Hashtag Generation

මෙවර අයවැයෙන් උසස් අධ්‍යාපනයට ප්‍රමාණවත් මුදලක් වෙන් කර ඇත් ද ?

අධ්‍යාපනය යනු නිරන්තරයෙන් කතාබහට ලක්වන ක්ෂේත්‍රයක් වුවත් මේ වසර සඳහා ඉදිරිපත් කළ අයවැයත් සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වෙනදාට වඩා විශාල කතාබහක් ඇති විය. එකතු කළ අගය මත බද්ද (VAT) වැඩි කිරීම ද එයට හේතුවක් විය. විශේෂයෙන්ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය මුල් කරගනිමින් මෙම සංවාදය ඇති වී තිබිණි. විශ්වවිද්‍යාල සඳහා වෙන්කරන මුදල් ප්‍රමාණය සහ අලුතින් ඉදිකිරීමට අපේක්ෂිත විශ්වවිද්‍යාල පිළිබදව අයවැයේ දී සඳහන් කර තිබිණි. 

අයවැය වාර්තාව ඉදිරිපත් වීමෙන් පසු උසස් අධ්‍යාපනයට අයවැයෙන් වෙන් කරන  මුදල් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධාකාරයේ අදහස්, මතිමතාන්තර සහ විවේචන ඇති වී තිබිණි. 

එලෙස සමාජ මාධ්‍යයේ පළ වූ අදහස් කිහිපයක තිර ඡායාරූප (Screenshots) පහතින් දැක්වේ. 

මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වසර සඳහා වන  අයවැය වාර්තාව  නොවැම්බර් මස 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 

මේ වසරේ අයවැය සම්බන්ධයෙන් සංවාදයක් ඇති වීමට ඉකුත් වසරවල අධ්‍යාපනය සදහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වියදම් කළ ප්‍රමාණයද හේතු වී ඇත. මහ බැංකු වාර්තාවට අනුව 2022 වසරේ දී අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් කර ඇති වියදම සියයට 1.5 කි. එමෙන් ම 2019 වර්ෂයේදී අධ්‍යාපනය සදහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියට 1.93 ක් වියදම් කර තිබුණි. 2019 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේ වියදම් කර ඇති ප්‍රමාණයේ අඩු වීමක් දැක ගත හැකිය 

උසස් අධ්‍යාපනය සඳහා අයවැයෙන් කොතරම් මුදලක් වෙන් කර තිබෙනවා ද?

මෙවර අයවැයෙන්  අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති සමස්ත මුදල රුපියල් බිලියන 532 කි.  එම මුදලින් යෞවන සහ ක්‍රීඩා කටයුතු සඳහා රුපියල් බිලියන 9.5 ක් ද, වෘත්තීය පුහුණුව සහ නවෝත්පාදනය සඳහා රුපියල් බිලියන 17.1 ක් ද, සාමාන්‍ය අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 402.2 ක් ද, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 10.3 ක් ද වෙන් කොට ඇත. වැඩිදුර විස්තර සඳහා සඳහා මෙතැනින් පිවිසෙන්න. 

අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන පිළිබඳ සාරාංශ සටහනේ තිර ඡායාරූප කිහිපයක් (Screenshots) පහතින් දැක්වේ.  

(Source ජාතික අයවැය 2024 – කා වෙනුවෙන්ද කුමක් සදහාද- පිටු අංකය 21)

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන විශාල ප්‍රමාණයක් ඇති අතර ඒ අතරට රාජ්‍ය විශ්වවිද්‍යාල, මණ්ඩප, පෞද්ගලික විශ්වවිද්‍යාල, පීඨ ඇතුළත් වේ. මේවායේ නියාමන කාර්ය සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ස්ථාපිත කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අනුබද්ධිත ආයතන ද මීට ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ මේ වන විට රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක් ඇත. විශ්වවිද්‍යාල අනුබද්ධිත මණ්ඩප 2 ක් ද ක්‍රියාත්මක වේ. එමෙන් ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අනුබද්ධිත ආයතන 21 ක් ද, පීඨ 108 ක් ද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන පිළිබඳ වැඩිදුර විස්තර සදහා මෙතැනින් පිවිසෙන්න. 

මෙවර අයවැයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල කළමනාකරණය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 61.2 කි. එමෙන් ම යටිතල පහසුකම් සංවර්ධනය සහ නඩත්තුවට රුපියල් බිලියන 32 ක් ද, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, භික්ෂු විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) සඳහා ආධාර වශයෙන් රුපියල් බිලියන 5 ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇත.  

විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගේ සුබසාධන වැඩසටහන් සඳහා සහ මහපොළ ශිෂ්‍යාධාර සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 2.5 කි. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත්  වීමට නොහැකි වූ සිසුන් සඳහා පොලී රහිත ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වන අතර මෙවර අයවැයෙන් ඒ සඳහා රුපියල් බිලියන 2 ක් වෙන්කර ඇත.

