Hashtag Generation

මාධ්‍යවේදීන්ට ‘ටයි පටියක්’ පලඳින්න කිව්ව ද ?

මෙරට 75 වැනි නිදහස් දින සැමරුම් උත්සවය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයේ දී විවිධ කතාබහ ඇති වන අයුරු නිරීක්ෂණය විය. නිදහස් දින උත්සව සැමරුමට කෙරෙන වියදම්, රටේ පවතින ආර්ථික, සමාජයීය සහ දේශපාලන අර්බුද ගැනත් සමාජ මාධ්‍ය තුළත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළත් කතාබහ ඇති වී තිබිණි. එම කතාබහ තුළ නිදහස් දින උත්සවයට පක්ෂව සහ විපක්ෂව අදහස් පළ වන අයුරු දක්නට ලැබිණි.

මෙවැනි පසුබිමක් තුළ 75 වැනි නිදහස් දින උත්සවය ආවරණය කිරීමට පැමිණෙන මාධ්‍යවේදීන්ට ‘ටයි පටියක්’ ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා විය. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වා තිබූ අතර ඇතැම් වෙබ් අඩවි මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තා කර තිබිණි. මෙතැනින් 

අදාළ ප්‍රවෘත්තියේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

ඡායාරූප මාධ්‍යවේදියකු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබිණි. ඊට තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනකු ම පිළිතුරු අදහස් ද දක්වා තිබිණි. එහි තිර ඡායාරූපයක් පහතින් දැක්වේ. මෙතැනින්

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතාගෙන් විමසීමක් කළේ ය.

“හෙට දිනයට යෙදී තිබෙන්නේ 75 වැනි නිදහස් උලෙළ.  ඒ නිසා ආවරණය කිරීමට පැමිණෙන මාධ්‍යවේදීන්ට සිහිවටනයක් ලෙස ‘ටයි පටියක්’ ද මාධ්‍යවේදිනියන්ට සාරියට පැලඳිය හැකි පැලඳුමක් ද ලබාදීමට කටයුතු කර තිබෙනවා. එය පැලඳීම අනිවාර්ය නැහැ. මාධ්‍යවේදීන් කැමැති නම් පමණක් එය පලඳින්න පුළුවන්.   හෙට දිනය ඓතිහාසික දිනයක්. එය ආවරණය කිරීමට පැමිණෙන මාධ්‍යවේදීන් ද එය භාග්‍යයක් කොට සළකනවා. ඒ නිසා අපි මෙවැනි යමක් සූදානම් කළා” යැයි හෑෂ්ටැග් පරපුර කළ විමසීමේදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් Xposure වෙබ් අඩවියේ කර්තෘවරයාගෙන් ද විමසීමක් කළේ ය.

“රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කල් තියා කළ දැනුම් දීමක් අනුව මෙම ප්‍රවෘත්තිය පළේ කළේ” යැයි හෑෂ්ටැග් පරපුර කළ විමසීමේදී Xposure වෙබ් අඩවියේ කර්තෘ පැවැසීය.

ඊට අමතරව හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනකුගෙන් ද විමසීම් කළේ ය.

“රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ටයි පටියක් ලබාදුන්නා. එය පැලඳීම අනිවාර්ය බව සඳහන් කළා. කොහොමනමුත් මාධ්‍යවේදීන් එය ප්‍රතික්ෂේප කළා. ඒ වගේම බොහෝදෙනකු අත් දිග කමිස පමණක් ඇඳ සිටියා” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍යවේදියෙක් සඳහන් කළේ ය.

“මටත් ටයි පටියක් දුන්නා. ඒත් මා එය ප්‍රතික්ෂේප කළා. ඒ වගේම මේ ටයිපටිය කොළඹ ප්‍රසිද්ධ පාසලක ටයිපටියකට හා සමාන යි. මෙය රජයේ නිලධාරියකුගේ වුවමනාවකට කළ දෙයක් කියලත් අපට දැනගන්නට ලැබුණා. නිදහස් උලෙළ ආවරණය කිරීමට පැමිණි ඇතැම් මාධ්‍යවේදීන් ටයි පටිය පැලඳ සිටියා. ඇතැම් අය ටයි පටිය ගත්තත්, එය දැම්මේ නැහැ. මාත් සමඟ හිටිය අය එය ප්‍රතික්ෂේප කළා” යැයි අප කළ විමසීමකදී ඡායාරූප මාධ්‍යවේදියෙක් පැවැසීය.

අදාළ මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ නම් හෝ ආයතන හෝ සඳහන් නොකළ අතර ඇතැම් මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේ ය.

75 වැනි නිදහස් උලෙළ ආවරණය කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනවාරි 19 වැනිදා මාධ්‍ය ආයතන වෙත ලිපියක් යොමු කර තිබිණි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතාගේ අත්සනින් යුතු ව එය යවා තිබිණි.

“මාධ්‍ය ආවරණය සඳහා සහභාගී වන මාධ්‍යවේදීන් මෙම ජාතික උත්සව අවස්ථාවට සුදු පැහැති අත්දිග කමිසයකින් සමන්විත විධිමත් ඇඳුමකින් සහ මාධ්‍යවේදිනියන් සුදු පැහැති සුදුසු ඇඳුමකින් සැරැසී පැමිණිය යුතු ය” යනුවෙන් අදාළ ලිපියේ දැක්විණි.

අදාළ ලිපිය පහතින් දැක්වේ.

ඡායාරූප මාධ්‍යවේදීන් පිරිසක් 75 වැනි නිදහස් දින උත්සවය ආවරණය කරන ආකාරය දිස්වන ඡායාරූප ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබිණි. එහි එක් ඡායාරූපයක, තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

නිගමනය : 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, 75 වැනි නිදහස් උත්සවය ආවරණය කිරිමට සහභාගිවීමට මාධ්‍යවේදීන් පැළඳිය යුතු ඇඳුම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන කර්තෘවරුන්ට ලිපියක් මගින් දැනුම්දීමක් සිදුකර තිබේ. මීට අමතරව මාධ්‍යවේදීන්ට ටයි පටියක් ලබාදෙන බවත් එය පැළඳිය යුතු බවත් දුරකථනය හරහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන් දැනුවත් කර තිබේ. එමෙන්ම නිදහස් දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පැමිණි මාධ්‍යවේදීන්ට ටයි පටියක් ලබාදී තිබෙන අතර එය අනිවාර්යයෙන් පැළදිය යුතුයි යනුවෙන් ඔවුන්ට පවසා ඇත. එහෙත් එහි සිටි පෞද්ගලික මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන් බොහෝදෙනකු ‘අදාළ ටයිපටිය’ පැලඳීම ප්‍රතික්ෂේප කර ඇති නමුත් ඇතැම් මාධ්‍යවේදීන් එය පලඳා ඇත.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.