Hashtag Generation

පෙබරවාරි 20 වැනිදා රාත්‍රියෙන් පසු ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් ද ?

ජනාධිපතිවරයාට පෙබරවාරි 20 වැනිදායින් පසු ව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව සඳහන් කෙරෙන අදහස් සහ සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අතර ඒ සම්බන්ධයෙන් පසුගිය සති දෙකක කාලයේ දී කතාබහක් ද නිර්මාණය වී තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පසුගිය 20 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වී ය. “වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරයා වෙත හිමිවෙනවා” යැයි ජී.එල්. පීරිස් මහතා එහිදි කීය. මෙතැනින් ඔහුට අමතරව මේ සම්බන්ධයෙන් තවත් දේශපාලනඥයන් කිහිපදෙනකුම මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර ඒවා මුල් කරගනිමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ සැලකිය යුතු තරමේ කතාබහක් නිර්මාණය වී තිබිණි.

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පර්යේෂක නීතිඥ භවානි ෆොන්සේකාගෙන් විමසීමක් කළේ ය.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ‘නව පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වූ දෙකයි මාස හයකින් පසුව විධායක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පූර්ණ බලතල හිමිවන බව’ අප කළ විමසීමේදී ඇය සඳහන් කළා ය. මේ අනුව වර්තමානයේ විධායක ජනාධිපති ධුරය හොබවන රනිල් වික්‍රමසිංහ මහතා ට, අවශ්‍ය නම් වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාව තිබෙන බව ද ඇය තවදුරටත් සඳහන් කළා ය.

ජනාධිපතිවරයා කලින් කළ ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි පරිච්ඡේදයේ 70 වැනි වගන්තියෙන් පැහැදිලිව දක්වා ඇත.

පාර්ලිමේන්තුව මුල් වරට රැස් වූ දිනයේ සිට අවුරුදු දෙකයි මාස හයක් යන තෙක් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැක. වර්තමානයේ ක්‍රියාත්මක වන මෙරට නවවැනි පාර්ලිමේන්තුව වන අතර එය මුල් වරට රැස්වූයේ 2020 අගෝස්තු මස 20 වැනිදා ය. ඒ අනුව 2023 පෙබරවාරි මස 20 වැනිදා ට පාර්ලිමේන්තුව රැස් වූ අවුරුදු දෙකකුත් මාස හයකුත් සම්පූර්ණ වන බැවින්, 20 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමි වේ.

එමෙන්ම ඒ ආකාරයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් ඒ සමඟ ගත යුතු ක්‍රියාමාර්ග 70 (5) (අ) යටතේ දක්වා ඇත. ඊට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින ප්‍රකාශනයේ, නව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාගන්නා දිනය (මැතිවරණය), හෝ අදාළ දින නියම කළ යුතු ය. එපමණක් නොව පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද දිනයේ සිට මාස තුනක් ගත වීමට පෙර අලුත් පාර්ලිමේන්තුව රැස්විය යුතු ය. අදාළ දිනය පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනයේ නිකුත් කරන ප්‍රකාශයේ පැහැදිලිව දැක්විය යුතු ය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.