මෙවර අයවැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උසස් අධ්‍යාපන ආයතනවලට අදාළව  යෝජනා කිහිපයක් ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), හොරයිසන් කැම්පස්, රෝයල් ඉන්ස්ටිටියුට් (Royal Institute) ආදී අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල දක්වා උසස් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යවරයා අයවැය කතාවේදී පැවැසුවේ ය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව ඒකාබද්ධ කර ජාතික උසස් අධ්‍යාපන කොමිෂන්  සභාව පිහිටුවීමට කටයුතු කරන බව ද මුදල් අමාත්‍යවරයා පැවැසීය. ඉදිරි වසර කිහිපය තුළ දැනට පවතින විශ්වවිද්‍යාල සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි කිරීමට ද මෙවර අයවැයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබිණි. 

නව විශ්වවිද්‍යාල හතරක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද මුදල් අමාත්‍යවරයා අයවැය කතාවේ දී පැවැසීය. ඊට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යටතේ සීතාවක විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය හා කුරුණෑගල තාක්ෂණ විශ්වවිද්‍යාලය, කළමනාකරණ හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය යනාදිය ඇතුළත් ය.  

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන තුළ අධ්‍යාපනය ලැබීමට දේශීය සිසුන් පමණක් නොව විදේශීය සිසුන් ද ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇතැයි ද අයවැය කතාවේ සඳහන් ය. මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ  අයවැය කතාවට මෙතැනින්, මෙතැනින් පිවිසෙන්න.

අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ සඳහා යෝජනා නිර්දේශ කිරීමට සාමාජිකයන් 25 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට ද අයවැයෙන් යෝජනා වී තිබේ. එමෙන් ම ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාගාර සහ ඒ ආශ්‍රිත පහසුකම් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 40 ක් ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 500 ක් ද 2024 සඳහා වන අයවැයෙන් වෙන් කර තිබේ. 

මේ අනුව 2024 වර්ෂය සඳහා වූ අයවැයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල කළමනාකරණයට රුපියල් බිලියන 61.2 ක් වෙන්කර ඇත. විශ්වවිද්‍යාල තුළ යටිතල පහසුකම් සංවර්ධනය සහ නඩත්තුවට රුපියල් බිලියන 32 ක් ද,  කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය භික්ෂු විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE)  සඳහා ආධාර වශයෙන් රුපියල් බිලියන 5 ක් වෙන් කෙරුණි. 

මීට අමතරව අධ්‍යාපනය සම්බන්ධ ප්‍රමුඛ සහනාධාර සහ සුබසාධන වැඩසටහන් යටතේ ද උසස් හා තාක්ෂණික අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කොට ඇත. එම ප්‍රතිපාදන වෙන්කිරීම් ඇතුළත් ඇතුළත් තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

(ජාතික අයවැය 2024 – කා වෙනුවෙන්ද කුමක් සදහාද – පිටු අංකය 22)

2024 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැයෙන් උසස් අධ්‍යාපනය සඳහා වෙන් වූ ප්‍රතිපාදනවලට අදාළ වැඩි විස්තර  මෙතැනින්  .

2023 වසර සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් උසස් අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල කොපමණ ද ? එයින් කොපමණ මුදලක් වියදම් කර තිබෙනවා ද ? 

ඉකුත් වසරට  (2023) අදාළ අයවැය වාර්තාව 2022 නොවැම්බර්  14 වෙනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.  එම අයවැයෙන් සමස්ත අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල රුපියල් බිලියන 504 කි. 

එම මුදලින් සාමාන්‍ය අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 392 ක් ද, විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 97 ක් ද, වෘත්තීය පුහුණුව නිපුණතා අධ්‍යාපනය සහ පර්යේෂණ  සඳහා රුපියල් බිලියන 15 ක් ද වෙන් කර තිබිණි. වැඩිදුර විස්තර මෙතැනින්

පහත රූප සටහනේ 2023 වර්ෂයේ අධ්‍යාපන අංශයේ සදහා වෙන් කළ මුදල රුපියල් බිලියන 505ක් ලෙස සදහන් වී තිබුණද සාමාන්‍ය අධ්‍යාපනය (රු. බිලියන 392), විශ්වවිද්‍යාල අධ්‍යාපනය (රු. බිලියන 97) සහ වෘත්තීය පුහුණුව නිපුණතා අධ්‍යාපනය සහ පර්යේෂණ ( රු. බිලියන 15) සදහා වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදනවල මුළු අගය රුපියල් බිලියන 504 කි.  මෙතැනින්.   

(අයවැය 2023 – කා වෙනුවෙන්ද කුමක් සදහාද – පිටු අංකය 8)

වසර 2023 සඳහා උසස් අධ්‍යාපනයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 97 කි. එම රුපියල් බිලියන 97 විවිධ කාණ්ඩ විවිධ වැඩසටහන් හරහා විශ්වවිද්‍යාල සඳහා වෙන් වී ඇති ආකාරය පිළිබඳ පහත තිර ඡායාරූප ඔස්සේ පැහැදිලි කළ හැකිය. 

