Hashtag Generation

බිමල් රත්නායක ‘ජනගහන ආක්‍රමණය’ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නැත.

“ජනහන ආක්‍රමණයක් කළේ සිංහල මිනිස්සු මිසක් මුස්ලිම් මිනිස්සු නෙමෙයි. මුස්ලිම් ජනතාව මෙන් තුන් ගුණයක් සිංහල මිනිස්සු වැඩි වෙලා” යැයි දැක්වෙන ප්‍රකාශයක් බිමල් රත්නායක මහතාගේ ඡායාරූපය ඇතිව සමාජය මාධ්‍ය තුළ සංසරණය වූ ආකාරය ඉකුත් දින කිහිපයේ දී දක්නට ලැබිණි. 

අදාළ ෆේස්බුක් සටහනේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ. 

බිමල් රත්නායක මහතා පැවැසුවා ඉහත දැක්වෙන ප්‍රකාශයක් කළා යැයි කියන සටහනක් (ෆේස්බුක් පෝස්ට් – Facebook Post) මුලින් ම පළ කර තිබුණේ  ‘පුංචි අම්මා’ නමැති ෆේස්බුක් ගිණුමකිනි. මෙම ෆේස්බුක් ගිණුම නිරීක්ෂණය කිරීමේ දී එය ජනතා විමුක්ති පෙරමුණ සහ එහි සාමාජිකයන් ඉලක්ක කරගනිමින් අපහාසාත්මක තොරතුරු බෙදා හැර ඇති බවත් ඇතැම් තොරතුරු බැලූ බැල්මට වැරැදි ඒවා බවත් දක්නට ලැබිණි. 

එම ගිණුමේ හිමිකාරීත්වය දෙස බැලීමේ දී එය ව්‍යාජ ගිණුමක් යැයි ද නිගමනය කිරීමට හැකිවිය. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම ඔවුන්ගේ ප්‍රජා ප්‍රමිතිවල (Community Standards) සඳහන් වේ.  මෙතැනින්. 

මෙම ගිණුම සඳහා භාවිත කර ඇති ඡායාරූපයෙන් ද මෙම ගිණුම ව්‍යාජ ගිණුමක් යැයි නිගමනය කළ හැකි ය. ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් ඒ සඳහා භාවිත කර ඇත. කාන්තාවකගේ උඩුකය ඡායාරූපයකට දිසානායක මහතාගේ මුහුණ යොදමින් සංස්කරණය කළ ඡායාරූපයක් ඊට යොදා ඇත. 

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා බිමල් රත්නායක මහතාගෙන් විමසීමක් කළ අතර ඔහුගේ නිල ෆේස්බුක් පිටුව ද පරීක්ෂා කර බැලීය. ඔහුගේ ෆේස්බුක් පිටුවේ එවැනි සඳහනක් හෝ ප්‍රකාශයක් හෝ නොමැති බව එහිදි දක්නට ලැබිණි. 

‘තමන් එවැනි කිසිදු ප්‍රකාශයක් නොකළ බව’ හෑෂ්ටැග් පරපුර කළ විමසීමේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවැසීය. 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා එවැනි ප්‍රකාශයක් කර ඇත්දැයි හෑෂ්ටැග් පරපුර තවදුරටත් සොයා බැලීය. එහිදි ෆේස්බුක් සමාජ මාධ්‍ය සහ ගූගල් සෙවුම් යන්ත්‍රය ඔස්සේ ප්‍රධාන වචන භාවිත එසේත් නැතිනම් මූලපද (Keyword) භාවිත කරමින් සොයා බැලීය. එහිදී ද ඔහු එවන්නක් කර ඇති බවක් සොයාගන්නට නොහැකි විය.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සෑම වසර 10කට වරක්ම ජන හා නිවාස සංගණනයක් පවත්වයි. අවසන් වරට ජන සංගණනයක් කර ඇත්තේ 2012 වසරේ දී ය. 

අවසන් වරට පවත්වන ලද (2012)ජන හා නිවාස සංගණන වාර්තාවට අනුව ලංකාවේ ජනවර්ගය අනුව ජනගහන ව්‍යාප්තියේ සංඛ්‍යා දත්ත පහතින් දක්වා ඇත. මෙතැනින්. 

මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු දැනගැනීම සඳහා හෑෂ්ටැග් පරපුර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළේ ය. 

ඉකුත් වසරේ දී (2022) ජන හා නිවාස සංගණනයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියත් පැවැති අර්බුද හමුවේ එය කළ නොහැකි වූ බවත් මේ වසරේ දී සංගණනයක් කිරීම සඳහා කටයුතු සූදානම් කරමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් සඳහන් කළා ය. 

නිගමනය : “ජනහන ආක්‍රමණයක් කළේ සිංහල මිනිස්සු මිසක් මුස්ලිම් මිනිස්සු නෙමෙයි. මුස්ලිම් ජනතාව මෙන් තුන් ගුණයක් සිංහල මිනිස්සු වැඩි වෙලා” යැයි දැක්වෙන ප්‍රකාශයක් සහ බිමල් රත්නායක මහතාගේ ඡායාරූපය ඇතිව සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහන් ව්‍යාජ යි.  එමෙන්ම බිමල් රත්නායක මහතා එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැත. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.