Hashtag Generation

පොලිසිය ජනතාවට පරෙස්සම් වන්නැයි නිවේදනය කළා ද ?

ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් ඉකුත් මාස දෙක තුනක කාලයේ දී විශාල කතාබහක් ඇති වූ තිබිණි. පොලිස්පතිවරයා පත් කිරීමේ සිට, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක කර තිබෙන ‘යුක්තිය’ මෙහෙයුම දක්වා මෙම කතාබහ විහිදී තිබිණි. මෙවැනි පසුබිමක මෙම කතාබහ  මෙවැනි පසුබිමක් තුළ පොලිසිය නිවේදනය කළා යැයි දැක්වෙන පණිවුඩයක් ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය ජාල තුළත් වට්ස්ඇප් (WhatsApp) වැනි පණිවුඩ ජාලවලත් සංසරණය වන ආකාරය දක්නට ලැබිණි. ශ්‍රී ලංකා පොලිසියේ නිල ලාංඡනය ද සමඟ මෙම පණිවුඩ සමාජ මාධ්‍යයේ සහ පණිවුඩ ජාලවල සංසරණය වී තිබිණි. ඒවායේ තිර ඡායාරූප (screenshots) කිහිපයක් පහතින් දැක්වේ. 

පොලිසිය හෝ වෙනත් නිල ආයතනයකින් හෝ මෙවැනි නිවේදනයක් හෝ පණිවුඩයක් හෝ නිකුත් කර ඇත්දැයි මුලින්ම විමසා බැලීය. නිල නොවන පෞද්ගලික ගිණුම් සහ ෆේස්බුක් පිටුවලින් මෙම පණිවුඩය මුදා හැර ඇති ආකාරයත් ෆේස්බුක් තුළ සංසරණය වූ පණිවුඩයේ අග වට්ස්ඇප් සමුහයකට ( Whatsapp group )  එකතු වන්නැයි කළ ඉල්ලීමක් ද මෙහිදි නිරීක්ෂණය කළ හැකි විය. 

මෙම කරුණු වඩාත් තහවුරු කරගැනීම සඳහා හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියෙන් විමසීමක් කළේ ය. 

මෙය ව්‍යාජ තොරතුරක් බවත් ශ්‍රී ලංකා පොලිසිය හෝ කිසිදු පොලිස් මූලස්ථානයකින් මෙවැනි පණිවුඩයක් නිකුත් කර නොමැති බවත් අප කළ විමසීමට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය  පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසීය. මෙවැනි පණිවුඩ මීට පෙරත් සංසරණය වූ බවත් එවැනි මෙවැනි නිවේදනවලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් තල්දූව මහතා තවදුරටත් පැවැසීය.

නිගමනය: සියලු දෙනාම කියවිය යුතු වැදගත් පොලිස් පණිවුඩයක් යනුවෙන් කිසිදු නිවේදනයක් ශ්‍රී ලංකා පොලිසිය නිකුත් කර නොමැත. එලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍යවල සංසරණය වන පණිවුඩය ව්‍යාජ පණිවුඩයක් බවත්  එවැනි පණිවුඩවලට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය. මීට පෙර ද මේ ආකාරයේ ව්‍යාජ පණිවුඩ සමාජ මාධ්‍ය සහ පණිවුඩ ජාලවල සංසරණය විය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.