Hashtag Generation

මෙල්බන් නුවර ට්‍රෑම් රථයක දැක්වෙන අනුර කුමාර දිසානායකගේ දැන්වීම ව්‍යාජ යි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජූනි මස අගදී ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ අතර ඔහුගේ මෙම සංචාරය මුල් කරගනිමින් සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති වී තිබිණි. එමෙන්ම මේ සංචාරය සම්බන්ධයෙන් තහවුරු නොකළ කරුණු රැසක් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වී අයුරු දක්නට ලැබිණි. අනුර කුමාර දිසානායක මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දේශපාලන රැස්වීම් ප්‍රවර්ධන කටයුතු විශාල මුදලක් වැය කර ඇති බවත් ට්‍රෑම් රථයක වෙළෙඳ දැන්වීම් පළ කර ඇති බවට කතාබහක් ද ඒ අතර විය. ඊට අදාළ ඡායාරූප සහ ඒ සඳහා ගෙවූ වා යැයි කියන බිල්පත් කිහිපයක ඡායාරූප ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබිණි. 

ඒවා දැක්වෙන තිර ඡායාරූප කිහිපයක් (Screenshots) කිහිපයක් පහතින් දැක්වේ. 

 

ට්‍රෑම් රථයක් මෙල්බර්න් නුවර ෆ්ලින්ඩර්ස් (Flinders -Flinders Street Railway Stations) දුම්රිය ස්ථානය පසු කරමින් යන ආකාරය මෙම ඡායාරූපයෙන් දැක්වේ.  

මෙතැනින් මෙතැනින් 

එම දුම්රිය ස්ථානය ඉදිරියෙන් ගමන් ගන්නා ට්‍රෑම් රථයක අනුර කුමාර දිසානායක මහතාගේ රුව දැක්වෙන වෙළෙඳ ප්‍රචාරණ ස්ටිකරයක් අලවා තිබෙන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපවලින් දැක්විණි. 

Google Reverse Image පහසුකම භාවිත කරමින් මෙම ඡායාරූපය සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලී ය. 

එම සොයාබැලීමේ දී පහත ඡායාරූප පැමිණි අතර අනුර කුමාර දිසානායක මහතාගේ දැන්වීම සහිත ඡායාරූපයට සමාන ඡායාරූපයක් දක්නට ලැබිණි. 

මුදල් ගෙවා ඡායාරූප මිලදී ගත හැකි  වෙබ් අඩවියක් වන, rastanley.com වෙබ් අඩවියේ අදාළ ඡායාරූපය පළ කර තිබිණි. එම ඡායාරූපයත් අනුර කුමාර දිසානායක මහතාගේ රුව දැක්වෙන ඡායාරූපයත් අතර බොහෝ සමානකම් දක්නට ඇත. 

අදාළ වෙබ් අඩවියේ දැක්වෙන ඡායාරූපය පහතින් දැක්වේ. 

මෙතැනින් 

මෙතැනින් 

ඉහත සඳහන් ෆේස්බුක් සටහන්වල (Facebook Posts) ‘ඉන්වොයිසියක්’ ද දැක්වෙන අතර එහි පී. සමරවීර නමැති නමක් දැක්වේ. අනුර කුමාර දිසානායක මහතාගේ ඔස්ට්‍රේලියානු සංචාරය සංවිධානය කළ කණ්ඩායමේ පුබුදු සමරවීර නමැති අයකු සිටි බව මේ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීමේදී දැනගන්නට ලැබිණි. ඒ අනුව, හෑෂ්ටැග් පරපුර ඔස්ට්‍රේලියාවේ ජීවත් වන පුබුදු සමරවීර මහතාගෙන් විමසීමක් කළේ ය. එල්ල වන මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව ඔහු පැවැසීය. 

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ට්‍රෑම් රථ ක්‍රියාත්මක කරන  Yarra Trams ආයතනයෙන් විමසීමක් කළේය. සිය ට්‍රෑම් රථවල මෙවැනි දැන්වීමක් පළ නොකළ බවත්, සිය ට්‍රෑම් රථ දේශපාලන ප්‍රවර්ධන කටයුතු සඳහා ලබා නොදෙන බවත් හෑෂ්ටැග් පරපුර ඊමේල් මාර්ගයෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් එම සමාගම සඳහන් කළේ ය. 

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් ජාතික බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක උපුල් රංජන් මහතාගෙන් විමසීමක් කළ අතර ජාතික ජනබලවේගය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර එවැනි කිසිදු ප්‍රචාරක කටයුත්තක් නොකළ බව ඔහු සඳහන් කළේ ය. 

නිගමනය: ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ට්‍රෑම් රථයක  ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් දැක්වෙන ෆේස්බුක් සටහන් කිහිපයක් ඉකුත් දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඒවා ව්‍යාජ යැයි නිගමනය කළ හැකි ය. ට්‍රෑම් රථය දැක්වෙන මුල් ඡායාරූපය සංසකරණය කර ඇතැයි නිගමනය කළ හැකි අතර ඉන්වොයිස් දැක්වෙන ඡායාරූප ද ව්‍යාජ යැයි නිගමනය කළ හැකි ය. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.