඬ පණිවුඩයක් ලෙස සංසරණය වන ආකාරය දක්නට තිබුණි. එම හඬ පණිවුඩය දැක්වෙන තිර ඡායාරූපයක් (Screenshot) පහතින් දැක්වේ.

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් සොයා බැලූ අතර එහිදි මෙම කරුණ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇති බව දැනගන්නට ලැබිණි. 

ශ්‍රී ලංකා චර්ම රෝග පිළිබඳව විශේෂඥ  වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වා තිබිණි. මාධ්‍ය හමුවට මෙතැනින්

ඉහත පණිවුඩයේ සඳහන් ආකාරයේ රෝග ලක්ෂණ තනි හෝ නිශ්චිත රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය සඳහන් කළා ය. 

රිජ්වේ ආර්ය ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩී. විජේසූරිය මහතාගෙන් මේ සම්බන්ධයෙන් හෑෂ්ටැග් පරපුර තවදුරටත් විමසීමක් කළේ ය. 

“මේ දිනවල දරුවන් අතර රෝගයක් පැතිරෙනවා” යැයි සඳහන් කරමින් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වන පණිවුඩය අසත්‍යයක් බව ඔහු වෛද්‍ය විජේසූරිය මහතා තහවුරු කළේ ය.  

නිගමනය: “මේක විශේෂ පණිවුඩයක් දෙමාපියන්ට ලබාදෙන විශේෂ පණිවුඩයක් මේ දිනවල පාසල් දරුවන් අතර රෝගයක් බෝවෙමින් පවතිනවා” යැයි සඳහන් කරමින් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ මේ දිනවල සංසරණය වන පණිවුඩය අසත්‍ය යැයි මේ අනුව නිගමනය කළ හැකි ය. ඉහත පණිවුඩයේ සඳහන් ආකාරයේ රෝග ලක්ෂණ තනි හෝ නිශ්චිත රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැතැයි ශ්‍රී ලංකා චර්ම රෝග පිළිබඳව විශේෂඥ  වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය ඉකුත් දා මාධ්‍ය හමුවකදී සඳහන් කළ අතර අදාළ වට්ස්ඇප් පණිවුඩය ව්‍යාජ එකක් බව රිජ්වේ ආර්ය ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩී. විජේසූරිය මහතා තහවුරු කළේ ය. 


අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.