Hashtag Generation

මාවතගම සමූපකාරයෙන් “SAMOOPA COLA” නමින් කෝලා පානයක් නිෂ්පාදනය කර නොමැත.

මාවතගම සමූපකාර සමිතිය මඟින් කෝලා පානයක් හඳුන්වාදුන් බව සඳහන් කරමින් ඉකුත් දෙසැම්බර් 5 වෙනිදා ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය තුළ සටහන් සංසරණය විය. “SAMOOPA COLA” නමින් විකුණුම් සන්නාමයක් සහ ලාංඡනයක් සහිතව නිෂ්පාදිත කෝලා බෝතලයක ඡායාරූපයක් ද එම සටහන් තුළ අන්තර්ගත විය.

ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍යවල සංසරණය වූ සටහනේ (Post) තිර ඡායාරූපයක් (Screenshot) පහතින් දැක්වේ.  

“ජවිපෙ මාවතගම සමුපකාරයෙන් තවත් විශිෂ්ඨ නිෂ්පාදනයක්. වස විස නැති දේශීය ස්වභාවික කෝලා පානයක්. දියවැඩියා රෝගීන්ට පානය කළ හැක. ජවිපෙ පාලනයක් තුළ රටම මෙලෙස පන ගසා නැගීසිටින දවස වැඩි ඈතක නොවේ. මාලිමාවට ජය වේවා” යනුවෙන් දැක්වෙන ඡායාරූප විස්තරයක් (Caption) සමඟ අදාළ ෆේස්බුක් සටහන (Facebook Post) සමාජ මාධ්‍ය වෙත එක් කර තිබිණි. මෙලෙස සමාජ මාධ්‍ය තුළ පෝස්ට්ස් (posts) සංසරණය වීමත් සමග හෑෂ්ටැග් පරපුර මෙහි සත්‍ය අසත්‍යතාව විමසා බැලීය. 

ඒ අනුව මෙම සටහන සම්බන්ධයෙන් කරුණු විමසා බැලීම සඳහා මාවතගම සමූපකාරයෙන් විමසීමක් කළේය. “SAMOOPA COLA” නමින්  කෝලා පානයක් නිෂ්පාදනය කර නොමැති බව අප කළ විමසීමේදී  මාවතගම සමූපකාරයේ කළමනාකරු ජී.ආර්.ආර්. දිසානායක මහතා තහවුරු කළේය. 

කෝලා පානයක් මාවතගම සමූපකාරයෙන් නිෂ්පාදනය නොකළ බවත් මෙම සටහන් ව්‍යාජ  බවත් දිසානායක මහතා පැවැසීය. 

ජාතික ජනබලවේගයේ පක්ෂ සාමාජිකයන්  කිහිපදෙනකු දෙසැම්බර් 5 වෙනිදා මාවතගම සමූපකාර සමිතියේ වැඩ භාර ගෙන තිබූ අතර එම කරුණ මුල් කරගනිමින් මෙවැනි සටහන් සමාජ මාධ්‍ය වෙත එක් කරන්නට ඇතැයි දිසානායක මහතා පැවැසුවේ ය.  

මෙය සම්පූර්ණයෙන්ම ව්‍යාජ සටහනක් බවත්, මෙය වෙනත් අරමුණක් සහිතව නිර්මාණය කරනු ලැබූ ව්‍යාජ සටහනක් විය හැකි බවත් ඔහු කීය.  මෙවැනි ව්‍යාජ සටහන්වලට නොරැවටෙන ලෙස දිසානායක මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

නිගමනය :  මාවතගම සමූපකාරය විසින් SAMOOPA COLA  නමින් කෝලා පානයක් නිෂ්පාදනය කර නොමැත.  ඒ අනුව ඉකුත් දිනවල  ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ SAMOOPA COLA  යන වෙළද සන්නාමය සහිත කෝලා පානයක ඡායාරූපය සහිත සටහන් ව්‍යාජ යැයි නිගමනය කළ හැකි ය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.