(අයවැය 2023- කා වෙනුවෙන්ද කුමක් සදහාද – පිටු අංකය 11)

රාජ්‍ය විශ්වවිද්‍යාලවල මානව සම්පත් කළමනාකරණය සහ අනෙකුත් මෙහෙයුම් වියදම් සඳහා රුපියල් බිලියන 58.2 ක් ද යටිතල පහසුකම් සහ ගුණාත්මක සංවර්ධනය සඳහා වන ව්‍යාපෘති වලට රුපියල් බිලියන 18.6 ක් ද රාජ්‍ය විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් පවත්වාගෙන යාම හා සංවර්ධනය කිරීමට රුපියල් බිලියන 8.9 ක් ද 2023 වර්ෂය සඳහා වූ අයවැයෙන් වෙන් කර තිබේ.

එමෙන් ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, භික්ෂු විශ්වවිද්‍යාලය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන ආයතනය සඳහා රුපියල් බිලියන 8.2 ක මුදලක් වෙන් කර ඇති අතර විශ්වවිද්‍යාල සිසුන් සඳහා මහපොළ සහ වෙනත් සුබසාධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2.7ක්  එම අයවැයෙන් වෙන් කර තිබේ.  

වාර්ෂික ප්‍රතිපාදන (2023) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ චක්‍ර ලේඛනයට මෙතැනින් පිවිසෙන්න.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ආයෝජන ක්ෂේත්‍ර සඳහා වෙන්වූ ප්‍රතිපාදන තොරතුරු ඇතුළත් තිර ඡායාරූප පහතින් දැක්වේ.

(අයවැය 2023- කා වෙනුවෙන්ද කුමක් සදහාද – පිටු අංකය 11)

ඉහත සටහන් දෙස බැලීමේදී  පැහැදිලිවන කරුණු කිහිපයක් ඇත. එහි සඳහන් ඇතැම් ව්‍යාපෘතිවල කටයුතු 2024 වර්ෂයට ද ඉතිරිව ඇත. දේශගුණික විපර්යාස සඳහා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පිහිටුවීම 2023 වර්ෂය සඳහා වූ අයවැයේ ද සඳහන් ය.

එමෙන් ම 2019 වසරේ සිට 2022 වර්ෂය දක්වා වූ කාල සීමාව තුළ විශ්වවිද්‍යාල සඳහා නිකුත් කරන ලද පුනරාවර්තන සහ ප්‍රාග්ධන අරමුදල් ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවී ඇත. ප්‍රාග්ධන වියදම් යනු ගොඩනැගිලි වැනි නව දේවල් සංවර්ධනය කිරීම සඳහා ලබාදෙන අරමුදල් ය. පුනරාවර්තන වියදම්වලට නඩත්තු, සේවා සහ වැටුප් වැනි දෑ ඇතුළත් වේ.   

කොළඹ විශ්වවිද්‍යාලයට 2019 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් මිලියන 705 ක් වෙන්කර ඇත. එම විශ්වවිද්‍යාලයටම 2022 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 126.5 කි. මේ අනුව 2019 වසරට සාපේක්ෂව 2022 වර්ෂයේදී විශ්වවිද්‍යාලය සඳහා වෙන් කොට ඇති මුදලේ අඩුවීම පැහැදිලිව හඳුනාගත හැකිය. 

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සඳහා 2022 වසරේ දී ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් මිලියන 15 ක් වෙන්කර ඇති අතර 2023 වර්ෂය දී ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයට ප්‍රාග්ධන වියදම් ලෙස කිසිදු මුදලක් වෙන් කර නැත. අයවැයෙන් අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කිරීමේ සම්බන්ධව The Morning පුවත්පතේ පළ වූ ලිපියට මෙතැනින් පිවිසෙන්න.

වසර 2023ට සාපේක්ෂව 2024 සඳහා උසස් අධ්‍යාපනය සඳහා අයවැයෙන් වෙන් කර ඇති මුදලේ අගය වැඩි බව පැහැදිලිය. එමෙන්ම 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වසර සඳහා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව ඉදිරිපත් වී ඇති යෝජනා ප්‍රමාණය ද ඉහළ ය. 

පසුගිය වසර සඳහා අයවැයෙන් ඉදිරිපත් වූ යෝජනා තවමත් යෝජනා ලෙස පැවතීම සහ ඒවා 2024 වර්ෂයටද ශේෂ වී තිබීම ද දැකිය හැකි ය.

එමෙන් ම 2023 වසරේ දී උසස් අධ්‍යාපනය සඳහා අයවැයෙන් වෙන්කළ මුදලෙන් කොපමණ මුදල් ප්‍රමාණයක් වියදම් කර ඇත්දැයි නිශ්චිත නිගමනයකට එළඹීමට තරම් දත්ත සහ තොරතුරු මේ වනතෙක් ඉදිරිපත් වී නොමැත. කෙසේ නමුත් 2024 වසර සඳහා  අයවැයෙන් උසස් අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව සහ එම මුදල් වෙන්කිරීම් සිදුකරන ක්ෂේත්‍රවල ගැටලුකාරී තත්ත්වයන් පවතින බව  ඉහත කරුණු අනුව නිගමනය කළ  හැකි ය.  

“Default LK by Arutha” සමඟ සහයෝගීත්වයෙන් මෙම ලිපිය සකස් කරන ලදි. 

 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.