Hashtag Generation

“ලංකාවේ ක්‍රිකට් තහනම් කරපු එක සාධාරණයි” ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර නොමැත.

ක්‍රිකට් ක්‍රීඩාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමාජය තුළ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත. එයින් ද හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එහි ප්‍රධානීන් සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති වී තිබේ. මෙම මාතෘකාව සම්බන්ධයෙන් විවිධ පාර්ශව ඉකුත් සති දෙකක තුනක කාලයක සිට දෛනිකව අදහස් දක්වති. ක්‍රිකට් සම්බන්ධයෙන් මේ වනවිට දැඩි අර්බුදයක් ඇති වී තිබෙන අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් හි සාමාජිකත්වය අත්හිටුවීමට ද පියවර ගත්තේ ය. 

පාර්ලිමේන්තුවේ ක්‍රිකට් සම්බන්ධයෙන් විවාදයක් ද පැවැත්වුණු අතර එයින් පසු ද මන්ත්‍රීවරුන් ක්‍රිකට් සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද නොවැම්බර් මස 22 වැනිදා, පාර්ලිමේන්තුවේ දී ක්‍රිකට් සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණි. කෙසේ නමුත් ඔහු ප්‍රකාශ නොකළ කරුණු කිහිපයක්ම, ඔහු ප්‍රකාශ කළේ යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය දක්නට ලැබිණි. එලෙස සංසරණය වූ පණිවුඩයක තිර ඡායාරූපයක් පහත දැක්වේ.

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ එවන්නක් කර ඇත්දැයි මුලින්ම සොයා බැලීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොවැම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුවේ දී කළ කතාවේ දී ක්‍රිකට් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබුණ ද ඉහත ආකාරයක් ප්‍රකාශ කර නොමැත. ඔහු පාර්ලිමේන්තුවේ දී කළ කතාවට සවන් දීමෙන් එය වඩාත් තහවුරු කරගත හැකි ය. එම කතාවට   මෙතැනින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ කතාවට අමතරව කවුරුන් හෝ විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එවන්නක් ප්‍රකාශ කළේදැයි සොයා බැලූ අතර එහිදී ද ඔහු “ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරපු එක සාධාරණයි” යනුවෙන් ප්‍රකාශ කර නොමැත. 

රනිල් වික්‍රමසිංහ මහතා වෙනත් අවස්ථාවකදී හෝ එවන්නක් ප්‍රකාශ කර ඇත්දැයි විමසා බැලූ අතර ඔහු එවන්නක් ප්‍රකාශ කළ බව තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂියක් නොතිබිණි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෑතකදී ෆස්ට් පෝස්ට් (First Post) නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණි. 

ජේ. ෂාහ් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය නොකරන බවත් ඔහු ශ්‍රී ලංකාවේ සිදුවීම්වලට ඈඳා ගැනීම සම්බන්ධයෙන් ඔහුට කනගාටුව පළ කළ බවත් ජනාධිපතිවරයා එහිදි පැවැසීය. මේ සම්බන්ධයෙන් ද හින්දු (The Hindu) පුවත්පත ද වාර්තා කර තිබිණි. 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීම සාධාරණයි යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු අවස්ථාවකදී ප්‍රකාශ කර නොමැත. කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට හේතු වූයේ දේශපාලනය මැදිහත් වීම නිසා යැයි ඔහු පාර්ලිමේන්තුවේ දී පැවැසීය. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් වීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් එහිදි අදහස් දක්වා ඇත. 

නිගමනය : “ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම සාධාරණයි” යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර නොමැත. ඔහු එවැනි ප්‍රකාශයක් කළ බව තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති අතර “ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම සාධාරණයි” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන් (posts) මහජනතාව නොමඟ යවයි. ඔහු පාර්ලිමේන්තුවේ දී එවැනි ප්‍රකාශයක් කර නොමැත. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.